ලක්විජය බලාගාරය සඳහා බාල ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් තහවුරු වී ඇති බැවින්, ඒ පිළිබඳව වහාම අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණු කිහිපයක් අවධාරණය කළේය.හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේ සිදුවූ බාල ඖෂධ වංචාවෙන් රුපියල් ලක්ෂ 1,000ක පමණ අලාභයක් සිදු වුවද, වර්තමාන රජය යටතේ සිදුවූ මෙම බාල ගල් අඟුරු වංචාව රුපියල් ලක්ෂ 20,000කට අධික බව ඔහු පෙන්වා දුන්නේය.ලියාපදිංචි නොවූ සමාගමකට ප්‍රසම්පාදන ටෙන්ඩරය ලබාදීමේ සිට මෙය ක්‍රමවත් කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වී ඇති බවත්, එමඟින් රජයට මෙන්ම විදුලි බිල ඉහළ දැමීම හරහා මහජනතාවට ද දැවැන්ත ආර්ථික හානියක් සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.එමෙන්මමෙම බාල ගල් අඟුරුවල පවතින අධික රසදිය ප්‍රතිශතය හේතුවෙන් මිනිසාට, මත්ස්‍ය සම්පතට සහ පරිසරයට සිදුවන හානිය ගණනය කළ නොහැකි මට්ටමේ පවතින බව වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.”මීට පෙර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් පැමිණිලි කළද මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු නොකිරීම කනගාටුවට කරුණක්. එබැවින් වහාම මේ පිළිබඳව අපරාධ විමර්ශනයක් පවත්වන ලෙස අප ඉල්ලා සිටිනවා.” යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් කියා සිටියේය.