2026 පළමු කාර්තුවේ සුරාබදු ඉලක්ක ඉක්මවා යයි: රුපියල් බිලියන 70.4ක ආදායමක්

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2026 වර්ෂයේ පළමු කාර්තුව සඳහා රජය ලබාදුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන තිබේ. රජය විසින් 2026 වසර සඳහා රුපියල් බිලියන 245 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් එම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර, ඉන් පළමු කාර්තුව සඳහා නියමිතව තිබූ රුපියල් බිලියන 61.95 ක ඉලක්කය ඉක්මවා යමින් මාර්තු 31 වන විට රුපියල් බිලියන 70.4 ක ආදායමක් උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

මෙය අපේක්ෂිත ඉලක්කගත ආදායමට සාපේක්ෂව සියයට 113.6 ක ඉහළ අගයක් වන අතර, 2025 වර්ෂයේ පළමු කාර්තුව සමඟ සැසඳීමේදී සියයට 114.8 ක කැපී පෙනෙන වර්ධනයකි. රාජ්‍ය ආදායම් උපයන ආයතන අතර තෙවන ස්ථානය හිමිකරගෙන සිටින සුරාබදු දෙපාර්තමේන්තුව, සිය දැක්ම හා මෙහෙවරට අනුකූලව රජයේ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සඳහා මෙලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටියි.

සුරාබදු ආදායමේ මෙම ශීඝ්‍ර වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා ප්‍රකාශ කළේ, නව රජයේ නිසි මගපෙන්වීම සහ සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පූර්ණ කැපවීම මෙම ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව වූ බවයි. විශේෂයෙන්ම මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරයෙන් දැඩි අධීක්ෂණයට ලක් කිරීමත්, මත්පැන් බෝතල් මත ආරක්ෂිත මුද්‍රා සලකුණු (ස්ටිකරය) යෙදීම විධිමත් කිරීමත් හරහා ආදායම් කාන්දුවීම් වළක්වා ගැනීමට හැකි වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් වැටලීම් තීව්‍ර කිරීම, බලපත්‍රලාභී ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම සහ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම වැනි උපායමාර්ගික පියවර රැසක් ක්‍රියාවට නැංවීම හේතුවෙන් මෙලෙස සුරාබදු ආදායම සුරක්ෂිත කර ගැනීමට හැකි වූ බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්