ශ්‍රී ලංකාවාසී බහුතර ජනතාව දැඩි ආර්ථික පීඩාවෙන් පසුවන වටපිටාවක නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු සඳහන් කරනුයේ මේ වසරේ ජාතික අවශ්‍යතාව සපුරාලිය හැකි මට්ටමට ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බවකි. මෙම අතිරේක පිරිවැය පියවා ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මේ ඉල්ලීම කළ බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පවසා තිබේ.
මේ වසරේ ජල විදුලි ධාරිතාව ගිගාවොට් පැය 4500ක් අපේක්ෂා කළ නමුත් මණ්ඩලයට නිපදවා ගැනීමට හැකිවූයේ ගිගාවොට් පැය 3750 ක් පමණක් බව ද සාමාන්‍යාධිකාරී වරයා ප්‍රකාශ කොට ඇත.මේ නිසා ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ගැනීමට සිදු වූ බවද ඔහු සඳහන් කොට තිබේ.මේ අතර ඒ පිළිබඳ සවිස්තරාත්මක දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද (02) ලබාදීමට තීරණය කර ඇති බව ද විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසා තිබේ.මේ අතර මෙම පරතරය පියැවීම පිණිස පුනර්ජනනීය බල ශක්තිය උපයෝගී කර ගෙන මහජනතාවට සිදුවන පීඩාව තරමක් හෝ අවම කළ හැකි පසුබිමක වගකිව යුතු අංශ ඒ සම්බන්ධයෙන් මුණිවත රැකීම ජාතික ඛේදවාචකයක් බව ද ඇතැම්හු කියති. තත්වය මෙසේ තිබියදී දිවයිනේ ප්‍රධාන ජල විදුලි ප්‍රභවයක් වන සමනලවැව ජලාශයේ වාර්ෂිකව ඝන මීටර් මිලියන 78ක දැවැන්ත ජල පරිමාවක ජල කාන්දුවීම් නැවැත්වීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ලංකා විදුලිබල මණ්ඩලයට බල කර සිටියි.විද්‍යාත්මක දත්ත උපයෝගී කර ගනිමින් ඔවුන් අවධාරණය කරනුයේ මෙම ජල කාන්දුව නිසා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.7 ක පාඩුවක් සිදුවන බවයි.
සමනල වැව ජලාශය පිහිටා ඇත්තේ ස්ඵටික පාෂාණ සහිත ප්රදේශයකය.ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් 1992 ට පෙර සහ පසුව මෙම තත්තවය වලකාලීම පිණිස වන විශේෂිත ඉංජිනේරු විසඳුම් ඉදිරිපත් කළද, පසුගිය දශක තුන පුරාවටම සමනලවැව ජලාශයෙන් ජලය කාන්දු වෙමින් පවතී.එමෙන්ම සමනලවැව ජලාශයේ පහළ නිම්නයේ ඇති මානව ජනාවාස ද මුලුමනින් වැනසී ජීවිත දහස් ගණනක් විනාශ වීම තෙක් වන බරපතල ව්‍යසනයකට ද මෙම ජල කාන්දුව ඉවහල් විය හැකි බව භූ ගර්භ විද්‍යාඥයන් මීට පෙර ද පෙන්වා දී තිබේ.මේ දිනවල ජලාශයේ ජල මට්ටම තවමත් ඉතා අඩු මට්ටමක පවතින බැවින් මේ වන විට ඉස්මතු වී ඇති කාන්දුවීම් මාර්ග වසා දැමීමට වසර 30 කට පසු පළමු අවස්ථාව මෙය වන අතර මෙවැනි ඊළඟ අවස්ථාවකට පළමු මහා විනාශයක් වීමට ඇති හැකියාව ද කිසිසේත් බැහැර කළ නොහැක. අවම පිරිවැයක් යටතේ විදුලි බල උත්පාදනය කළ හැකි ජල සම්පත මෙලෙස මහා පරිමානයෙන් විනාශ වන්නට හැර ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීම මඟින් ගැමි වහරට අනුව කිවහොත් පිපාසයෙන් පෙළෙන එකාට ලෝ දිය පෙවීමට දරන මේ උත්සාහය සුළුකොට තැකිය නොහැක.
ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට ඇති හැකියාව අද වන විට පණ පිටින් මිහිදන් කොට ඇති සිරුරක් මෙනි. පුනර්ජනනීය බලශක්තිය යනු හිරු එළිය, සුළඟ, වර්ෂාව, උදම් රළ, භූ උෂ්ණත්වය ආදී, ස්වභාවික ප්‍රභවයන්ගෙන් ලැබෙන්නා වූ බලශක්තියයි. මෙම බලශක්ති ප්‍රභවයන් ක්ෂයවීමට ලක් නොවී නැවත නැවතත් ස්වභාවිකවම සපිරීම හේතුවෙන් භාවිතය අතිශය ලාභදායී හා පහසු දෙයක් ව පවතී.අප රටට සමාන භුමික සහ දේශගුණික පසුබිමකින් යුතු ඉන්දියාවේ ප්‍රදේශ බොහොමයක ද ග්‍රාමීය මට්ටමේ සිට විවිධ අවශ්‍යතා සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගනු ලැබේ.ගෝලීය වශයෙන් බලන විට ද බලශක්ති පරිභෝජනයට 16%ක් පමණ බලශක්තිය සැපයෙනු ලැබෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙනි.කර්මාන්ත, ප්‍රවාහන, නිවාස, සේවා හා කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍ර සියල්ලටම පාහේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගැනෙන අතර ඉන් 10%ක් ලැබෙනුයේ සම්ප්‍රදායික ජෛව ස්කන්ධයන්ගෙනි. එය ප්‍රධාන වශයෙන් නිවාස උණුසුම් කිරීම් සඳහා භාවිතා වේ. 3.4%ක ප්‍රමාණයක් ජල විදුලිය වන්නේය. නව පුනර්ජනනීය බලශක්ති (කුඩා ජල විදුලි, නව ජෛව ස්කන්ධ, සුළං, සූර්ය බලශක්තිය, භූ උෂ්නත්වය සහ ජෛව ඉන්ධන) 2.8% පමණ අගයක් ගනී. නමුදු ඒවා භාවිතය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. විදුලිබල ක්ෂේත්රයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන දායකත්වය ගත් කල එය 19%ක් පමණ වේ. ගෝලීය විදුලිබල උත්පාදනයෙන් 16%ක් පමණ ජල විදුලි බලයෙන් ලැබෙන අතර, 3% අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙයි.
ශ්‍රී ලාංකික බලශක්ති ක්ෂේත්රයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කොට 2007 අංක 35 දරණ පනතින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අරඹා තිබේ.එම අධිකාරිය වෙත ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් පැවරී ඇත. එනම් දේශයේ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීම සහ බලශක්ති සංරක්ෂණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.විශේෂයෙන් 2019 න් පසු පැවති රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වු වසර 2030 වන විට දේශයේ බලශක්ති ඉල්ලුමෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍ර මගින් සරිකර ගැනීමේ කාර්යයට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලදි. එහෙත් එම ඉලක්කය සපුරා ගැනීමේදී විදුලිබල පනතේ යම් බාධාවන් පවතින බව තේරුම් ගත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් 2022 අංක 16 දරණ විදුලි බල (සංශෝධන) පනත ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව මෙතෙක් පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයේදී පැවති අවහිරතා ඉවත් වූ අතර පුනර්ජනනීය බලශක්ති බලපත්‍ර ලබා දීමේ කාර්යයට සම්බන්ධ ආයතන අතර සහයෝගීතාවය නිසා පසුගිය කෙටි කාලය තුළ පුනර්ජනනීය බලශක්ති බලාගාර රාශියකට මූලික අනුමැතිය ලබා දීමට හැකි විය. සුළංබලය, සූර්යබලය, ජෛව ස්කන්ධ ජීව වායු යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මෙරට භාවිතයට ගැනෙන අතර කුඩා ජල විදුලිබලාගාර මඟින් මෙගා වොට් 423 ද සුළං බලාගාර මඟින් මෙගා වොට් 248ක්ද සූර්යබලාගාර මඟින් භුමිය මත මෙගා වොට් 138 ක්ද, පියසි මත ඉදිකරන සුර්ය පැනල මෙගා වොට් 675 ක්ද ජෛව ස්කන්ධ දර මඟින් සහ කසළ දහනය මගින් මෙගා වොට් 53 ක්ද විදුලි ජනනය සම්බන්ධ කරලීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට මේ වන විට හැකි වී ඇතැයි කියනු ලැබේ. එමෙන්ම මේ වන විටත් මහා පරිමාණ පුනර්ජනනීය බලාගාර ඉදිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.2023- 2026 දක්වා කාලය තුළ පුනර්ජනනීය බලාගාර මගින් මෙගා වොට් 2550 පද්ධතියට එක් කර ගැනීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ශීඝ්‍රයෙන් ගනිමින් පවතී.එහෙත් සංකල්පීය වශයෙන් ඉතා වැදගත් කමක් දක්වන මෙවන් ක්‍රියාදාමයන් අප සමාජ ආර්ථිකය විසින් මතු වන “අමනුෂ්‍ය දෝෂ” වලට නතුවීමේ පැහැදිලි ඉඩක් පවතින නිසා ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීම මඟින් පිපාසයෙන් පෙළෙන එකාට ලෝ දිය පෙවීමට දරන මේ උත්සාහය ඉදිරියේ දී නතර වන බවට සහතික වන්නට අපට නම් නොපිළිවන.
රේණුකා දමයන්ති