පළාත් සභා ඡන්දය පරක්කු අපි ඡන්ද වලට බය නිසා නොවෙයි

ආණ්ඩුවේ ජනවරම අඩු වී ඇති නිසා ආණ්ඩුව ඉදිරි පළාත් සභා මැතිවරණයට බිය වී ඇති බවට පතුරුවන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් පළත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කිසිසේත් බිය නොවන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.ඔහු පවසන අන්දමට ඉදිරි පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වී ඇත්තේ පසුගිය පාලන සමයේදී ඇති කරන ලද නීතිමය සහ තාක්ෂණික අවුල් සහගත තත්ත්වයන් හේතුවෙනි. කලින් තිබූ පළත් සභා මැතිවරණ ක්‍රමය අහෝසි කර, නව කොට්ඨාශ ක්‍රමයක් හඳුන්වා දීමට පසුගිය රජය කටයුතු කළද, ඒ සඳහා අවශ්‍ය සීමා නිර්ණ නිසි ලෙස අවසන් කිරීමට ඔවුන් අපොහොසත් වූ බව ඔහු පෙන්වා දී තිබේ.අමාත්‍යවරයා පවසන පරිදි, කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණ කමිටු පත් කර මහජන අදහස් විමසුව ද එවකට සිටි අමාත්‍යවරයාගේ විරුද්ධත්වය මත එම වාර්තාව සම්මත කර ගැනීමට නොහැකි වී ඇත.මේ හේතුවෙන් වර්තමාන රජයට උරුම වී ඇත්තේ භාගෙට හදපු ක්‍රමයක් බවත්, එවැනි අවිනිශ්චිත තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඔහු අවධාරණය කොට ඇත.එමෙන්ම රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමන් මැතිවරණවලට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව ද ඔහු පවසයි
.

කාලීන පුවත්