
මේ දිනවල අප රටේ “ඒහි පස්සිකෝ” නමින් පැවැත්වෙන සාම පා ගමන සඳහා එක් වන ලෝක ප්‍රකට ‘ආලෝකා’ නම් වන ඉන්දියානු වීදි සුනඛයා, මේ වන විට සන්නාමකරණයට (Branding) ලක් වෙමින් පවතින බව සරසවි සිසු පිරිසක් පසුගිය දිනයෙක මා හා කීහ. ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ආලෝකා මුල් කොට ගත් ඇඳුම් විලාසිතා, විශේෂයෙන් ටී ෂර්ට් පවා මාර්ගස්ථ ක්‍රමයට (Online) ගෙන්වා ගැනීමට හැකි බවකි. සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩිදුර හැදෑරීම් කරන තරුණ පෙළ මෙවන් සමාජමය විචල්‍යතාවන් සම්බන්ධයෙන් සංතීක්ෂණ අයුරින් කටයුතු කිරීම සතුටට කරුණකි.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා අදහස් හුවමාරු කර ගැනීමටත්, විවිධ සංකල්ප තහවුරු කිරීමටත් සංකේත (Symbols) බහුලව භාවිත කර ඇත. සංකේතයක් යනු හුදෙක් රූපයක් හෝ ලකුණක් පමණක් නොව, එය කිසියම් ජන සමාජයක් විසින් සාමූහික සම්මුතියක් (Collective Consensus) මත පදනම්ව පිළිගත් ගැඹුරු අර්ථ සමුදායක නියෝජනයකි. මෙම සංකේත ජන වාර්ගික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ගෝලීය පදනමක් දක්වා විහිදී යයි.
අපගේ ජනවහරේ එන සරල උදාහරණයක් ලෙස, “සයිබුගෙන් බෙහෙත් කෑවා වගේ” යන සිංහල ප්‍රස්තාව පිරුළ දැක්විය හැක. එම පිරුළෙන් අදහස් වන්නේ, යම් දියුණුවක් අපේක්ෂාවෙන් කළ කටයුත්තකින් අවසානයේ පවත්නා තත්ත්වයේ පවා අවනතියක් සිදු වූ බවයි. මෙහිදී ‘සයිබු’ යන පුද්ගල නාමය අසාර්ථකත්වයේ සංකේතයක් ලෙස ජන විඥානය තුළ ස්ථාපිත වී ඇත.
සත්ව ලෝකය හා සම්බන්ධ සංකේත ද මානව සංස්කෘතියේ මුල් බැසගෙන තිබේ. සිංහයා ‘වනයේ රජු’ ලෙස සැලකීම මෙයට කදිම නිදසුනකි. විද්‍යාත්මකව බැලූ කල සිංහයා වනාන්තර තුළ වාසය කරනවාට වඩා තණබිම් හෝ සැවානා ප්‍රදේශවල ජීවත් වුවද, මිනිසා විසින් ඔහුට ආරෝපණය කරන ලද වීරත්වය, ශක්තිය සහ ගාම්භීරත්වය වැනි ගුණාංග නිසා සිංහයා ලෝක මට්ටමේ බලගතු සංකේතයක් බවට පත්ව ඇත.

මෙලෙස සත්ව ලෝකය හා සම්බන්ධ සංකේත ද මානව සංස්කෘතියේ මුල් බැසගෙන තිබේ. සිංහයා ‘වනයේ රජු’ ලෙස සැලකීම මෙයට කදිම නිදසුනකි. විද්‍යාත්මකව බැලූ කල සිංහයා වනාන්තර තුළ වාසය කරනවාට වඩා තණබිම් හෝ සැවානා ප්‍රදේශවල ජීවත් වුවද, මිනිසා විසින් ඔහුට ආරෝපණය කරන ලද වීරත්වය, ශක්තිය සහ ගාම්භීරත්වය වැනි ගුණාංග නිසා සිංහයා ලෝක මට්ටමේ බලගතු සංකේතයක් බවට පත්ව ඇත. මෙය දීර්ඝ ඉතිහාසයක් පුරා ජන විඥානය තුළ තැන්පත් වූ දාර්ශනික අගයක් ගනී. ජනශ්‍රැතිය තුළ මෙවැනි සංකේතකරණයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම් මිනිස් ගුණාංග සතුන්ට හෝ අජීවී වස්තුවලට ආරෝපණය කිරීම හෙවත් මානවාරෝපණය (Anthropomorphism) සහ මිනිසුන් හෝ දෙවියන් සත්ව ස්වරූපයෙන් නිරූපණය කිරීම හෙවත් සත්වාරෝපණය (Zoomorphism) යනුවෙනි. ඒ අනුව සත්ව ප්‍රජාව මානව සමාජයෙන් වියුක්ත කොට සැලකීම ශාස්ත්‍රීය අවනතියකට මුල් වනු ඇත.

මානව සංස්කෘතියේ මුල් බැසගෙන ඇති සත්ව ලෝකය හා සම්බන්ධ සංකේත බොහොමයකි. “නරියා කපටියෙකි” යන්න ඉන් ලොව පුරා ප්‍රචලිත වූවකි. “ඒ මිනිහා කපටි නරියෙක්” යන සිංහල වහර, “He is a sly fox” යනුවෙන් ඉංග්‍රීසි බසින් එලෙසින්ම ව්‍යවහාර වේ. සමාජයීය වශයෙන් මෙම සංකේත භාවිතා වීම සඳහා බොහෝ විට පුරාණෝක්ති ඉවහල් වෙතත්, ඇතැම් සංකේත නාගරික පුරාවෘත්ත (Urban Legends) මත පදනම් වන අවස්ථා බහුල ය. ඒවා බොහොමයක් අර්ධ හෝ පූර්ණ වශයෙන් කාල්පනික වුව ද සත්‍ය සිදුවීම් ද නැත්තේම නොවේ.

හචිකෝ (Hachiko) යනු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ, ස්වාමි භක්තිය පිළිබඳ අසිරිමත් සංකේතයක් වූ සුනඛයෙකි. ජපානයේ අකිටා (Akita) වර්ගයට අයත් මෙම සුනඛයාගේ කතාව අදටත් බොහෝ දෙනෙකුගේ හදවත් සංවේදී කරවන්නකි. ඒ, මිනිස්-සුනඛ සහසම්බන්ධතාව උදෙසා උදාර කැපවීමක් කළ සුනඛයකු ලෙසිනි.

හචිකෝ උපත ලැබුවේ 1923 වසරේදීය. හචිකෝගේ හිමිකරු වූයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ හිදෙසබුරෝ උඑනෝ (Hidesaburo Ueno) ය. මහාචාර්යවරයා සේවයට යාම සඳහා ටෝකියෝවේ ෂිබුයා (Shibuya) දුම්රිය ස්ථානයට යන විට හචිකෝ ඔහු පසුපස පැමිණි අතර, සවස් කාලයේ මහාචාර්යවරයා ආපසු පැමිණෙන වේලාවට දුම්රිය ස්ථානයට පැමිණ ඔහු කැටුව ඒම හචිකෝගේ දෛනික පුරුද්ද විය.

1925 වසරේ දිනක මහාචාර්යවරයා විශ්වවිද්‍යාලයේදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයකින් මියගිය අතර, තම ස්වාමියා නැවත නොපැමිණීම තේරුම් ගත නොහැකිව හචිකෝ එදින සිට වසර 9යි මාස 9ක් පුරාවටම සෑම දිනකම සවස් කාලයේ ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණ මහාචාර්යවරයා එනතුරු බලා සිටියේය. 1935 මාර්තු 08 වන දා හචිකෝ මියයන තෙක්ම මෙම ක්‍රියාව අත්හැරියේ නැත.
හචිකෝගේ මෙම අපිරිමිත ස්වාමිභක්තිය අගය කරමින් ඔහු මියයෑමටත් ප්‍රථම, එනම් 1934 දී ෂිබුයා දුම්රිය ස්ථානය ඉදිරිපිට ලෝකඩ ප්‍රතිමාවක් නිර්මාණය කෙරිණි. එම අවස්ථාවට හචිකෝ ද සහභාගී කර ගත් බව පැවසෙයි. නමුත් දෙවන ලෝක යුද සමයේ ඇති වූ ලෝහ අවශ්‍යතාව මත එම ප්‍රතිමාව උණු කොට ඇත්තත්, යුද්ධය නිමාවීමෙන් පසු එය තැනූ ශිල්පියාගේ පුතු විසින් ඒ ආකාරයේම ලෝකඩ ප්‍රතිමාවක් කරවා ඇත. අදටත් එය සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයක් වන අතර සෑම වසරකම ජපානයට සකුරා වසන්තය එළඹීම මුල් කොට යෙදෙන හචිකෝ සැමරුම් දිනයේ දී ෂිබුයා දුම්රිය ස්ථානය අද්දර ඇති හචිකෝගේ ප්‍රතිමාව මල් දම්වලින් වැසී ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවත එන මිනිස්-සුනඛ සහසම්බන්ධතාවට උත්තරීතර මිනිස් දම් වෙතින් හිමි වන ප්‍රණාමයක් ලෙසිනි.
හචිකෝගේ කතාව ඇසුරින් ජපන් සහ ඉංග්‍රීසි භාෂාවලින් චිත්‍රපට නිර්මාණය වී ඇති අතර Hachikō Monogatari (1987) යනු ජපානය විසින් නිෂ්පාදනය කරන ලද මුල් චිත්‍රපටයයි. සෙයිජිරෝ කොයාමා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා කෘතියෙන් හචිකෝගේ සත්‍ය ජීවිත කතාව වඩාත් තාත්විකව ඉදිරිපත් කොට තිබේ. Hachi: A Dog’s Tale (2009) රිචඩ් ගියර් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙය හොලිවුඩ් ප්‍රතිනිර්මාණයකි. මෙහි කතාව ඇමරිකානු පසුබිමකට අනුවර්තනය කර ඇති අතර ජාත්‍යන්තරව වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය මෙය වේ. Hachiko (2023): චීනය විසින් නිෂ්පාදනය කරන ලද නවතම ප්‍රතිනිර්මාණය වන අතර මෙහි කතාව චීන සංස්කෘතික පසුබිමකට අනුකූලව නිර්මාණය කර ඇත.


සතුන් සහ මිනිසුන් අතර පවතින අව්‍යාජ බැඳීමත්, විශේෂයෙන්ම සුනඛයන් තුළ පවතින මනෝවිද්‍යාත්මක ලැදියාවත් වටහා ගැනීමට හචිකෝගේ චරිතය කදිම නිදසුනකි. ඒ අනුව මුල දී මිනිස්-සුනඛ සහසම්බන්ධතාවේ සංකේතයක් වූ හචිකෝ, විවිධ පිරිස් විසින් පසුව සන්නාමයක් බවට පත් කරන ලදී. නමුත් එහි කිසියම් දොසක් ඇති බවක් නොපෙනේ.
බැලූ බැල්මට සංකේතයක් සහ සන්නාමයක් (Brand) සමාන යැයි හැඟුණ ද, ඒවායේ මූලාරම්භය සහ අරමුණ එකිනෙකට වෙනස්ය. සංකේතය ස්වයංසිද්ධව පැන නගින්නක් වන අතර, සන්නාමය යනු සවිඥානිකව සහ උපායමාර්ගිකව සැලසුම් කරන ලද ප්‍රවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. වර්තමාන පරිභෝජනවාදී සමාජය තුළ, පවතින ගැඹුරු සංස්කෘතික සංකේතයන් වාණිජ අරමුණු සඳහා සන්නාමකරණයට (Branding) ලක් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
නිදසුනක් ලෙස, ‘මාතෘත්වය’ යනු පරම පවිත්‍ර ආදරයේ සංකේතයක් වුවද, වෙළඳපොළ උපායමාර්ගිකයින් ‘මව්වරුන්ගේ දිනය’ වැනි අවස්ථාවන් උපයෝගී කරගනිමින් එම සංකේතය භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට සන්නාමකරණය කර ඇත. එය වඩාත් පැහැදිලි කළහොත්, සංකේතයක් යනු සමාජයක ආත්මය හා බැඳුණු පොදු එකඟතාවක් වන අතර, සන්නාමකරණය යනු එම සංකේතවල ඇති භාවාත්මක වටිනාකම භාවිත කරමින් නව වාණිජ අර්ථයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි.
“ඒහි පස්සිකෝ” නමින් පැවැත්වෙන ආධ්‍යාත්මික සාම පා ගමන තම තමන්ගේ දේශපාලන, ව්‍යාපාරික සහ අලෙවි ප්‍රවර්ධන අරමුණු වෙනුවෙන් බහුලව භාවිතා වන අතරේ, ආලෝකා මුල් කොට ගත් ඇඳුම් විලාසිතා – විශේෂයෙන් ටී ෂර්ට් – මෙලෙස ප්‍රවර්ධනය වීම සාමය පිළිබඳ පණිවිඩය නාමිකව හෝ සමාජගත වීමක් ලෙස ද දැක්විය හැක.

“ඒහි පස්සිකෝ” නමින් පැවැත්වෙන ආධ්‍යාත්මික සාම පා ගමන තම තමන්ගේ දේශපාලන, ව්‍යාපාරික සහ අලෙවි ප්‍රවර්ධන අරමුණු වෙනුවෙන් බහුලව භාවිතා වන අතරේ, ආලෝකා මුල් කොට ගත් ඇඳුම් විලාසිතා – විශේෂයෙන් ටී ෂර්ට් – මෙලෙස ප්‍රවර්ධනය වීම සාමය පිළිබඳ පණිවිඩය නාමිකව හෝ සමාජගත වීමක් ලෙස ද දැක්විය හැක.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය