දශක ගණනාවක් පුරා බොලිවුඩ් සිනමාවේ සුවිශේෂ පෞරුෂයකින් යුත් මුල් පෙළේ කඩවසම් නළුවකු ලෙසත්, ජනප්‍රියතම නළුවකු ලෙසත් අතිශය ජනප්‍රියත්වයකට හිමිකම් කී ධර්මේන්ද්‍ර ඊයේ(24) සිය දිවි ගමන නිමා කොට තිබේ. හැටේ දශකයේ මුල් භාගයේදී සිනමාවට පිවිසි ධර්මේන්ද්‍ර දශක 6ක් පුරා සිනමාවේ රැඳී සිටි අතර, කාලයක සිට පීඩා විඳිමින් සිටි ශ්වසන රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මුම්බායි නුවර පිහිටි ඔහුගේ මන්දිරයේදී මෙලොව හැර යන විට 89 හැවිරිදි වියෙහි පසුවූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 300කට අධික චිත්‍රපට සංඛ්‍යාවකට රංගන දායකත්වය දුන් ධර්මේන්ද්‍ර බොලිවුඩ් සිනමාවේ වයස්ගතම නළුවා ද වන අතර, ඔහු අවසන් වරට රඟ පෑ ඓක්කිස් චිත්‍රපටය ලබන දෙසැම්බරයේ නත්තල් දිනයේදී තිරගත වීමට නියමිත ය.පසුකාලීනව භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට ද පිවිසි මේ සුපිරි නළුවා 2004 සිට 2009 දක්වා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් කටයුතු කර තිබේ.
ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසකට ද හිමිකම් කියන ධර්මේන්ද්‍ර හොඳම නළුවා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන ත්‍රිත්වයක්ම දිනා ගැනීමට සමත්විය. එවකට ඔහු රංගනයෙන් දායක වූ ෂෝලේ, චුප්කේ චුප්කේ, පූල් ඕර් පාතර් වැනි ජනප්‍රිය බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත්විය. දිලීප් කුමාර්, රාජේෂ් ඛන්නා සහ අමිතාබ් බච්චන් වැනි ප්‍රබල සමකාලීනයන් සිටි නිසා ඔහුට නිල වශයෙන් බොලිවුඩයේ “අංක එකේ” ස්ථානයට පත්වීමට නොහැකි වුවද, ධර්මේන්ද්‍ර 2012 දී ඉන්දීය රජයේ පද්ම භූෂණ සම්මානයෙන් පවා පිදුම් ලැබීය. කීර්තිය තාවකාලික බවත් තමන්ට අවශ්‍ය වූයේ ජනතා ආදරය පමණක් බවත් ඔහු නිතර පැවසීය. 19 හැවිරිදි වියේදී පන්ජාබයේ ජන ගී ගායිකාවක වූ ප්‍රකාශ් කෞර් සමඟ විවාහ වූ ධර්මේන්ද්‍ර 1982 දී දෙවැනි වරට විවාහ වූයේ ඔහුගේ සිනමා ජිවිතයේ අතිසාර්ථක චිත්‍රපට රැසක පෙම්වතිය ලෙස රඟ පෑ හේමා මාලිනි සමඟ ය. ධර්මේන්ද්‍ර ගේ පළමු විවාහයෙන් උපන් සනී ඩියොල් සහ බොබි ඩියොල් පසුකාලිනව පියාගේ අඩිපාරේ යමින් සිනමාවට පිවිසි අතර, දෙවැනි විවාහයෙන් උපන් ඊෂා ඩියොල් ද සිනමාවට එක්වූවා ය.