මේ වන විට ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා බලශක්තිය අරපිරිමැසුම් සහගත ලෙස භාවිතා කරන ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.විශේෂයෙන් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීමෙන් පවතින අර්බුදයට විසඳුමක් නොලැබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා, තමන් ගැන හෝ තමන්ගේ පවුල ගැන පමණක් නොව රට ගැන සිතා කටයුතු කළ යුතු කාලය මෙය බවත් පවසා සිටියි.ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය මුල් කරගනිමින් මැදපෙරදිග කලාපයේ වර්ධනය වී ඇති යුදමය තත්ත්වය කෙදිනක අවසන් වේදැයි කිසිවෙකුටත් පූර්ව නිගමනය කළ නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ වන විට ලෝකයම එකිනෙකට බද්ධ වී පවතින බැවින්, මෙම යුද්ධය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සඳහා මුහුණ දිය හැකි වන පරිදි සම්පත් කළමනාකරණය කර ගැනීම රජයේ අපේක්ෂාව බව ද අවධාරණය කරයි.
රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගනිමින්, ආර්ථිකයට බරපතල හානියක් නොවී පවත්වාගෙන යාම සඳහා ජනතාව අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් බලශක්තිය පරිභෝජනය කරමින් රජයට සහාය දිය යුතු බව ඇමති වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.මෙහිදී විපක්ෂයේ හැසිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා දැඩි විවේචනයක් එල්ල අතර රට මුහුණ දෙන මෙවැනි බරපතල අර්බුද හමුවේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගන්නේ කෙසේද හෝ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව විපක්ෂය කිසිදු සාකච්ඡාවක් නොකරන බවට ද චෝදනා කරයි.