
මෙවර දිට්වා ආපදාවටත් වඩා දරුණු ගල් අඟුරු අර්බුදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවී තිබේ. නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු 2026/27 කාලපරිච්ඡේදයට අදාළව මිලදී ගැනීමේදී සිදුවූයේ යැයි කියනු ලබන අක්රමිකතාවන් පිළිබඳව රටට හෙළිවන්නට පටන්ගත්තේ ජනවාරි මාසයේ පමණ සිට ය. මේ යටතේ මුලින්ම රට ඉදිරියේ තැබුණේ මෙවර ගල් අඟුරු සැපයුම්කරුවන් ලියාපදිංචියේදී එතෙක් පැවති නිර්ණායකයන් ලිහිල් කර ඇතැයි යන චෝදනාවයි. නමුත් මේ විවේචන තුට්ටුවකට වත් ගැනීමට ආණ්ඩුව සූදානම් වූයේ නැත. ඊළඟට ගල් අඟුරු මිලදී ගැනීමට ආණ්ඩුව තෝරාගත් ‘ට්‍රයිඩන්ට් චැම්පා’ (Trident Champar) නම් ඉන්දීය සමාගමෙන් මිලදී ගත් පළමු ගල් අඟුරු නැවේ ගල් අඟුරුවල ගුණාත්මක භාවය අඩු බවට චෝදනා විපක්ෂයෙන් එල්ලවන්නට පටන් ගත්තේය. ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ මේ ලෝකයේ බාල ගල් අඟුරු කියා දෙයක් නැති බවත්, ගල් අඟුරු යනු ස්වාභාවිකව නිර්මාණය වන දෙයක් නිසා එහි ඉහළ තත්ත්වයේ ගල් අඟුරු කියා දෙයකුත් නොමැති බවත් යනුවෙන් වන ගැලරිය චූන් කරවන පිළිතුරකි. නොරොච්චෝල විදුලි බලාගාරයේ වාර්තා අනුව මෙවර මිලදී ගත් ගල් අඟුරුවල නියමිත තාප ජනන හැකියාව නොමැති බව තහවුරු වන විට විදුලිබල ඇමති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බලාගාරයේ ඉංජිනේරු වාර්තා පිළිගත නොහැකි බවට ය. මේ අන්දමින් දිගින් දිගටම ගෙන ආ ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳව විවේචන එල්ල වෙද්දී, බලාගාරයේ හා විදුලිබල මණ්ඩලයේ වාර්තා අනුව මෙම ගල් අඟුරු යොදාගෙන විදුලිය නිපදවීමේදී අපේක්ෂිත මට්ටමට විදුලිය නිපදවිය නොහැකි බව තහවුරු වෙද්දී, ජනාධිපතිවරයා පවා ප්‍රසිද්ධියේ ගල් අඟුරු, ගෑස් ආදිය මිලදී ගැනීම යම් යම් කාටල් ගත සමාගම්වලින් සිදු කර, මුදල් ඉපයීමේ කූට ව්‍යාපාරවල පසුගිය රජයන් යෙදී ඇති බවට චෝදනා කළේය. තම ආණ්ඩුව මේ කාටල් බිඳදමා නිවැරදි ක්‍රමවේදවලට අනුව ගල් අඟුරු, ගෑස් මිලදී ගැනීම නිසා එකී කාටල් හරහා වාසි සලසා ගත් නිලධාරීන් හා දේශපාලකයින් නොයෙක් “ලෙඩ අදින” බවත්, ආණ්ඩුව ඒවායින් නොසැලී නිවැරදි ක්‍රමවේද දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා විසින් සිංහ නාදයක් මෙන් ප්‍රකාශ කළේ ගල් අඟුරුවල තත්ත්වයෙන් බාල බවට දැඩි විවේචනයක් රට පුරා පැන නගිද්දීය. ඒ අනුව ජනාධිපතිවරයාත්, අමාත්‍යවරුනුත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුනුත් ආරම්භයේ සිටම තත්ත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳ චෝදනාව නොපිළිගත්තා පමණක් නොව මාලිමා ආණ්ඩුවේ සේදුම් බලකායේ අත් පොලසන් හඬ මැද එය නිවැරදි ගනුදෙනුවක් බව දිගින් දිගටම ප්‍රකාශ කිරීමට ද අමතක කළේ නැත.
ආණ්ඩුවට අන්තිමට සිදුවූයේ ගල් අඟුරුවල තත්ත්වය බාල බව පිළිගැනීමට ය. ඉන්පසුව ආණ්ඩුව කියා සිටියේ ගල් අඟුරු තත්ත්වයෙන් බාල වීම දූෂණයක් නොවන බවත්, එමෙන්ම බාල ගල් අඟුරු නිසා වන පාඩුව අදාළ සැපයුම්කරුගෙන් අය කර ගන්නා බවත් ය. මීට පෙරත් එලෙස බාල ගල් අඟුරු මිලට ගෙන සැපයුම්කරුගෙන් දඩ අය කර ඇති බව ද කියමින්, ගල් අඟුරු බාල වුවත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නිවැරදි බවට “ලෙඩා මළාට බඩ සුද්දයි” පන්නයේ පිළිතුරු දීමට ආණ්ඩුව පටන් ගත්තේ මේ අවස්ථාවේදී ය. ඇතැම් ඇමතිවරුන් ප්‍රකාශ කළේ දඩ ගෙවන්න බැරි යැයි කියා සමාගම බංකොලොත් වුවහොත් අපට ගල් අඟුරු නැති වන බව ය. ජනාධිපතිවරයාම ගල් අඟුරු ගත්තේ “කාලා බලා” නොවන බැවින් තත්ත්වය පිළිබඳව යම් ප්‍රශ්නයක් පවතින බවත්, එසේ වුවද එම පාඩුව සැපයුම්කරුගෙන් පියවා ගන්නා බවත්, ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදු කර ඇති බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එසේ වුවද ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග මේ ගල් අඟුරු මිලදී ගැනීමේදී බරපතළ දූෂණයක් සිදුව ඇති බවටත්, තත්ත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම තුළ අපේක්ෂිත විදුලිබලය නොරොච්චෝල බලාගාරයෙන් ලබාගත නොහැකි බවටත්, අවසානයේ ඩීසල්වලින් නිපදවෙන විදුලිය මිලදී ගැනීම හරහා මෙම ගනුදෙනුවේ පාඩුව ජනතාවට පැටවෙනු ඇති බවටත් සාර්ථකව කරුණු ඉදිරිපත් කළේය. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සජබ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ මෙන්ම, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එක්සත් ජනරජ පෙරමුණේ සහ ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ නායකයන් ද ආණ්ඩුවේ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාකලාපයට දැඩි විවේචන එල්ල කළෝය. මේ විවේචන හමුවේ ආණ්ඩුවට අන්තිමට සිදුවූයේ ගල් අඟුරුවල තත්ත්වය බාල බව පිළිගැනීමට ය. ඉන්පසුව ආණ්ඩුව කියා සිටියේ ගල් අඟුරු තත්ත්වයෙන් බාල වීම දූෂණයක් නොවන බවත්, එමෙන්ම බාල ගල් අඟුරු නිසා වන පාඩුව අදාළ සැපයුම්කරුගෙන් අය කර ගන්නා බවත් ය. මීට පෙරත් එලෙස බාල ගල් අඟුරු මිලට ගෙන සැපයුම්කරුගෙන් දඩ අය කර ඇති බව ද කියමින්, ගල් අඟුරු බාල වුවත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නිවැරදි බවට “ලෙඩා මළාට බඩ සුද්දයි” පන්නයේ පිළිතුරු දීමට ආණ්ඩුව පටන් ගත්තේ මේ අවස්ථාවේදී ය. ඇතැම් ඇමතිවරුන් ප්‍රකාශ කළේ දඩ ගෙවන්න බැරි යැයි කියා සමාගම බංකොලොත් වුවහොත් අපට ගල් අඟුරු නැති වන බව ය. ජනාධිපතිවරයාම ගල් අඟුරු ගත්තේ “කාලා බලා” නොවන බැවින් තත්ත්වය පිළිබඳව යම් ප්‍රශ්නයක් පවතින බවත්, එසේ වුවද එම පාඩුව සැපයුම්කරුගෙන් පියවා ගන්නා බවත්, ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදු කර ඇති බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙසේ ජනාධිපතිවරයා ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිවැරදි බවට සහතික වී පැය කිහිපයක් තුළ මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ජනරජයේ විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක් එළිදැක්විණි. ඉන් පැවසුණේ මේ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ බරපතළ අඩුපාඩු රාශියක් සිදුව ඇති බව ය. ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය මූල්‍ය බලතල ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවට පමණක් වගකීමෙන් බැඳී ඇති විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන් සැලකෙන්නේ ස්වාධීන හා අපක්ෂපාතී නිසි ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරන නිරීක්ෂණයන් ලෙස ය. මෙවර ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කර ඇති නිරීක්ෂණයන්ගෙන් හෙළිවන්නේ මෙම ක්‍රියාවලියේ බරපතළ අඩුපාඩු රැසක් ඇති බවය.

මෙම ගල් අඟුරු ගනුදෙනුවට අදාළව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් නිරීක්ෂණය කර ඇති කරුණු, සැපයුම්කරුවන් ලියාපදිංචියේ සිට සපයනු ලැබූ ගල් අඟුරු දහනයෙන් විදුලිය ජනනය කිරීම දක්වා වන ක්‍රියාවලියට අදාළව ඉදිරිපත් කර ඇත. සැපයුම්කරුවන් ලියාපදිංචිය සඳහා දැන්වීම් ප්‍රසිද්ධ කර මාස හයකට පමණ පසු එම දැන්වීමේ තිබුණු ප්‍රධාන නිර්ණායකයක් වෙනස් කර සංශෝධනය කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් ය. ඒ, මෙරටට ගල් අඟුරු සැපයීමට සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට නම් ගතවූ මාස 36ක කාලපරිච්ඡේදය තුළදී ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සපයා තිබීමත්, ඉන් ලක්ෂ පහකට නොඅඩු ප්‍රමාණයක තාප ජනන අගය කිලෝ කැලරි 5900 හෝ ඊට වඩා වැඩි ඒවා වීමත් අනිවාර්ය නිර්ණායකයක්ව තිබුණි. විගණන වාර්තාව අනුව මේ නිර්ණායකය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවූ දැන්වීම් ප්‍රසිද්ධ කළ දිනට මාස හයකට පමණ පසුව 2025/06/23 වන දිනැතිව සංශෝධනය කර ඇත. ඒ ගතවූ මාස 36 තුළ සපයන ලද ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් හා ඉන් ලක්ෂ එකක් තාප ජනන අගය කිලෝ කැලරි 5900 හෝ ඊට වැඩි ලෙසටය. විගණන වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනයේදී මේ වර්ෂයේ සැපයුම්කරුවන් ලියාපදිංචියට අයදුම්පත් කැඳවන විටත් ලංකා ගල් අඟුරු සමාගමේ කලින් නිර්ණායක යටතේ ලියාපදිංචි වූ වලංගු සැපයුම්කරුවන් විස්සකට වඩා සිට ඇති බව පැහැදිලි ය. පැරණි නිර්ණායක යටතේ ලියාපදිංචි වූ සැපයුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටියදී, නව සැපයුම්කරුවන් ලියාපදිංචියේදී නිර්ණායක විශාල ලෙස සංශෝධනය කළේ නිශ්චිත නව සැපයුම්කරුවෙකුට ඒ අවස්ථාව ලබාදීමටදැයි සාධාරණ සැකයක් ජනතාව ලෙස අපට ඇතිවේ. මේ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීම කර දීර්ඝ කාලයකට පසුව නිර්ණායකය මෙසේ ලිහිල් කිරීමට පදනම් වූ සාධාරණ හේතු රටට පැහැදිලි කිරීමට රාජ්‍ය සමාගමක් වන ලංකා ගල් අඟුරු සමාගමත්, එය අයත් වූ විදුලිබල අමාත්‍යාංශයත් බැඳී සිටියි. මේ නිර්ණායකයන් වෙනස් කළේ ඇයි? එසේ කිරීමට තිබුණු සාධාරණ හේතු මොනවාද? ඒ සඳහා අමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලය හෝ ප්‍රසම්පාදන කමිටුව මැදිහත් වුණාද? මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගත්තේද? එසේනම් ඒ යෝජනාව ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැකසුවේ කාගේ අදහසකට අනුවද? මේ නිර්ණායක ලිහිල් කිරීම කිසියම් සමාගමකට වාසියක් සැලසීමේ අරමුණින් කළ එකක් නම් එය දූෂණ විරෝධී පනත යටතට ගැනෙන අපරාධයකි. මේ සියලු කරුණු විමර්ශනයකට ලක් කළ යුතුව ඇති වැරදි පිළිබඳ තොරතුරුය.
මෙවර සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචිය සඳහා සමාගම් හයක් සුදුසුකම් සපුරා ඇති බව ප්‍රසම්පාදන කමිටුව 2025/08/13 දින තීරණය ගත් බවත්, ඒ අනුව ඩොලර් 5000ක මුදල් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගත යුතුව තිබුණි. 2025/08/14 දින මේ සමාගම් හයට ඩොලර් පන්දහස බැගින් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගැනීමට දැන්වූ බව ලංකා ගල් අඟුරු සමාගම කෝප් කමිටුව ඉදිරියේ කියා සිටිනු දුටුවෙමි. ඒ අනුව ඊට දින හතරකට පසුව ගල් අඟුරු ටෙන්ඩරය සඳහා ලංසු ලියවිලි නිකුත් කරන බැවින්, ඊට පෙර ඩොලර් 5000 ගෙවා ලියාපදිංචිය ලබා ගැනීමට ක්‍රියා කරන ලෙසට ද එම සමාගම්වලට දැනුම්දීම කර ඇත. එසේ වුවද නියමිත දිනය වූ අගෝස්තු දහ අටවන විට ලියාපදිංචිය තහවුරු කරගෙන තිබුණේ මින් සමාගම් තුනක් පමණි. ඒ අනුව ලංසු ලියවිලි නිකුත් කළ යුතුව තිබුණේ මෙවර ලියාපදිංචිය තහවුරු කර ගත් නව සැපයුම්කාර සමාගම් තුනට හා කලින් ලියාපදිංචිව සිටි වලංගු සැපයුම්කාර සමාගම් විසි එකට පමණි. විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් නිරීක්ෂණය කර ඇති අන්දමට, නියමිත දිනට ගාස්තු ගෙවා ලියාපදිංචිය තහවුරු කර නොගත් ‘ට්‍රයිඩන්ට් චැම්පා’ (Trident Champar) සමාගමට හා ‘පැනකේප් ට්‍රේඩින්ග්’ (Panscape Trading DMCC) සමාගම යන සමාගම් දෙකට ලංසු ලියවිලි කුරියර් මගින් හා විද්‍යුත් තැපෑලෙන් යවා තිබුණු බව නිරීක්ෂණය කර ඇත. නියමිත ගාස්තුව නියමිත දිනට ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ නොකළ සමාගම් තුනක් තිබුණත්, ඉන් ඉහත සමාගම් දෙකට පමණක් ලංසු ලියවිලි නිකුත් කර, එපරිද්දෙන්ම නියමිත දිනට ගාස්තු ගෙවා නොතිබුණු ‘SAMCO LTD’ නම් සමාගමට ලංසු ලියවිලි නොයැව්වේ ඇයි? ගාස්තු ගෙවා ලියාපදිංචිය තහවුරු කර තිබීම ලංසු ලියවිලි ලබා ගැනීමට මූලික සුදුසුකමව තිබියදී, එසේ නොවූ ඉහත සමාගම් දෙකට ලංසු ලියවිලි යැවීමට තරම් විශේෂ ලෙස සැලකීමට හේතුව කුමක්ද? මේවා මහජනතාව ලෙස අපට ඇතිවන ප්‍රශ්න ය. විශේෂයෙන්ම මෙම ප්‍රශ්නගත බාල ගල් අඟුරු සපයා ඇත්තේ ඉහත විශේෂ සැලකීමට භාජනය වූ බව පෙනෙන ට්‍රයිඩන්ට් චැම්පා සමාගම නිසා, ඉහත ප්‍රශ්නවලට රටට කරුණු පැහැදිලි කිරීම අත්‍යවශ්‍යය. මේ ක්‍රියාවෙන් ප්‍රසම්පාදනයේ තිබිය යුතු සාධාරණභාවය යන මූලධර්මයට හානිවී ඇති බව විගණකාධිපතිගේ නිරීක්ෂණයයි.
විගණකාධිපති වාර්තාවේ දැක්වෙන මීළඟ නිරීක්ෂණය වන්නේ 2026/03/11 වන විට සැපයුම්කාර සමාගම විසින් සපයා තිබූ නැව් තොග දොළහක ගල් අඟුරු පිළිබඳව විදුලි බලාගාරයේ පාලන ඒකකය සපයා ඇති වාර්තාවලට අනුව, එම ගල් අඟුරුවලින් බලාගාරයේ පූර්ණ ධාරිතාව ලබාගත නොහැකිව තිබියදී හා පාර්ලිමේන්තු කමිටුවල හා සමාජය තුළ ගල් අඟුරුවල ගුණාත්මක තත්ත්වය අභියෝගයට ලක්ව තිබියදීත්, ගිවිසුම් ප්‍රකාරව ගැනුම්කරු වූ ලංකා ගල් අඟුරු සමාගමට, විකුණුම්කරුට ද එකඟ විය හැකි ස්වාධීන පරීක්ෂකවරයෙකු පත්කිරීමට තිබුණු හැකියාව භාවිතා නොකිරීම හා සෑම නැව්ගත කිරීම් පහකටම වරක් ගැනුම්කරුගේ නියෝජිතයින් දෙදෙනෙකුට අහඹු පදනම මත පැටවුම් වරායේ නියැදීම හා විශ්ලේෂණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමට තිබූ අවස්ථාව භාවිතා නොකිරීමයි. ශ්‍රී ලංකා රජයේ සමාගමක් වූ ලංකා ගල් අඟුරු සමාගම මිලදී ගත් ගල් අඟුරුවල අඩු ගුණාත්මක තත්ත්වය ගැන බලවත් මහජන මතයක් තිබියදීත්, රජයේම විදුලිබලාගාරයේ වාර්තාවලින් ඒ බව සනාථ වී තිබියදී, මිලදී ගන්නා ගල් අඟුරු පැටවුම් වරායේදී පරීක්ෂා කිරීමට ගිවිසුමෙන් දී තිබුණු අවස්ථා යොදා නොගැනීම බලවත් නොසැලකිල්ලකි. ලංකා ගල් අඟුරු සමාගම සිය කටයුතු නිසි සැලකිල්ලෙන් යුතුව ඉටුකරන බවට අධීක්ෂණය කිරීමේ වගකීම ඇත්තේ විදුලිබල අමාත්‍යවරයාට ය. මෙහිදී බලාගාරයේ පාලන ඒකකයේ වාර්තාවලින් මේ ගල් අඟුරු දහනයෙන් අපේක්ෂිත මට්ටමට විදුලිය ජනනය නොවන බව පැහැදිලි වෙද්දී, අමාත්‍යවරයා බලාගාරයේ වාර්තා පිළි නොගන්නා බව පැවසූ බව අපට මතක ය. එයින් පෙනෙන්නේ අමාත්‍යවරයා තම අමාත්‍යාංශය යටතේ ඇති විදුලි බලාගාරයට වඩා සැපයුම්කාර සමාගමේ වාර්තා විශ්වාස කළ බව නොවේද? එසේ කිරීමට තරම් ඇමතිවරයාට තිබුණු හේතු මොනවාද? විගණකාධිපති වාර්තාවෙන් තවදුරටත් නිරීක්ෂණය කර ඇත්තේ ‘Umpire Sample’ නම් වූ දෙවැනි සාම්පලය පරීක්ෂා කර තත්ත්වය නිවැරදි කර ගැනීමට ලංකා ගල් අඟුරු සමාගමට තිබුණු අවස්ථාව ද භාවිතා කර නැති බවයි. මෙහිදී අමාත්‍යවරයා දැරූ ස්ථාවරය වන බලාගාරයේ වාර්තා පිළි නොගැනීමේ ස්ථාවරයේ ලංකා ගල් අඟුරු සමාගමත් සිටි බව පැහැදිලි ය. එසේ සිටියේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ද යන්න විමර්ශනවල අවධානයට ලක් විය යුතු කරුණකි. එමෙන්ම පැටවුම් වරායේ සාම්පල් පරීක්ෂා කර වාර්තා කිරීමට පත්කළ ස්වාධීන සමාගම නොවන වෙනත් සමාගමකින් එම වාර්තා දිගටම ඉදිරිපත්ව තිබීමත්, ඒවා පිළිබඳව කිසිදු ප්‍රශ්න කිරීමක් සිදුව නොතිබීමත්, එම වාර්තා සැපයූ සමාගමට ඒ කාර්යය සඳහා බලයක් නොමැති වීමත් විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණය කර ඇත. මේවා බරපතළ නොසැලකිලි පමණක් නොව, වංචාවන්ට සහය දීම් ලෙස ද සිතිය හැකි බරපතළ වැරදි ය. මේ සමස්ත ක්‍රියාවලිය තුළ බලවත් මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවට ද විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණය කර ඇත. විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් නිරීක්ෂණ හා කරුණුවලට අනුව, මෙවර ගල් අඟුරු සැපයුම සඳහා සමාගම් ලියාපදිංචියේ සිට සැපයීම දක්වා රාජ්‍ය ආයතනයක් වන ලංකා ගල් අඟුරු සමාගම බලවත් නොසැලකිල්ලකින් මෙන්ම අනීතිකව ද කටයුතු කරමින් ශ්‍රී ලංකා ජනරජයට පාඩු සිදුකළ බවට සාධක බලවත් සේ හෙළිදරව් වී ඇත. මෙහිදී විෂය භාර අමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය එකී නොසැලකිල්ල නොදුටුවා සේ අන්ධයින් මෙන් ක්‍රියා කර ඇති බව ද මින් පෙනී යයි. මේ තුළ ලංකා ගල් අඟුරු සමාගම පමණක් නොව, එහි අධීක්ෂණය පැවරී තිබූ අමාත්‍යාංශය, ඇමතිවරයා, අමාත්‍ය මණ්ඩලය දක්වා මෙහි වගකීම පැතිර පවතී. මේ පිළිබඳ ඊළඟ පියවර කුමක් විය යුතු ද යන්න තීරණය කිරීම ආණ්ඩුවේ කාර්යභාරය බවට පත්කර ගෙන ඇති බවක් දැනට පෙනෙන්නට තිබේ.
දැනටමත් කඩිමුඩියේ ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. මාධ්‍යවලින් දැනගත් පරිදි ඔහුගේ පැමිණිල්ල අරුම පුදුම එකකි. විගණකාධිපති වාර්තාවකින් පැහැදිලි අපරාධමය වැරදි ස්වභාවයේ තොරතුරු හෙළිවී තිබියදී ඒ ගැන නොතකමින් මේ පැමිණිල්ල සිදු කර ඇත්තේ, ගල් අඟුරු ආශ්රිත විදුලිබලය නිපදවීම ඇරඹුණු දා සිට සිදුව ඇති අපරාධමය වැරදි සොයා ගැනීමට කරන ලද පැමිණිල්ලක් ලෙස ය. අප මෙතෙක් දැන සිටියේ පොලිසියට පැමිණිල්ලක් කිරීමේදී අපරාධමය වැරදි පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවකි. එහෙත් ජනාධිපති ලේකම්වරයාගේ මෙකී පැමිණිල්ලෙන් පසුව, යම්කිසි කාලෙක යම් ස්ථානයක අපරාධ සිදුවී ඇත්දැයි සොයා බලන ලෙසට ද පැමිණිලි කළ හැකි බව දැනගත්තෙමු. එම කරුණ යටතේම දැන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ද පත්කර ඇත. මේ සියල්ල සිදුවන්නේ කවර අරමුණකින් ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය.
රාජ්‍ය ආයතනයක යම් ගනුදෙනුවක් නීතිවිරෝධී අන්දමින් හෝ වංචනිකව, නොසැලකිලිමත් ලෙස සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතුකරගෙන සිදුව ඇති අවස්ථාවක කටයුතු කළ යුතු අන්දම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කර තිබේ. එසේ නියම කර ඇත්තේ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධානවලිනි. එම පනතේ 19(1) වගන්තිය මෙසේය:
“වෙනත් යම් ලිඛිත නීතියක අන්්යාකාරයෙන් විශේෂයෙන් දක්වා ඇත්නම් මිස, විගණනය කරනු ලබන ආස්ථිතියක යම් ගනුදෙනුවක් යම් ලිඛිත නීතියකට පටහැනිව සිදුකර ඇති බවටත්, එම ගනුදෙනුව මගින් ඊට සම්බන්ධ තැනැත්තන්ගේ යම් වංචාවක්, නොසැලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතු කරගෙන යම් ඌනතාවයක් හෝ පාඩුවක් සිදුවී ඇති බවට විශ්වාස කිරීමට විගණන සේවා කොමිෂන් සභාවට සාධාරණ හේතු පවතින අවස්ථාවකදී, එවැනි යම් ගනුදෙනුවක් හේතුකොටගෙන සිදුවූ ඌනතාව හෝ පාඩුවට අදාළ වටිනාකම විගණන සේවා කොමිෂන් සභාව විසින් අධිභාරයක් පැනවීම සඳහා, එම ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හෝ ඌනතාවය විගණනය කරනු ලබන ආස්ථිතියේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට වාර්තා කළ යුතුය.”
ඉහත පරිදි විගණන කොමිෂන් සභාවෙන් අධිභාර කිරීමේ පාඩුවකට අදාළ වටිනාකමක් පිළිබඳ දැන්වීම ලද වහාම, අධිකරණ හෝ විනය ක්‍රියාමාර්ගවලට පෙරාතුව එකී අධිභාරය ඊට වගකිව යුත්තන්ගෙන් අය කර ගැනීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් කළ යුතු බව එම වගන්තියේ දෙවන උප වගන්තියේ දැක්වේ.
මෙය හරියට “අශ්වයාට ලාඩම් ගහන්න හදන කොට අශ්වාරෝහකයා කකුල ඉස්සුවා” වැනි වැඩකි. 2026/27 කාලපරිච්ඡේදයට අදාළ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ වූ පාඩුව විගණකාධිපති විසින් හඳුනාගෙන ඇත. එය ප්‍රමාණවත් නොවේ නම් වෝහාරික විගණනයක් සිදු කර හරිහැටි පාඩුව හඳුනා ගැනීමත් විගණකාධිපති විසින් ස්වාධීනව කළ හැකි, කළ යුතු කාර්යයකි. අනතුරුව ඒ පාඩුව වගකිව යුත්තන්ගෙන් අය කර ගැනීමේ ක්‍රියාවලියත් ජාතික විගණන පනතේ සඳහන්ව ඇත. එය ආරම්භ කිරීම විගණකාධිපති වරයාගේ වගකීමයි. විගණකාධිපතිට නීතියෙන් නියම කර ඇති ක්‍රියාවලියට බාධාවන ලෙස පැමිණිලි කිරීම, විමර්ශන කරවීම ආදිය කරන අය දැන හෝ නොදැන එසේ කරන්නේ මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව අය කර ගැනීමට බාධා කිරීමකි.
මේ අධිභාර පිළිබඳ ජාතික විගණන පනතේ විධිවිධාන පසුගිය කාලයේ මේ ආණ්ඩුවෙන් තවත් ශක්තිමත් කරමින් පනත සංශෝධනය කිරීම ද කර ඇත. රාජ්‍ය ආයතනයක පාඩු හා ඌනතා පිළිබඳව වර්තමානයේ අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාමාර්ගය ජාතික විගණන පනතෙන් එසේ පැහැදිලිව නියම කර ඇති අතර, ඊට පිටස්තරව කටයුතු කිරීමට නම් වෙනත් නීතියකින් විශේෂිතව සඳහන් බලයක් අවශ්‍ය බව ද එහි සඳහන් කර තිබීම විශේෂය. දැන් ඉතින් ගල් අඟුරු ගනුදෙනුවේදී සිදුවූ පාඩුව පිළිබඳව විගණකාධිපති විශේෂ විගණන වාර්තාවේ ඇතුළත් බැවින්, විගණන කොමිසමට අධිභාරයක් පැනවීම මගින් එය පියවා ගැනීම පහසු ය. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට ද විගණන පනතේ 38 වගන්තියෙන් නියම කර ඇත්තේ, යම් සාපරාධී ක්‍රියාවක් හෝ වංචාවක් පිළිබඳව විගණකාධිපතිවරයාගේ දැන්වීමක් ලද විගස නීතිය බලාත්මක කිරීමේ ආයතනයකට පැමිණිලි කළ යුතු බවටය. ලංකා ගල් අඟුරු සමාගමට අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ය. 2026/27 කාලයට ගල් අඟුරු මිලදී ගැනීමේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කර රජයට පාඩු කළ බවට වූ විගණකාධිපති වාර්තාව ලද පසුව, මේ පිළිබඳව දූෂණ විරෝධී කොමිසමට හෝ පොලිසියට පැමිණිලි කිරීමේ නීතිමය වගකීම පැවරී තිබුණු විදුලිබල ලේකම්ට ඉඩ නොදී, කඩිමුඩියේම ජනාධිපති ලේකම්වරයා 2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම ගැන විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ මේ පාඩුවට වගකිව යුත්තන්ට එරෙහිව ජාතික විගණන පනත ප්‍රකාරව ක්‍රියා කිරීම වැළැක්වීමටදැයි අප දන්නේ නැත. එහෙත් එය බැලූ බැල්මට ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත්, ජනාධිපති ලේකම්වරයා විසින් මැදිහත් විය යුතු ක්‍රියාවක් නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. මෙය හරියට “අශ්වයාට ලාඩම් ගහන්න හදන කොට අශ්වාරෝහකයා කකුල ඉස්සුවා” වැනි වැඩකි.2026/27 කාලපරිච්ඡේදයට අදාළ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ වූ පාඩුව විගණකාධිපති විසින් හඳුනාගෙන ඇත. එය ප්‍රමාණවත් නොවේ නම් වෝහාරික විගණනයක් සිදු කර හරිහැටි පාඩුව හඳුනා ගැනීමත් විගණකාධිපති විසින් ස්වාධීනව කළ හැකි, කළ යුතු කාර්යයකි. අනතුරුව ඒ පාඩුව වගකිව යුත්තන්ගෙන් අය කර ගැනීමේ ක්‍රියාවලියත් ජාතික විගණන පනතේ සඳහන්ව ඇත. එය ආරම්භ කිරීම විගණකාධිපති වරයාගේ වගකීමයි. විගණකාධිපතිට නීතියෙන් නියම කර ඇති ක්‍රියාවලියට බාධාවන ලෙස පැමිණිලි කිරීම, විමර්ශන කරවීම ආදිය කරන අය දැන හෝ නොදැන එසේ කරන්නේ මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව අය කර ගැනීමට බාධා කිරීමකි. මීට පෙර ද ජනාධිපති කාර්යාලයෙන් රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීම් ගැන කෙළින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු අපට මතකය. එබඳු අවස්ථාවකදී විගණකාධිපතිවරයාට නීතියෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට ඉඩ නොදී නීතිය බලාත්මක කිරීමේ ආයතන මැදිහත් කරවීම අනුචිත බව තේරුම් ගැනීමට ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය අසමත්ය. මේ අසමත් බව ආණ්ඩුවේ ඉහළ සිට පහළටම එකසේ ව්‍යාප්ත වී ඇත. සියල්ල අනාගන්නේ ඔය අසමත්කම නිසාමය. ඒ නිසා පුරවැසියන්ගේ කාර්යය වන්නේ නීතියේ සීමාව තුළ ආණ්ඩුව රට කරවන බවට වගබලා ගැනීම ය.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති