
වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අරලියග මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණි.
මෙම පත්වීම් ලැබූ නිලධාරිනියන් දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය, ජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීපව හා අඛණ්ඩව සැපයීමේදී සුවිශේෂී වැදගත්කමක් උසුලයි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය කාල වකවානුවක මෙම පත්වීම්ලාභිනියන් සෞඛ්‍ය සේවාවට එක්වන බවයි.වත්මන් සෞඛ්‍ය සේවාව ගමන් කරන දිශානතිය නිවැරදිව දැන සිටීම මගින් ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේදී පහසුවක් වනවා මෙන්ම, එම ගමන් මගට බාධාවන් විය හැකි විවිධ වෘත්තීන් අතර වන හැලහැප්පීම් අවම කර ගැනීමටද එය පහසුවක් වනු ඇති බවයි ඔහු පවසයි.
පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා මෙරට සියලු ජනතාවට නිරෝගිමත්, සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” වැඩපිළිවෙළ තුළ රජය සියලු අංශ මෙහෙයවන බවත්, මෙතුවක්කල් එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කරුණු කාරණා සොයා බලා ඊට පිළියම් යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයින් විසින් ප්‍රතිශක්තිකරණය, ළමා ළඳරු පෝෂණය, ළඳරු මරණ අනුපාතිකය අඩුකර ගැනීම ආදී මාතෘ හා ළඳරු සෞඛ්‍ය සම්බන්ධයෙන් මුළු ලෝකයටම ආදර්ශයක් ලබාදිය හැකි අප රටටම ආවේණික ආකෘතියක් නිර්මාණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කරනලදි.
රජය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ප්‍රබල කොටස්කරුවන් වන බවත්, පසුගිය මාර්තු මස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976 ක් බඳවා ගත් බවත්, තවත් 39 දෙනෙකුට පත්වීම් ලබාදිය යුතුව ඇති බවත් ඔහු සඳහන් කරනලදි.
ඒ අනුව මෙම වසර 02 තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2071 ක් බඳවා ගැනීමටත්, උසස්වීම්, දීමනා සහ පුහුණු ලබාදීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසයි.අමාත්‍යවරයා කියා සිටියේ, ජනතාවට ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රබල කොටස්කරුවන් වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,900 කට පමණ ලබන දෙසැම්බර් මස වන විට ස්කූටි වර්ගයේ යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන අදහස් දක්වනලදි.
තවද, අතිරේක ලේකම්වරුන් වන චාමික එච්. ගමගේ, හර්ෂණී සිරිනාම මෙන්ම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්යක්ෂවරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.