අනෝජන්ගේ ජීවිතය රැක ගැනීමට මැදිහත් වන්නැයි දෙමාපියෝ ඉල්ලති

සෞදි අරාබියේදී මරණ දඬුවමකට ලක්ව සිටින බවට වාර්තා වන ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) වෙන වෙනම හමුවී තම පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා සිටියහ.
අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා සහ මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි ඇතුළු පවුලේ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය. එහිදී අනෝජන් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ දෙමාපියෝ, තම පුත්‍රයාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටියහ.ජනාධිපතිවරයා එහිදී අනෝජන් වෙනුවෙන් නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ කළ හැකි සියලු පියවර ගන්නා බවට දෙමාපියන්ට සහතික වී තිබේ. සෞදි රජු වෙත අනෝජන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජය විසින් නිල රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව වාර්තා වේ.මේ අතර අනෝජන්ගේ දෙමාපියන්, සහෝදරයා ඇතුළු පවුලේ ඥාතීහු ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවූහ.එහිදී විපක්ෂ නායකවරයා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් අනෝජන්ගේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගත හැකි ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කර තිබේ. අනතුරුව සෞදි බන්ධනාගාරයේ සිටින අනෝජන් සමඟ දුරකතනයෙන් කතා කර ඔහුගේ තත්ත්වය විමසා බැලූ බව වාර්තා වේ.එමෙන්ම විපක්ෂ නායකවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය සමඟ ද සාකච්ඡා කර අනෝජන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය සහ රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු ලබාගෙන තිබේ. අනෝජන් නිදහස් කර ගැනීම සඳහා කළ හැකි උපරිම මැදිහත්වීම සිදු කරන බවට ඔහු පවුලේ සාමාජිකයන්ට සහතික වී ඇත.ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 18 වැනිදා සඳහන් කර තිබුණේ අනෝජන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවෙමින් පවතින බවත්, රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එහි වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බවත්ය. සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අඛණ්ඩව සම්බන්ධ වී අනෝජන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් ඔහුට හැකි සෑම සහායක්ම ලබාදීමටත් පියවර ගනිමින් සිටින බව අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, අනෝජන්ට මරණ දඬුවම නියම වී ඇති බවට පළවන වාර්තාව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. ඔහුගේ නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බව කියන තොරතුරු මත මෙම මරණ දඬුවම පිළිබඳ වාර්තා පළ වී ඇති අතර, නිල ලිඛිත තීන්දුව ලැබෙන තෙක් එම තත්ත්වය තහවුරු කර නොමැති බව වාර්තා වේ.

අනෝජන් සම්බන්ධයෙන් රජය ගෙන යන රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද වාර්තා වී තිබේ.

කාලීන පුවත්