ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ යෙදී වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත කඩ කළ නෙත්මි හිරන්යා නමැති සැකකාර තරුණිය රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ(24) නියෝග කොට ඇත.
අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගයට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් විසින් ඇය කැඳවා කළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව වනජීවී අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කර තිබිණි.ඇය විසින් අදාළ නර්තනයට යොදාගෙන ඇති උරගයා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත උරගයකු වන පිඹුරෙකු (Python molurus) බවත්, එය උක්ත පනතේ 30 (1) (ඈ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.ඇය එම පිඹුරා එදින උදෑසන පුත්තලම ප්‍රදේශයේ සිටිනා පුද්ගලයකුගෙන් කුලී පදනම මත ලබා ගෙන ඇති බවත්, අදාල තරඟ අංගය නිමවූ වහාම නැවත එම පුද්ගලයා හට එම උරගයා ලබා දුන් බවත්, මේ සඳහා ඇය විසින් එම තැනැත්තාට රු. 25,000/-ක මුදලක් ලබා දී ඇති බවත් අනාවරණය වී තිබේ.ඒ අනුව සැකකාරියගෙන් ලබාගත් ප්‍රකාශ ඔස්සේ ඉදිරි විමර්ශෂණ කටයුතු තව දුරටත් සිදුකරන බවත්, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීම හා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ගරු අධිකරණයට වාර්තා කරන බවත් වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.මේ සම්බන්ධව නඩුව ලබන මැයි 15 වැනිදා නැවත කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.ඒ අනුව අදාල ඉදිරි විමර්ශෂණ කටයුතු බෙල්ලන්විල පිහිටි කොළඹ දිස්ත්‍රීක් අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදුකරනු බවද එහිදී වනජීවී නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ.