
ආගම සහ ලිංගිකත්වය යනු මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය පුරාම එකිනෙක හා හාද වෙමින් සහ ඇතැම් විට එකිනෙක සමඟ ගැටෙමින් ගමන් කළ ක්ෂේත්ර දෙකකි. එක් ආගමික සම්ප්රදායකදී දැඩි ලෙස තහනම් කෙරෙන ක්රියාවක් තවත් සංස්කෘතියකදී සශ්රීකත්වයේ සංකේතයක්, දේවත්වය පිළිබඳ සංකල්පයක් හෝ ආගමික කලා නිර්මාණයක අංගයක් බවට පත්විය හැකිය.
එසේ නම් ආගම සහ ලිංගිකත්වය සම්පූර්ණයෙන්ම එකිනෙකට විරුද්ධ ධ්රැව දෙකක් ලෙස සැලකිය හැකිද? නැතහොත් මිනිසා ලිංගිකත්වයට ලබා දෙන අර්ථය ආගමික විශ්වාස, සමාජ සදාචාර, සංස්කෘතික සම්ප්රදාය සහ ඓතිහාසික පරිවර්තන අනුව වෙනස් වන්නේද?

මෙම ප්රශ්නය නැවතත් ජාත්යන්තර අවධානයට ලක්වූයේ පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සෞදි අරාබියේ මක්කම කලාපයේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීමත් සමඟය.

සෞදි අරාබියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් සහ සිතී අක්තර් නමැති බංග්ලාදේශ තරුණයාට හා තරුණියට මක්කම ප්රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු කළ බව කියන “අශෝභන ක්රියාවක්” සම්බන්ධයෙන් චෝදනනා එල්ල වී තිබිණි. විමර්ශනයකින් පසු අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ට මරණ දඬුවම නියම කර එය ක්රියාත්මක කළ බවද එම නිවේදනයේ සඳහන් විය.
මෙහිදී විශේෂ අවධානයට ලක්වූයේ දඬුවම නියම කර තිබූ නීතිමය පදනමයි. එනම්, ඉස්ලාමීය නීති සම්ප්රදායේ තාසීර් (تعزير) නමැති අභිමතානුසාරී දඬුවම් ක්රමයයි. එහිදී අදාළ වරද සහ එයට පැනවිය යුතු දඬුවම සම්බන්ධයෙන් විනිසුරුවරයාට යම් අභිමතයක් හිමි වේ. සෞදි බලධාරීන් සඳහන් කර තිබුණේ වරදෙහි බරපතළකම සහ ස්ථානයේ හා අවස්ථාවේ පූජනීයත්වය උල්ලංඝනය කිරීම සැලකිල්ලට ගෙන එම දඬුවම නියම කළ බවය.
කෙසේ වෙතත්, මෙහිදී වැදගත් කරුණක් තිබේ. සමාජ මාධ්ය ඔස්සේ මෙම සිද්ධිය “සිප ගැනීමක් නිසා මරණ දඬුවම” හෝ “ලිංගික සංසර්ගයක් නිසා මරණ දඬුවම” ලෙස විස්තර වුවද, සෞදි අමාත්යාංශයේ ප්රසිද්ධ නිවේදනයෙන් චෝදනාවට හේතු වූ නිශ්චිත ක්රියාව පැහැදිලි කර නැත. ඔවුන් අඹුසැමියන් බවට හෝ අලුත විවාහ වූ යුවළක් බවට පැතිරුණු ප්රකාශද ස්වාධීනව තහවුරු වී නැත.
තවද, බංග්ලාදේශයේ ජෙද්දාවේ කොන්සල් කාර්යාලය පවසා තිබුණේ මෙම මරණ දඬුවම් ක්රියාත්මක කිරීමට පෙර තමන්ට දැනුම් දීමක් නොලැබුණු බවය. එම සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අධිකරණ තීන්දු ලබා ගැනීමට බංග්ලාදේශ බලධාරීන් උත්සාහ කළ බවද වාර්තා විය. මේ කරුණු මඟින් නඩු විභාගයේ විනිවිදභාවය, රාජ්ය තාන්ත්රික දැනුම්දීම් සහ විදේශගත පුද්ගලයන්ගේ නීතිමය ආරක්ෂාව පිළිබඳ ප්රශ්නද මතු වේ. [බංග්ලාදේශයේ පළ වන ‘ද ඩේලි ස්ටාර්’ (The Daily Star), 2026 ඔක්තෝබර් 16 සහ 20 වාර්තා.] මෙය බරපතළ රාජ්ය තාන්ත්රික ප්රශ්නයක් වන අතර සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්රමිකයන්ගේ ජීවිත සුරක්ෂිතතාව පිළිබඳ අභියෝගයක්ද වේ.
එහෙත් මේ සිද්ධියෙහි ආගමික හා සංස්කෘතික වැදගත්කම ඇත්තේ මරණ දඬුවම පිළිබඳ කම්පනය තුළ පමණක් නොවේ. ඒ, පූජනීය ස්ථානයකදී මිනිස් ශරීරය හා ලිංගිකත්වය සම්බන්ධ ක්රියාවක් කෙසේ අර්ථකථනය කරන්නේද යන ප්රශ්නයද එයින් ඉස්මතු වන බැවිනි.

ආගමික සම්ප්රදායන් තුළ ලිංගිකත්වය පිළිබඳ ආකල්ප විමසීමේදී මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවධි දෙසද හැරී බැලිය යුතුය. ලොව විවිධ ප්රාග් ඓතිහාසික සමාජයන්හි සරුසාරත්වය, වර්ෂාව, අස්වැන්න සහ වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ විශ්වාසවලට විශේෂ ස්ථානයක් හිමි විය. ස්වභාවධර්මයේ බලවේගවලට ජීවය ලබා දෙන හෝ ඒවාට අධිභෞතික බලයක් ආරෝපණය කරන විශ්වාස පද්ධති තුළ මිනිස් ශරීරය හා ප්රජනනයද සංකේතාත්මක අර්ථ ලබා ගත්තේය.
ඒ අනුව ස්ත්රී ප්රජනන ශක්තිය, මාතෘත්වය සහ සරුසාරත්වය නිරූපණය කරන ස්ත්රී යෝනි රූප මෙන්ම පුරුෂ ප්රජනන ශක්තිය නිරූපණය කරන පුරුෂ ලිංග සංකේතද විවිධ සංස්කෘතීන්හි හමුවේ.
කෙසේ වෙතත්, එවැනි සෑම රූපයක්ම සෘජුවම ලිංගික අවයව වන්දනාවට අයත් යැයි නිගමනය කළ නොහැකිය. ඒවායේ අර්ථය හඳුනාගැනීමේදී ඒවා හමුවූ පුරාවිද්යාත්මක පසුබිම, කාලය සහ අදාළ සමාජයේ විශ්වාස පද්ධතිය සැලකිල්ලට ගත යුතුය.
හින්දු ආගමික සම්ප්රදාය තුළ ශිව ලිංගය යනු ශිව දෙවියන් නිරූපණය කරන ප්රධාන පූජනීය සංකේතයකි. බොහෝ දේවාලවල එය යෝනි පාදමක් සමඟ දක්නට ලැබේ. පිටතින් බැලූ විට මෙය පුරුෂ හා ස්ත්රී ප්රජනන අවයව සිහිගන්වන රූපකයක් ලෙස පෙනිය හැකිය. එහෙත් හින්දු ආගමික අර්ථකථන තුළ එය ලිංගිකත්වයට පමණක් සීමා නොවේ. විශ්වයේ නිර්මාණය, පැවැත්ම, ශක්තිය සහ ශිව-ශක්ති සම්බන්ධතාව නිරූපණය කරන පූජනීය සංකේතයක් ලෙසද එය සැලකේ.

මෙහිදී වැදගත් වන්නේ ශාරීරික ලිංගිකත්වය සහ ආගමික සංකේතවාදය එකම දෙයක් නොවන බව වටහා ගැනීමයි. එක් සංස්කෘතියක ලිංගිකත්වය සිහිගන්වන රූපයක් තවත් ආගමික සම්ප්රදායකදී විශ්වීය නිර්මාණ ශක්තියේ සංකේතයක් විය හැකිය.
ඉන්දියාවේ මධ්ය ප්රදේශ් ප්රාන්තයේ පිහිටි ඛජුරාහෝ දේවාල සමූහය ලෝකයේ වඩාත්ම ප්රසිද්ධ ශෘංගාරාත්මක ආගමික කලා නිර්මාණ අතරට අයත් වේ.
ක්රිස්තු වර්ෂ දහවැනි සහ එකොළොස්වැනි සියවස්වලදී චන්දේල රාජවංශය යටතේ ඉදිකරන ලද මෙම දේවාලවල බිත්ති මත දෛනික ජීවිතය, නර්තනය, සංගීතය, යුද්ධය, දෙවිවරුන් සහ විවිධ මානව ක්රියාකාරකම් නිරූපණය කර ඇත. ඒ අතර ලෝක අවධානයට යොමුව ඇති ලිංගික හා ශෘංගාරාත්මක කැටයම්ද තිබේ. මෙම කැටයම් අතර විවිධ ලිංගික ඉරියව් සේම මිනිසුන් සහ සතුන් අතර ලිංගික ක්රියා නිරූපණය කරන රූපද දක්නට ලැබේ.
මෙම කැටයම්වල අර්ථය පිළිබඳව විද්වතුන් අතර විවිධ අදහස් පවතී. ඇතැම් අර්ථකථන ඒවා තාන්ත්රික සම්ප්රදායන් සමඟ සම්බන්ධ කරන අතර, තවත් අදහස් අනුව ඒවා මධ්යකාලීන ඉන්දියානු සමාජයේ කලාත්මක හා සංස්කෘතික ජීවිතය නිරූපණය කරයි. දේවාල බිත්තිවල ඇති සෑම ශෘංගාරාත්මක කැටයමක්ම ආගමික ලිංගික අභිචාරයක සාක්ෂියක් ලෙස සැලකිය නොහැකිය. කලා නිර්මාණයක නිරූපණය කර ඇති දේ සහ එම සමාජය සැබෑ ජීවිතයේදී අනුගමනය කළ ආගමික චාරිත්ර අතර වෙනස හඳුනාගැනීම මෙහිදී අත්යවශ්යය.
ඛජුරාහෝ දේවාල අපට පෙන්වා දෙන්නේ ලිංගිකත්වය පිළිබඳ සංකේත පූජනීය ගෘහ නිර්මාණයකට ඇතුළත් විය හැකි බවය. එහෙත් එයින් අදහස් වන්නේ එම දේවාල තුළ ප්රසිද්ධියේ ලිංගික සංසර්ගය ආගමික චාරිත්රයක් හෝ යාතුකර්මයක් ලෙස සිදු කළ බව නොවේ.

හින්දු දර්ශනය තුළ පුරුෂාර්ථ ලෙස හැඳින්වෙන ජීවිතයේ අරමුණු හතරක් පිළිබඳ සංකල්පයක් පවතී. ඒවා නම් ධර්මය, අර්ථය, කාමය සහ මෝක්ෂයයි. ධර්මය යනු යුතුකම හා සදාචාරාත්මක ජීවිතයයි. අර්ථය යනු ජීවිතයට අවශ්ය සම්පත් හා සමෘද්ධියයි. කාමය යනු ආශාව, ප්රේමය සහ ඉන්ද්රියමය සතුට ඇතුළත් පුළුල් සංකල්පයකි. මෝක්ෂය යනු විමුක්තියයි.
මෙම හින්දු දාර්ශනික සංකල්පය අනුව කාමය මිනිස් ජීවිතයෙන් මුළුමනින්ම බැහැර කළ යුතු දෙයක් ලෙස නොසැලකේ. එහෙත් එය ධර්මය සහ සමාජ වගකීම් සමඟ සම්බන්ධ කර ගනිමින් පාලනය කළ යුතු දෙයක් ලෙසද සැලකේ.
මේ පිළිබඳව වැඩිදුර විමසීමේදී ක්රිස්තු වර්ෂ මුල් සියවස්වල ලියැවුණු බව සැලකෙන වාත්ස්යායනගේ කාමසූත්රයද සඳහන් කළ යුතුය. එය ලිංගික ක්රියා විස්තර කරන කෘතියක් පමණක් නොව, ප්රේමය, සම්බන්ධතා සහ නාගරික ජීවිතය පිළිබඳ පැරණි ඉන්දියානු අදහස්ද ඇතුළත් ග්රන්ථයකි.
මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ හින්දු ආගමික මහා සම්ප්රදාය තුළ ලිංගිකත්වය පිළිබඳ එකම ආකල්පයක් පමණක් නොපවතින බවයි. ආගමික නිකාය, කාලය, සමාජ පසුබිම සහ දාර්ශනික අර්ථකථනය අනුව එය වෙනස් වී ඇත.
ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේ පිහිටි කාමඛ්යා දේවාලය ස්ත්රී ශක්තිය සහ සරුසාරත්වය සම්බන්ධ ආගමික විශ්වාස සඳහා ප්රසිද්ධ ස්ථානයකි. එහි පැවැත්වෙන අම්බුබාචි මේලා උත්සවය කාමඛ්යා දේවතාවියගේ ඔසප් වීම සමඟ සම්බන්ධ කර අර්ථකථනය කරනු ලැබේ. මෙම සම්ප්රදාය තුළ ඔසප් වීම හුදෙක් ශාරීරික ක්රියාවලියක් ලෙස නොව, භූමියේ සරුසාරත්වය සහ නිර්මාණ ශක්තිය සංකේතවත් කරන පූජනීය සිදුවීමක් ලෙසද සැලකේ.
නූතන සමාජයේ ඇතැම් පරිසරයන් තුළ ඔසප් වීම ලජ්ජාවට හෝ අපවිත්රභාවයට සම්බන්ධ කරනු ලබන අතර, කාමඛ්යා සම්ප්රදාය එය වෙනස් ආගමික අර්ථයකින් විග්රහ කරයි. එහෙත් සරුසාරත්වය පූජනීය කිරීම යනු අනිවාර්යයෙන්ම ලිංගික සංසර්ගය ආගමික වතාවතක් ලෙස සිදු කිරීම නොවේ.

ඉන්දියානු දේවාල සංස්කෘතිය ගැන කතා කරන විට දේවදාසි සම්ප්රදායද නොසලකා හැරිය නොහැකිය.
ඓතිහාසිකව දේවදාසියන් ලෙස හැඳින්වූ කාන්තාවන් දේවාලවලට සම්බන්ධ වී නර්තනය, සංගීතය සහ ආගමික වතාවත් සඳහා දායක වූ අවස්ථා තිබිණි. එම සම්ප්රදායන් ප්රදේශයෙන් ප්රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස් වූ අතර, ඒ අනුව ඔවුන්ගේ කාර්යභාරයද වෙනස් විය. කෙසේ වෙතත්, පසුකාලීනව ඇතැම් ප්රදේශවල මෙම ක්රමය කාන්තාවන්ගේ සූරාකෑම හා ලිංගික අපයෝජනය සමඟ සම්බන්ධ වූ බවට වාර්තා පවතී. එබැවින් එය පූජනීය සම්ප්රදායක් ලෙස පමණක් හෝ ලිංගික වෘත්තියක් ලෙස පමණක් සරල කර දැක්වීම ඉතිහාසයට අසාධාරණයකි.
එනිසාම මෙම දේවදාසි ක්රමයට එරෙහිව ඉන්දියාවේ විවිධ ප්රාන්තවල නීති සම්මත කර ඇත. එහෙත් අද දක්වා ඇතැම් ප්රදේශවල මෙම ක්රමයට සම්බන්ධ අවශේෂ පවතින බවටද වාර්තා තිබේ.

ශ්රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ප්රධාන ආගමික ධාරාවක් වුවද, දේශීය ජන ආගමික සම්ප්රදායන් තුළ දේව ඇදහිලි, යාතුකර්ම, සරුසාරත්වය සහ වර්ෂාව අපේක්ෂා කරන චාරිත්ර රැසක් පැවතිණි.
මෙම චාරිත්ර අතරින් ඇතැම් ඒවාට ලිංගික සංකේතාත්මක අර්ථ තිබිය හැකි බව ජන සංස්කෘතික අධ්යයනවලදී සාකච්ඡා කර ඇත. එහෙත් එම අර්ථ හඳුනාගැනීමේදී ජනප්රවාදය, සමාජ විද්යාත්මක අර්ථකථනය සහ ඓතිහාසික සාක්ෂි එකිනෙකින් වෙන් කර බැලිය යුතුය.
පොරපොල් ගැසීම, අං ඇදීම සහ දේවාල ආශ්රිත ඇතැම් චාරිත්ර පිළිබඳව විවිධ සංකේතාත්මක අර්ථකථන ඉදිරිපත් වී තිබේ. ඒවා සරුසාරත්වය, පුරුෂ ශක්තිය, ප්රජනනය හෝ සමාජීය එකමුතුව සමඟ සම්බන්ධ කර කියවිය හැකි වුවද, එවැනි සෑම චාරිත්රයක්ම සෘජු ලිංගික යාතුකර්මයක් බව නිගමනය කිරීම සඳහා වෙනම සාක්ෂි අවශ්ය වේ.
එවැනි අධ්යයනයකදී චාරිත්රය සිදු කරන ජනතාව එයට ලබා දෙන අර්ථයද වැදගත් වේ. බාහිර නිරීක්ෂකයකුට ලිංගික සංකේතයක් ලෙස පෙනෙන ක්රියාවක්, එය සිදු කරන ප්රජාවට වෙනත් ආගමික හෝ සමාජීය අර්ථයක් ගෙන දිය හැකිය.
ශ්රී ලංකාවේ නුවර කලාවිය වැනි වියළි කලාපීය ප්රදේශවල නියඟය මිනිස් ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන බව අපි දනිමු. එවැනි පරිසරයක වර්ෂාව අපේක්ෂා කරමින් විවිධ දේව විශ්වාස හා ජන චාරිත්ර බිහි වීම පුදුමයට කරුණක් නොවේ. වැහිගම්පොල මුත්තා සම්බන්ධයෙන් පැවැති බව කියන වැහිබලි යාගයද එවැනි ජන ආගමික සම්ප්රදායක් ලෙස සඳහන් වේ. එම යාගයේ ඇතැම් විස්තරවල පිරිමි පාර්ශ්වය නිරුවතින් සාමූහිකව සහභාගි වූ බව කියැවේ. මෙම චාරිත්රය තුළ ලිංගික සංකේතාත්මක අර්ථ තිබේද යන්න විමසා බැලීමේදී වර්ෂාව ලබා දිය නොහැකි වැහිගම්පොල මුත්තා වැඩ බැරි හෙවත් ලිංගික කාරියේ අසමතකු බවට නිග්රහාත්මක වදන් පවසමින් වැහිබලි යාගය පැවැත්වෙන රාත්රියේ පාළු වැවක් අද්දරදී ඔහුගේ බලි රූපය මත ඔහුගේ බිරිඳගේ බලි රූපය තබා එම වැවේ මඩ වතුරෙන් සෝදා හැරීමේ යාතුකර්මයක් නිරීක්ෂණය වේ. ඉන් ලජ්ජාවට පත් වන වැහිගම්පොල මුත්තා පැය හෝ දින ගණනක් තුළ ඒකාන්තයෙන් වැසි ලබා දෙන බවට පවතින ජන විශ්වාසයක් තිබේ. එමෙන්ම අප රටේ ජන ආගමික අභිචාරවලට සම්බන්ධ මැටි මූර්තීන් අතර පුරුෂ ලිංග සංකේතද ඇති බව පුරාවිද්යාත්මක සාධකවලින් සනාථ වී තිබේ.
දාහත්වැනි සියවසේ ශ්රී ලංකාවේ සිරකරුවකු ලෙස ජීවත් වූ රොබට් නොක්ස්ගේ ‘An Historical Relation of the Island Ceylon’ කෘතිය මෙරට පැරණි සිරිත් විරිත් පිළිබඳ වැදගත් ඓතිහාසික මූලාශ්රයකි. එහෙත් ඔහුගේ විස්තරද ඔහුගේ යුරෝපීය පසුබිම සහ එවකට පැවැ ආගමික හා සදාචාරාත්මක ආකල්ප සැලකිල්ලට ගෙන කියවිය යුතුය. මක් නිසාද යත් ඔහු මෙරට ඇතැම් ජන විශ්වාස බරපතළ විවේචනයට ලක් කොට ඇති බැවිනි.
විශේෂයෙන්ම යුරෝපයේ වික්ටෝරියානු යුගයේ ලිංගිකත්වය පිළිබඳ දැඩි සදාචාරාත්මක සීමාවන් පිළිබඳ අදහස් පෙරදිග සමාජ පිළිබඳ ඇතැම් පසුකාලීන අර්ථකථනවලටද බලපෑවේය. එහෙත් පෙරදිග සමාජ සියල්ලම ලිංගිකත්වය සම්බන්ධයෙන් නිදහස්ව හා විවෘතව හැසිරුණු බව පැවසීමද ඓතිහාසික යථාර්ථය අතිශය සරල කිරීමකි. විවිධ සමාජවල තමන්ටම ආවේණික වූ සීමා, තහංචි සහ සම්මත පැවතිණි.
මේ දිනවල ජාත්යන්තර අවධානයට ලක්වන මක්කම සිද්ධිය, ඉන්දියානු දේවාල කලා නිර්මාණ සහ ශ්රී ලාංකේය ජන ආගමික සම්ප්රදායන් එකට සලකා බැලීමේදී පැහැදිලි වන කරුණක් තිබේ. එනම් ආගම සහ ලිංගිකත්වය සෑම සමාජයකදීම එකම ආකාරයකින් අර්ථකථනය නොවන බවකි. ඇතැම් ආගමික පද්ධති ලිංගික හැසිරීම් දැඩි විනයකට යටත් කරයි. තවත් සම්ප්රදායන් ලිංගිකත්වයට සම්බන්ධ සංකේත නිර්මාණය, සරුසාරත්වය සහ විශ්වීය ශක්තිය නිරූපණය කිරීමට යොදා ගනී. තවත් තැනක එම සංකේත කලාව, නර්තනය, ජන ක්රීඩා සහ සමාජ චාරිත්ර තුළ ජීවත් වේ.
එබැවින් ආගම යනු ලිංගිකත්වය සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන ජන ඇදහිලි හා අභිචාර පද්ධතියක් යැයි කීම නිවැරදි නොවේ. එසේම ආගමික සම්ප්රදායන් සියල්ලම ලිංගිකත්වය පූජනීය කර ඇති බව පැවසීමද වැරදිය. ආගමික සම්ප්රදායන් බොහෝ විට ලිංගිකත්වයට අර්ථයක් ලබා දෙයි. එය විවාහය, පවුල, ප්රජනනය, සදාචාරය, පූජනීයත්වය, තහංචි සහ සමාජ පිළිවෙළ සමඟ සම්බන්ධ කරයි. එම අර්ථය කාලයත් සමඟ වෙනස් විය හැකි අතර, එකම ආගම තුළ වුවද විවිධ අර්ථකථන පැවතිය හැකිය.
මක්කම සිද්ධියේදී සෞදි බලධාරීන් ප්රකාශ කර ඇත්තේ පූජනීය ස්ථානයක සිදු කළ බව කියන ක්රියාවක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කළ බවය. එහෙත් නිශ්චිත චෝදනා, නඩු විභාගය සහ අදාළ සාක්ෂි පිළිබඳ සම්පූර්ණ තොරතුරු නොමැතිව එම දඬුවමේ සියලු නීතිමය හා මානව හිමිකම් පැතිකඩ අවසන් වශයෙන් තීරණය කළ නොහැකිය.
මිනිසාගේ ශරීරය, ආශාව සහ ආධ්යාත්මිකත්වය අතර සම්බන්ධය පිළිබඳ ප්රශ්නයට ලෝකයේ සියලු ආගම් එකම පිළිතුරක් ලබා දී නැත. එහෙත් ඒවා අධ්යයනය කිරීමේදී අපට අවබෝධ කරගත හැකි වැදගත් කරුණක් තිබේ. එනම්, මිනිසා ජීවත් වන සංස්කෘතිය අනුව එකම ශාරීරික ක්රියාවකට හෝ සංකේතයකට සම්පූර්ණයෙන් වෙනස් අර්ථ ලැබිය හැකි බවය.
එහෙත් සංස්කෘතික වෙනස්කම් පිළිගැනීම යනු ඕනෑම දඬුවමක් හෝ ඕනෑම සම්ප්රදායක් ප්රශ්න කිරීමකින් තොරව පිළිගැනීම නොවේ. ඒ සඳහා ආගමික නිදහස, සමාජ සම්ප්රදාය, පුද්ගල අභිමානය, නීතියේ සාධාරණත්වය සහ මානව හිමිකම් එකිනෙක සමඟ සම්බන්ධ කර විමසා බැලිය යුතුය.
එබැවින් ආගම සහ ලිංගිකත්වය යනු දෙවැදෑරුම් කොට සම්පූර්ණයෙන් වෙන් කළ හැකි ක්ෂේත්ර දෙකක් නොවේ. ඒවා අතර සම්බන්ධය ඉතිහාසය, සංස්කෘතිය, බලය සහ මානව අත්දැකීම් විසින් නිරන්තරයෙන් නැවත අර්ථකථනය කරනු ලබයි. අවසානයේ වැදගත් වන්නේ ලිංගිකත්වය උතුම්ද, පවිටුද යන්න පමණක් විමසීම නොවේ; ඒ පිළිබඳ විශ්වාස හා නී මිනිසාගේ ජීවිතයට, නිදහසට සහ අභිමානයට බලපාන්නේ කෙසේද යන්න විමසීමය.
තිලක් සේනාසිංහ