බේදිං බාර් වංචාව හමුවේ පාරිභෝගික අධිකාරිය මර නින්දක! – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත්, රට තුළ පාරිභෝගිකයන් වෙනුවෙන් සාධාරණ වෙළෙඳ පොළක් ඇති කිරීමටත් පිහිටුවා ඇති නිල රාජ්‍ය ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. එම අධිකාරිය 2003 අංක 9 දරන පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කර බලගන්වා ඇති රාජ්‍ය ආයතනයකි. මෙම අධිකාරිය ස්ථාපිත කිරීමට පෙර පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියා කළේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුවයි. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව යටතේ පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් බලතල පවරා තිබුණේ අභ්‍යන්තර වෙළෙඳ කොමසාරිස්වරයාට ය. හුදු දෙපාර්තමේන්තු ව්‍යුහයකට වඩා කාර්යක්ෂමවත්, පුළුල් ලෙසත් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට 2003 අංක 9 දරන පනත මඟින් පාරිභෝගික කටයුතු අධිකාරිය ස්ථාපිත කරන ලදී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ හත්වන වගන්තියෙන් එම අධිකාරිය පිහිටුවීමේ අරමුණු සඳහන් කර තිබේ. එහි ඇති අරමුණු හතරකි. ඒවා මෙසේ දැක්වේ.

  • පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපළවලට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට හා සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම.
  • අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම හා පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ල දැක්වීම සහතික වීම.
  • හැකි සෑම විටම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩවලට ප්‍රවේශයක් ලබාදීම සහතික වීම.
  • අසාධාරණ වෙළෙඳ පිළිවෙත්, සීමිත වෙළෙඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදු කරනු ලබන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම්වලට එරෙහිව සහන ලබාදීම.

ඉහත අරමුණු හතර කියවීමෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන් වන අපට කොතරම් වැදගත් මෙහෙයක් ඉටු කළ හැකි ආයතනයක්දැයි මැනවින් තේරුම් ගත හැකි වනු ඇත.

ඉහත පූර්විකාව සටහන් කළේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම ආයතනය සමඟ කටයුතු කිරීමේදී අපට ඇති අත්දැකීම් ගැන අපූරු කතාවක් පාඨක ඔබ හමුවේ තැබීමේ පෙරවදනක් ලෙසට ය. මීට මාස දහයකට පමණ පෙර අප පාඨකයන්ට ශ්‍රී ලංකාවේ සබන් හා බේදිං බාර් (Bathing Bar) කර්මාන්තය පිළිබඳවත්, එහිදී බේදිං බාර් නිෂ්පාදකයින් සිය නිෂ්පාදන වෙළෙඳපොළේ ප්‍රචාරය කිරීමේදී එකී නිෂ්පාදනවල ප්‍රමිතිගත නාමය වන “බේදිං බාර්” යන නාමය වෙනුවට වෙනත් නම් යොදා ගනිමින් පාරිභෝගිකයා රවටා ක්‍රියා කරන අන්දමත් විස්තර කළේ “බේදිං බාර් යොදා පාරිභෝගිකයින්ගේ මොළ සේදීම” ශීර්ෂයෙන් ලිපියක් ඉදිරිපත් කරමිනි. එම ලිපියේ සඳන් කරුණු කාරණා සියල්ල අප විසින් මෙරට සබන් කර්මාන්තය පිළිබඳව කරන ලද ගැඹුරු සොයා බැලීමක ප්‍රතිඵල ලෙස එක්රැස් කළ ඒවා මිස අතනින් මෙතනින් අවුලා ගත් ඕපාදූප නොවේ.

මෙරට වාසීන් ශාරීරික හා ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීමට සබන් භාවිතා කිරීම ඇරඹුණේ විසි වන සියවසේ ආරම්භක අවධියේය. එදා මුලින්ම සබන් මෙරට වාසීන් හඳුනා ගත්තේ යුරෝපා රටවලින් ආනයනය කළ දෙයක් ලෙස ය. එතෙක් ශරීරය හා රෙදිපිළි පිරිසිදු කිරීම සඳහා ශාකමය ද්‍රව්‍ය භාවිතා කළ මෙරට වාසීන් අතර සබන් භාවිතය ප්‍රචලිත වීමට වැඩි කලක් ගියේ නැත. 1940 දී පමණ එක් බහුජාතික සමාගමක් ප්‍රථම වරට මෙරට සබන් නිපදවීම ඇරඹීය. ඊළඟ වර්ෂයේදී දේශීය සමාගමක්ද සබන් නිපදවීම මෙරට ආරම්භ කළේය. ක්‍රමයෙන් සබන් නිපදවන ආයතන කීපයක්ම ඇති විය.

මෙරට වාසීන් ශාරීරික හා ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීමට සබන් භාවිතා කිරීම ඇරඹුණේ විසි වන සියවසේ ආරම්භක අවධියේය. එදා මුලින්ම සබන් මෙරට වාසීන් හඳුනා ගත්තේ යුරෝපා රටවලින් ආනයනය කළ දෙයක් ලෙස ය. එතෙක් ශරීරය හා රෙදිපිළි පිරිසිදු කිරීම සඳහා ශාකමය ද්‍රව්‍ය භාවිතා කළ මෙරට වාසීන් අතර සබන් භාවිතය ප්‍රචලිත වීමට වැඩි කලක් ගියේ නැත. 1940 දී පමණ එක් බහුජාතික සමාගමක් ප්‍රථම වරට මෙරට සබන් නිපදවීම ඇරඹීය. ඊළඟ වර්ෂයේදී දේශීය සමාගමක්ද සබන් නිපදවීම මෙරට ආරම්භ කළේය. ක්‍රමයෙන් සබන් නිපදවන ආයතන කීපයක්ම ඇති විය. මේ අතර ආනයනික සබන් වර්ග ද වෙළෙඳපොළේ බහුල විය. මේ අන්දමින් සබන් වෙළෙඳපොළ පුළුල් වෙද්දී 1968 දී මෙරට සබන් සඳහා ප්‍රථම වරට ප්‍රමිති නියම කිරීම සිදුවිය. මේ ප්‍රමිති නියම කිරීමේදී සබන් වර්ග දෙකක් සඳහා ප්‍රමිති නියම කර ප්‍රකාශයට පත් කිරීම සිදුවිය. ඒ අනුව ඇඟ ගල්වන සබන් (Toilet Soap) හා රෙදි සෝදන සබන් (Laundry Soap) යන සබන් වර්ග දෙකට ප්‍රමිති නියම කරන ලදී. මේ ප්‍රමිතිවලට අනුව මෙම සබන් වර්ග දෙකම සඳහා කෘත්‍රිම සේදුම් කාරක යොදා ගැනීමට අවසර දී නැත. සබන්වල අඩංගු විය යුතු ප්‍රධාන පිරිසිදු කාරකය වන සමස්ත මේද අම්ල ප්‍රමාණය හෙවත් TFM (Total Fatty Matter) අගය ඇඟ ගල්වන සබන් (Toilet Soap) වල 76.5% ලෙසත්, රෙදි සෝදන සබන්වල 59% ලෙසත් නියම කෙරිණි. සබන්වල අඩංගු විය යුතු TFM යනුවෙන් හඳුන්වන සමස්ත මේද අම්ල ශාකමය තෙල්වලින් ලබා ගනී. මෙරට සබන් නිපදවීමේදී මුල් අවදියේ පොල්තෙල්වල අඩංගු මේද අම්ල යොදාගත් අතර, දැන් යොදාගන්නේ පාම් තෙල්වල අඩංගු මේද අම්ලයයි. 1968 දී නියම කළ ප්‍රමිති බලාත්මක වීමෙන් පසුව රට තුළ සබන් වෙළෙඳපොළේ අලෙවි කරන සබන් වර්ග දෙකම ඉහත ප්‍රමිතිවලින් යුක්ත වූ අතර, සියලුම සබන් නිෂ්පාදකයෝ තම නිෂ්පාදන මේ ප්‍රමිති දෙක තුළ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට වගබලා ගත්හ. මේ අතර 1981 දී තවත් සබන් වර්ගයක් සඳහා ප්‍රමිතියක් නිකුත් කෙරිණි. ඒ ළදරු සබන් සඳහා වන ප්‍රමිතියයි. ළදරු සබන්වල අඩංගු විය යුතු සමස්ත මේද අම්ල ප්‍රමාණය (TFM අගය) 78%කට වඩා වැඩි විය යුතු බව ඒ ප්‍රමිතියෙන් නියම කෙරිණි. මේ අනුව 1981 න් පසු වෙළෙඳපොළේ තිබුණු ඕනෑම ළදරු සබන් (Baby Soap), ඇඟ ගල්වන සබන් (Toilet Soap) හා රෙදි සෝදන සබන් (Laundry Soap) කැට ඉහත ප්‍රමිති තුනට අයත් වූ අතර, ඒ කිසිදු සබන් වර්ගයක් සඳහා කෘත්‍රිම සේදුම් කාරක යොදා ගැනීමට ද අවසරයක් නොවීය. විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුතු සබන් වෙළෙඳපොළේ තිබුණත්, ඒ සියල්ල එකම ප්‍රමිතියකින් ආවරණය වූ, කෘත්‍රිම සේදුම් කාරක අඩංගු නොවූ ඒවා විය.

මේ තත්ත්වය මෙලෙස තිබියදී 2001 වර්ෂයේදී ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය හදිසියේම කෘත්‍රිම සේදුම් කාරක යොදාගෙන නිපදවිය හැකි “බේදිං බාර්” (Bathing Bar) නම් නිෂ්පාදනයකට අවසර දෙමින් ප්‍රමිතියක් නියම කරන ලදී. බේදිං බාර් නිෂ්පාදනයට කෘත්‍රිම සේදුම් කාරක යොදා ගැනීමට ඉඩ දුන්නා පමණක් නොව, එහි TFM අගය 40%ක අවම අගයකට නියම කිරීම ද සිදුවිය. ඒ සමඟම රෙදි සෝදන සබන් සඳහා ද කෘත්‍රිම සේදුම් කාරක භාවිතා කිරීමට අවසර දෙමින්, එහි TFM අගය අවම 45% දක්වා පහත හෙළමින් එකී ප්‍රමිතිය ද සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය කටයුතු කළේය. මෙහිදී TFM අගය දෙස බැලීමේදී රෙදි සෝදන සබන්වලටත් වඩා පහළ අගයක් නියම කිරීම විශේෂයකි. මෙයින් තේරුම් ගත යුත්තේ බේදිං බාර්වල පිරිසිදු කිරීමේ ශක්තිය වන්නේ කෘත්‍රිම සේදුම් කාරක බවයි. ඇඟ ගල්වන සබන්වලට ප්‍රමිතියෙන් නියම කර තිබුණු අවම TFM අගය වූ 76.5% සමඟ සසඳන කල, බේදිං බාර්වල බෙහෙවින් අඩු අවම TFM අගය නිසාත්, කෘත්‍රිම සේදුම් කාරක වැඩි ප්‍රතිශතයක් යොදා ගත හැකි වීම නිසාත් නිෂ්පාදන පිරිවැය අඩු විය. එම නිසාම ඒ වන තෙක් ඇඟ ගල්වන සබන් නිපදවීමේ යෙදී සිටි නිෂ්පාදකයින් සියල්ලෝම පාහේ තමන් විවිධ වෙළෙඳ නාමයන්ගෙන් නිපදවා අලෙවි කරමින් සිටි “ඇඟ ගල්වන සබන්” (Toilet Soap) ඒ නාමයන්ගෙන්ම “බේදිං බාර්” (Bathing Bar) බවට පත් කළෝය. මෙසේ තමන් මෙතෙක් විවිධ වෙළෙඳ නාමවලින් නිපදවා අලෙවි කළ ඇඟ ගල්වන සබන් වෙනුවට ඒ නාමයන්ගෙන්ම දැන් තමන් නිපදවන්නේ වෙනත් ප්‍රමිතියක බේදිං බාර් බවත්, ඒවායේ කෘත්‍රිම සේදුම් කාරක අඩංගු බවත් මේ නිෂ්පාදකයින් කිසිවෙක් වෙළෙඳ ප්‍රචාරණයේදී සඳහන් කරන්නේ නැත. අඩු තරමින් ‘බේදිං බාර්’ යන නම වෙළෙඳ ප්‍රචාරණයට කිසිසේත්ම යොදා නොගැනීමට ද ඔවුහු ප්‍රවේශම් වෙති. ඒ වෙනුවට තම නිෂ්පාදන ස්වාභාවික ද්‍රව්‍යවලින් නිපදවා ඇති බව ඇඟවීමටදෝ, එකී නිෂ්පාදනයේ ඇසුරුමේ ඉදිරිපස වෙළෙඳ නාමය අසලින් වෙනිවැල්, කෝමාරිකා, ඔලිව් ඔයිල්, ආමන්ඩ්, ජෙස්මින් ආදී ස්වාභාවික ද්‍රව්‍යවල නමක් හෝ නම් කීපයක් යොදමින් පාරිභෝගිකයින් බරපතළ ලෙස නොමඟ යවමින් සිටිති. මෙසේ නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන බේදිං බාර් නිෂ්පාදකයින් බවට පත් වූ නිෂ්පාදකයෝ සිය නිෂ්පාදනවල අලෙවි මිල ඇඟ ගල්වන සබන්වල (Toilet Soap) මට්ටමේම තබාගෙන වැඩි ලාභයක් උපයා ගැනීමට සමත් වූහ. බේදිං බාර්වල ප්‍රමිතිය අනුව ප්‍රමිතිගත නාමය හා එහි අඩංගු TFM අගය ඇසුරුමේ පාරිභෝගිකයින්ට පැහැදිලිව පෙනෙන ලෙසට හා කියවිය හැකි ලෙසට සඳහන් කිරීම අනිවාර්ය බවට ඇති කොන්දේසියෙන් බේරීමට, මේ බේදිං බාර් නිෂ්පාදකයින් සිය බේදිං බාර් කැටවල ඇසුරුමේ පටු දිග පැත්තේ ඉතා කුඩා අකුරෙන් එය මුද්‍රණය කරති. වෙළෙඳපොළේ රාක්කවල මේ බේදිං බාර් කැටවල වෙළෙඳ නාමය කියවිය හැකි ලෙස ප්‍රදර්ශනය කළ හැක්කේ ඒ ප්‍රමිති නාමය හා TFM අගය සටහන් කර ඇති පටු පැත්ත උඩ අතට හෝ යටි අතට සිටින ලෙසට පමණි. ඒ නිසා එය පාරිභෝගිකයාට බැලූ බැල්මට නොපෙනේ. කැටය අතට ගෙන ආයාසයෙන් පෙරළා බැලුවත් එම සටහන් ඇත්තේ ඉතා කුඩා අකුරින් බැවින් කියවීම බෙහෙවින් අපහසු ය. මේ අයුරින් 2001 වර්ෂය වන විට මෙරට ඇඟ ගල්වන සබන් ප්‍රමිතියට අනුව සබන් නිපදවමින් සිටි සමාගම් සියල්ලම බේදිං බාර් නිෂ්පාදකයින් වෙමින්, කෘත්‍රිම සේදුම් කාරක බහුලව යෙදූ, අඩු TFM අගයක් සහිත බේදිං බාර් නිපදවමින් පාරිභෝගිකයා නොමඟ යවා වැඩි ලාභයක් අත්කර ගැනීමට පටන් ගත්තෝය.

දැනට මෙරට ඇඟ ගල්වන සබන් (Toilet Soap) ප්‍රමිතියට සිය නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරන නිෂ්පාදකයින් ඇත්තේ දෙතුන් දෙනෙකි. එම දෙතුන් දෙනා සිය නිෂ්පාදනවල ඇසුරුමේ ඉදිරිපස අඩංගු TFM ප්‍රමාණයත්, ප්‍රමිතිගත නාමය වන “ඇඟ ගල්වන සබන්” (Toilet Soap) යන්නත් පැහැදිලිව සටහන් කරන බව වෙළෙඳපොළේ ඇති ඒ නිෂ්පාදන දෙස බැලීමේදී පැහැදිලි ය. මෙම නිෂ්පාදකයින් දෙතුන් දෙනාම, මට පැහැදිලි වූ අන්දමට 2015 න් පසුව සබන් නිෂ්පාදනයට පිවිසුණු අය වන අතර, ඔවුහු ලාභය වෙනුවෙන් බේදිං බාර් නිෂ්පාදනය කිසිසේත්ම නොකරන අය බවත් පෙනී යයි. ඒ අනුව මෙරට පාරිභෝගිකයින්ට ඉහළ ප්‍රමිතියක, කෘත්‍රිම සේදුම් කාරක අඩංගු නොවන “ඇඟ ගල්වන සබන්” භාවිතා කළ හැකිව ඇත්තේ එම නිෂ්පාදකයින් කීපදෙනාට පิน සිදුවන්නටය. එම නිෂ්පාදකයින් දෙතුන් දෙනාට වෙළෙඳපොළේදී ප්‍රචාරක තරගය දෙන්නේ සිය නිෂ්පාදනවල ප්‍රමිතිගත නාමය පාරිභෝගිකයින්ට පැහැදිලිව පෙන්වීමට ක්‍රියා නොකර, සත්‍ය තත්ත්වය සඟවා පාරිභෝගිකයින් නොමඟ යවමින් විශාල ලෙස ලාභ උපයන බේදිං බාර් සමාගම්ය.

මේ තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කළ මා, පාරිභෝගිකයින්ට වෙළෙඳපොළේදී තමන් මිලදී ගන්නා භාණ්ඩය පිළිබඳව පහසුවෙන් දැනගැනීමට හැකිවීම සඳහාත්, කූට නිෂ්පාදකයින් විසින් පාරිභෝගිකයා රැවටීමට භාජනය කිරීමේ උත්සාහයන් වැළැක්වීමටත්, මෙරට වෙළෙඳපොළේ අලෙවි කරන සියලුම සබන් හා බේදිං බාර්වල ඇසුරුමේ ඉදිරිපස ප්‍රමිතිගත නාමයත්, අඩංගු TFM අගයත් පැහැදිලිව කියවාගත හැකි ලෙස සටහන් කරවන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 12 වගන්තිය ප්‍රකාරව රෙගුලාසියක් පනවන ලෙස 2025 ජුනි මාසයේදී පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක් කළෙමි. එම ඉල්ලීම මා විසින් කරන ලද්දේ පාරිභෝගික සංවිධානයක කැඳවුම්කරු ලෙසිනි. මගේ ඉල්ලීමත් සමඟ මේ විෂය පිළිබඳ රාජ්‍ය විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු පුවත්පතකට ලියූ ලිපියක්ද ඉදිරිපත් කර, මේ සම්බන්ධයෙන් එකී මහාචාර්යතුමාගෙන්ද විමසන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ අනුව මා සහ එම මහාචාර්යවරයාද කැඳවා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේදී එම මහාචාර්යවරයා සබන් හා බේදිං බාර් පිළිබඳ වෙනස ඉතා පැහැදිලි ලෙස විද්‍යාත්මක පැහැදිලි කිරීමකින් ඉදිරිපත් කළ අතර, වෙළෙඳපොළේ ඇති බේදිං බාර් වර්ග ගණනාවක් ඉදිරිපත් කරමින් පාරිභෝගිකයා රැවටීමට එම නිෂ්පාදකයින් ක්‍රියා කර ඇති අන්දම මා විසින් ද පැහැදිලි කරන ලදී. මෙහිදී තීරණය වූයේ මා විසින් ඉල්ලා ඇති රෙගුලාසි පැනවීමට ඇති හැකියාව සොයා බලන බවය. මීට පෙර 2019 වර්ෂයේදීත් මේ රෙගුලාසිය පැනවීමට පාරිභෝගික අධිකාරිය විසින් තීරණය කර තිබුණත් එය ක්‍රියාත්මක වී නැති බව මා විසින් පෙන්වා දුන් අතර, එහිදී දැනගන්නට ලැබුණේ රෙගුලාසිය පැනවීමේ ගැසට් නිවේදනය සකසා තිබියදී එවකට සිටි රාජ්‍ය අමාත්‍යවරයා එම ගැසට් පත්‍රය නිකුත් නොකරන ලෙස කළ නියෝගයකින් එය නතර වූ බවය. රාජ්‍ය අමාත්‍යවරයාට ඒ වෙනුවෙන් බේදිං බාර් සමාගම්වලින් සැලකූ අන්දම කිසිවෙක් නොදනිති.

අනතුරුව පාරිභෝගික අධිකාරියේ සභාපති, විධායක අධ්‍යක්ෂවරු, අංශ භාර නිලධාරීන් හා සියලුම සබන් හා බේදිං බාර් නිෂ්පාදකවරුන් හා මාද සම්බන්ධ වූ රැස්වීමක් පවත්වා මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කළ අතර, මේ රෙගුලාසි පැනවීමට ඉල්ලීම කළ පාරිභෝගිකයින් නියෝජනය කරමින් මා අදහස් දක්වමින් පවසා සිටියේ වෙළෙඳපොළේ තමන් මිලදී ගන්නා භාණ්ඩයේ නිවැරදි ප්‍රමිතිගත නාමය දැන ගැනීමට පාරිභෝගිකයින්ට සාධාරණ අයිතියක් ඇති බවය. එම නිසා පාරිභෝගික අධිකාරී පනත අනුව ඇසුරුමේ ඉදිරිපස ‘බේදිං බාර්’ යන්න පැහැදිලිව සටහන් කිරීමේ රෙගුලාසි පනවන ලෙස ඉල්ලා සිටීම පාරිභෝගිකයින් ලෙස අපට ඇති අයිතියක් බව මම පෙන්වා දුන්නෙමි. මේ ඉල්ලීමට විරුද්ධව කතා කළේ එක් ප්‍රධානතම බේදිං බාර් නිෂ්පාදකයෙකු හා තවත් එක් සමාගමක් පමණි. ඔවුන්ටත් සිය විරුද්ධත්වය සඳහා සාධාරණ හේතුවක් පෙන්විය නොහැකි විය. දැනටමත් ඇඟ ගල්වන සබන් නිපදවන සමාගම් දෙකක් දන්වා සිටියේ, තම නිෂ්පාදනවල ඇසුරුමේ ඉදිරිපස ප්‍රමිතිගත නිෂ්පාදන නාමය හා TFM අගය පැහැදිලිව සටහන් කරන නිසා මේ රෙගුලාසි පැනවීමට තමන් ඉමහත් කැමැත්තෙන් එකඟ වන බවය. සෙසු සමාගම් මේ පිළිබඳව විරුද්ධ වූයේ නැත. දිගින් දිගටම විරුද්ධ වූයේ ප්‍රධානතම බේදිං බාර් නිෂ්පාදකයාගේ නියෝජිතයින් පමණි. රැස්වීම අවසානයේ පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ මේ රෙගුලාසි පැනවීම සිදු කරන බවත්, මෙම රෙගුලාසිවලට අන්තර්ගත වීමට නිෂ්පාදකයින්ට අවශ්‍ය කාලය පාරිභෝගික අධිකාරියට දැනුම් දීමට කටයුතු කරන ලෙසත්ය.

මීට පසුව හිටිහැටියේ කර්මාන්ත අමාත්‍යාංශය මේ පිළිබඳව රැස්වීමක් පැවැත්වීමට ක්‍රියා කළ බව මට දැනගන්නට ලැබුණි. මේ කරුණට කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් කර ගැනීමට ඉල්ලීම කළේ මේ රෙගුලාසි නිකුත් කිරීමට විරුද්ධව සිටි බේදිං බාර් නිෂ්පාදකයා බවද දැනගන්නට ලැබුණි. මේ කරුණ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ කරුණක් බවත්, කර්මාන්ත അමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන්නක් නොවන බවටත් මම එම අමාත්‍යාංශ ලේකම්වරයාට දැන්වීමි. ඉන් පසුව මේ කරුණ පිළිබඳව සබන් හා බේදිං බාර් නිෂ්පාදකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ක්‍රියා කළ අතර, මේ සඳහා මා වෙත දැන්වීමක් නොලැබුණි. මෙම අමාත්‍යවරයාගේ රැස්වීමේදී සිදුවූ දෙය දැනගන්නට නැත. දැන් මාස හය හතක් තිස්සේ පාරිභෝගික කටයුතු අධිකාරිය නිහඬය. මේ අතර සිරිතක් ලෙස වෙළෙඳපොළේ ඇති සබන් හා බේදිං බාර් වර්ග පරීක්ෂා කර බලන මට පසුගිය දිනක නිරීක්ෂණය වූයේ, ඉහත රෙගුලාසිය පැනවීමට බලවත් විරෝධය පළ කළ බේදිං බාර් සමාගමේ ප්‍රසිද්ධ නිෂ්පාදනයක කලින් පවත්වාගෙන ගිය TFM අගය ඔවුන්ගේම රෙදි සෝදන සබන් කැටයේ TFM අගයටත් වඩා පහළට දමා, බරත් අඩු කර නිපදවා වෙළෙඳපොළට එවා ඇති බවයි. TFM අගය හා බර අඩු කළ ද මිල රුපියල් දහයකින් වැඩි කර ඇති බවද නිරීක්ෂණය විය. ඒ නිසා මට සිතෙන්නේ අප විසින් පාරිභෝගිකයින්ගේ අයිතිය වෙනුවෙන් ඉල්ලා සිටි රෙගුලාසිය සහිත ගැසට් පත්‍රය නිකුත් නොවන බවට වන සහතිකයක් ඔවුන් වෙත ලැබී ඇති බවය.

අවසාන වශයෙන් කිව යුත්තේ පාරිභෝගික අධිකාරියට පාර්ලිමේන්තුව විසින් පවරා ඇති බලතල, පනතේ දැක්වෙන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට අධිකාරිය බැඳී සිටින බවය. පාරිභෝගිකයින් සතු අයිතිය උල්ලංඡනය වන සේ ඔවුන්ව නොමඟ යවමින් අයුතු ලාභ ලැබීමට කූට ව්‍යාපාරිකයින් ක්‍රියා කිරීම වැළැක්වීමට පාරිභෝගික අධිකාරියට ලබා දී ඇති බලය ක්‍රියාත්මක නොකර, අයුතු වාසි ලබාගැනීමට චේතනාන්විතව ඉඩ දීම දූෂණ විරෝධී පනතේ 111 වගන්තිය ප්‍රකාරව වරදක් බැවින්, ඒ වගකීම පාරිභෝගික අධිකාරියේ සාමාජිකයින් විසින් තනි තනිව හා සාමූහිකව ගත යුතු බවද සිහිපත් කිරීම සුදුසුය.

අවසාන වශයෙන් කිව යුත්තේ පාරිභෝගික අධිකාරියට පාර්ලිමේන්තුව විසින් පවරා ඇති බලතල, පනතේ දැක්වෙන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට අධිකාරිය බැඳී සිටින බවය. පාරිභෝගිකයින් සතු අයිතිය උල්ලංඡනය වන සේ ඔවුන්ව නොමඟ යවමින් අයුතු ලාභ ලැබීමට කූට ව්‍යාපාරිකයින් ක්‍රියා කිරීම වැළැක්වීමට පාරිභෝගික අධිකාරියට ලබා දී ඇති බලය ක්‍රියාත්මක නොකර, අයුතු වාසි ලබාගැනීමට චේතනාන්විතව ඉඩ දීම දූෂණ විරෝධී පනතේ 111 වගන්තිය ප්‍රකාරව වරදක් බැවින්, ඒ වගකීම පාරිභෝගික අධිකාරියේ සාමාජිකයින් විසින් තනි තනිව හා සාමූහිකව ගත යුතු බවද සිහිපත් කිරීම සුදුසුය.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

skannangara1959@gmail.com

එතෙර - මෙතෙර