මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට වාමාංශික නායකයකු හා කෘතහස්ත දේශපාලනඥයෙකු සහ ජාත්‍යන්තර කීර්තියට පත් බැක්ටීරියා විද්‍යාව සහ වෛරස් විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා මියයනවිට 91 වන වියෙහි පසුවිය.
1958 මූලික වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසු, තිස්ස විතාරණ මහතා 1959 සිට 1967 දක්වා වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, 1963-64 කාලයේදී කොළඹ මහ රෝහලේ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළේය.පසුව පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ඔහු, 1965 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ MD උපාධියක් ලබා ගෙන තිබේ.පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානිය බලා ගිය ඔහු, 1968 දී ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයෙන් බැක්ටීරියා විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද, 1971 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් වෛරස් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද හිමිකර ගැනීමට සමත් විය.බැක්ටීරියා විද්‍යාව සහ වෛරස් විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ විතාරණ මහතා 1972 දී කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට (MRI) සම්බන්ධ වූ අතර, 1972 සිට 1994 දක්වා එහි වෛරස් විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙසත්, 1983 සිට 1994 දක්වා එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් සේවය කළේය. මීට අමතරව, ඔහු 1980 ගණන්වල එඩින්බරෝ නගර රෝහලේ කලාපීය වෛරස් රසායනාගාරයේ උපදේශක වෛරස් විද්‍යාඥයෙකු ලෙසත්, 1991 සිට 1993 දක්වා මෙල්බර්න් හි වික්ටෝරියා බෝවන රෝග විමර්ශන රසායනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.
1974 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙක් ද වේ.

කාලීන පුවත්