
තායිලන්තයේ සංචාරයක නිරත වී මෙරටට පැමිණි, බෞද්ධ භික්ෂූන් වශයෙන් සැලකෙන පුද්ගලයන් 22 දෙදෙනකු ගුවන් මඟින් මෙරටට ගෙන ආ රුපියල් කෝටි 110කට (බිලියන 1.1කට) අධික වටිනාකමින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සැලකේ. මොවුන් වයස අවුරුදු 19ත් 28ත් අතර පසුවන තරුණ පිරිසක් බව වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඔවුන් රැගෙන ආ ගමන් මලුවල ව්‍යාජ පතුල් (False Bottoms) තුළ පාසල් උපකරණ සහ රසකැවිලි සමඟ සූක්ෂ්ම ලෙස අසුරා තිබී ඇත. එක් අයෙකු සන්තකයේ කිලෝග්‍රෑම් 5 බැගින් මත්ද්‍රව්‍ය තිබී ඇත. වාර්තා වන අන්දමට මෙම පිරිස අප්‍රේල් 22 වන දින අනුග්‍රහකයෙකුගේ ආධාරයෙන් තායිලන්තය බලා ගොස් ඇති අතර, ඔවුන් එහිදී ගිහි ඇඳුමෙන් සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවලින් සොයාගෙන තිබේ.

එම මාධ්‍ය වාර්තා අනුව, මෙම මත්ද්‍රව්‍ය තොගය ඔවුන් රැගෙන ආ ගමන් මලුවල ව්‍යාජ පතුල් (False Bottoms) තුළ පාසල් උපකරණ සහ රසකැවිලි සමඟ සූක්ෂ්ම ලෙස අසුරා තිබී ඇත. එක් අයෙකු සන්තකයේ කිලෝග්‍රෑම් 5 බැගින් මත්ද්‍රව්‍ය තිබී ඇත. වාර්තා වන අන්දමට මෙම පිරිස අප්‍රේල් 22 වන දින අනුග්‍රහකයෙකුගේ ආධාරයෙන් තායිලන්තය බලා ගොස් ඇති අතර, ඔවුන් එහිදී ගිහි ඇඳුමෙන් සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවලින් සොයාගෙන තිබේ. මේ වන විට ඒ සම්බන්ධ අධිකරණ කටයුතු ආරම්භ වී තිබේ. නමුත් ප්‍රවෘත්ති කලාවෙන් බැහැරව මෙවන් සංසිද්ධීන් පිළිබඳ සමාජ හා මානව විද්‍යාත්මක විමසුම් සිදු කිරීමේ සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට තිබේ.
සිංහල භාෂාව සහ බුදුදහම අතර පවතින්නේ අභ්‍යන්තරිකව බැඳුණු අනුපූරක සංස්කෘතික සබඳතාවකි. ශාසනික කටයුතු උදෙසාම වෙන් වූ සුවිශේෂී වචන මාලාවක් හෙවත් “ශාසනික ව්‍යවහාර” දීර්ඝ කාලයක සිට සිංහල ජන සම්ප්‍රදාය තුළ මුල් බැස තිබේ. කෙසේ වුවද, නූතන ජනමාධ්‍ය භාවිතය සහ සමාජ විපර්යාස හමුවේ මෙම ගෞරවනීය ව්‍යවහාරයන් වැරදි ලෙස අර්ථකථනය වීම හෝ අවභාවිත වීම හේතුවෙන් බරපතළ ශාසනික හා සමාජීය ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇත.
විශේෂයෙන්ම, ඕනෑම භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් හැඳින්වීම සඳහා “මහා සංඝරත්නය” යන පදය යෙදීමට වර්තමාන මාධ්‍ය පුරුදුව සිටියි. නමුත් බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ‘සංඝ’ යන්නෙන් අදහස් කරන්නේ පුද්ගල සමූහයක් පමණක් නොවේ. පෙළ දහමට අනුව එය මඟ පල ලැබූ උතුමන්ගෙන් සැදුම්ලත් “ආර්ය සංඝ” සහ උපසම්පදාව ලබා ශාසනික ප්‍රතිපදාව රකින “සම්මුති සංඝ” ලෙස කොටස් දෙකකි. පුද්ගලයන්ගෙන් ඔබ්බට ගිය ආයතනික හෝ සාමූහික ශක්තියක් වන සංඝරත්නය යන පදය, කේවල පුද්ගලයන් කිහිප නමකගේ ක්‍රියාවන් හැඳින්වීමට යොදා ගැනීම එම උත්තරීතර අර්ථය ලඝු කිරීමකි. නමුත් අද දේශපාලනික කටයුතු සඳහා භික්ෂු කණ්ඩායමකගේ සපැමිණීම පවා “මහා සංඝරත්නයේ වැඩමවීමක්” සේ පොදුවේ හඳුන්වනු ලැබේ.

වත්මන් සමාජය භික්ෂුව සහ සංඝයා අතර පවතින ධර්ම විනයානුකූල වෙනස වටහා නොගැනීම මෙම ව්‍යාකූලත්වයට ප්‍රධාන හේතුවයි. “භික්ෂුව” යනු මහණ උපසම්පදාව ලබාගත් තනි පුද්ගලයෙකි. ශාසනික ප්‍රතිපදාවල නිරත වුවද පෘථග්ජන පුද්ගලයෙකු ලෙස මානුෂීය දුර්වලතා හෝ වැරදිවලට පෙළඹීමේ නැඹුරුවක් ඔහු තුළ තිබිය හැකිය. නමුත් යම් භික්ෂුවක් සිදු කරන වැරදි සහගත ක්‍රියාවක් පෞද්ගලික වරදක් මිස, එය සමස්ත ශාසනයේ හෝ සංඝ සමාජයේ පොදු ලක්ෂණයක් නොවේ. ඉහත සඳහන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි සාපරාධී සිදුවීම්වලට සම්බන්ධ පිරිස් හැඳින්වීමට “සංඝරත්නය” යන පදය භාවිත කිරීම භාෂාමය, දෘෂ්ටිමය මෙන්ම දාර්ශනික වරදකි. බුදුරජාණන් වහන්සේ පවා ශික්ෂා පද පැනවූයේ “ඡබ්බග්ගිය” වැනි වැරදි කරන භික්ෂූන් තනි තනිව හෝ කුඩා කණ්ඩායම් ලෙස හඳුනා ගනිමින් මිස, කිසිවිටෙකත් “සංඝයා වහන්සේලා වැරදි කරති” යන පොදු චෝදනාව නැඟුවේ නැත.
අනෙක් අතට, සමාජ සම්මතයට පටහැනි හෝ විනය විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් හැඳින්වීමට නූතන මාධ්‍ය “චීවරධාරියා” යන පදය බහුලව භාවිත කරයි. මෙය සැබවින්ම බුදුදහමේ එන “භික්ෂු ප්‍රතිරූපක” (භික්ෂුවකගේ වේශය ගත්, නමුත් භික්ෂු ගුණ නැති පුද්ගලයා) යන්නට ලබා දී ඇති නූතන ආදේශයකි. සිවුර යනු රහතන් වහන්සේලාගේ ධජය (කාසාවකණ්ඨ) ලෙස සැලකෙන බැවින්, “චීවරධාරියා” යන වදන පරිභවනාත්මක ස්වරූපයෙන් යෙදීම හරහා වක්‍රාකාරව එම පූජනීය වස්ත්‍රයට ද අගෞරවයක් සිදුවේ.

නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් හැඳින්වීම පිණිස යෙදෙන මෙම “චීවරධාරී” යන වදන 1959 වසරේ සිදු වූ බණ්ඩාරනායක ඝාතනය හා සම්බන්ධ වූ බව අපගේ වැටහීමයි. එතුමන් වෙඩි පහරට ලක් වූ 1959 සැප්තැම්බර් 25 වන දා කොළඹ මහරෝහලේදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ “A person wearing a robe” (සිවුරක් හැඳ සිටි පුද්ගලයකු) යන ප්‍රකාශය ඇතැමුන් විසින් “චීවරධාරියා” ලෙස සිංහලයට නැඟීම මෙම ව්‍යවහාරයේ මූලාරම්භය වීමට ද පුළුවන. එමෙන්ම බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අප සමාජයේ යම් ව්‍යාප්තියක් පෙන්නුම් කළ විනයවර්ධන ව්‍යාපාරය, තාපස නිකාය වැනි විකල්ප ශාසනික ප්‍රවණතා හමුවේ නොබියව සිය පන්හිඳ හැසිරවූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් වැනි විද්වතුන්, මෙම ශාසන ප්‍රතිරූපකයන්ගේ වැරදිවලට සමස්ත සංඝ සමාජයම වගකිව යුතු නැති බව මනාව අවධාරණය කළහ. එය ඉතා යහපත් පූර්වාදර්ශයකි.
නමුත් වර්තමානයේ මෙවැනි වැරදි ව්‍යවහාරයන්ට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මාධ්‍යවේදීන්ට ශාසනික ශික්ෂණය පිළිබඳ පවතින නොදැනුවත්කම, පුවත්වල ආකර්ෂණය (Sensationalism) වැඩි කිරීමට දරන උත්සාහය සහ පන්සල හා ගම අතර පැවති සමීප සබඳතාව ගිලිහී යාමයි. අතීතයේ අප රටේ වැඩ විසූ නාහිමිවරුන් මෙම ශාසනික යෙදුම් පිළිබඳව ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් දැනුවත් කළහ. කිසියම් ජනමාධ්‍යයක බුදුසමය හා සම්බන්ධ ශාසනානුරූපී නොවන යෙදුම් භාවිත කළ විට, උන්වහන්සේලා ඒ සම්බන්ධයෙන් ලිපි මඟින් එම මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට කටයුතු කළහ.
ශාසනික ව්‍යවහාරයන් යනු හුදෙක් වචන සමූහයක් පමණක් නොවේ. එය බුදුසමයේ හරය සහ ගෞරවය ආරක්ෂා කරන පවුරකි. භික්ෂූන් වහන්සේ නමකගේ ශාසනික මෙහෙවර සහ සමාජීය භූමිකාව නිවැරදිව හඳුනාගෙන, ඒ උදෙසා උචිත වචන භාවිත කිරීම මාධ්‍යයේ මෙන්ම පොදු මහජනතාවගේ ද වගකීමකි. විශේෂයෙන්ම ශාසන විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් භික්ෂු ප්‍රතිරූපකයින් ලෙස හඳුනා ගැනීම මිස, එම පුද්ගල වැරදි පිරිසිදු සංඝ සමාජය මත පැටවීම නොකළ යුතුය. “සංඝ” යනු පාරිශුද්ධත්වයේ නාමයක් මිස, සිවුරු දැරූ පමණින් ඕනෑම පුද්ගලයෙකුට ආරෝපණය කළ හැකි ලේබලයක් නොවන බව වටහා ගැනීම කාලීන අවශ්‍යතාවකි.
ශාසනික ව්‍යවහාරයන් යනු හුදෙක් වචන සමූහයක් පමණක් නොවේ. එය බුදුසමයේ හරය සහ ගෞරවය ආරක්ෂා කරන පවුරකි. භික්ෂූන් වහන්සේ නමකගේ ශාසනික මෙහෙවර සහ සමාජීය භූමිකාව නිවැරදිව හඳුනාගෙන, ඒ උදෙසා උචිත වචන භාවිත කිරීම මාධ්‍යයේ මෙන්ම පොදු මහජනතාවගේ ද වගකීමකි. විශේෂයෙන්ම ශාසන විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් භික්ෂු ප්‍රතිරූපකයින් ලෙස හඳුනා ගැනීම මිස, එම පුද්ගල වැරදි පිරිසිදු සංඝ සමාජය මත පැටවීම නොකළ යුතුය. “සංඝ” යනු පාරිශුද්ධත්වයේ නාමයක් මිස, සිවුරු දැරූ පමණින් ඕනෑම පුද්ගලයෙකුට ආරෝපණය කළ හැකි ලේබලයක් නොවන බව වටහා ගැනීම කාලීන අවශ්‍යතාවකි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය