ඊයේ (06) සවස සහ රාත්‍රියේ කොළඹ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමත් සමඟ දැඩි රථවාහන තදබදයක් සහ ප්‍රවාහන ගැටලු රැසක් මතු විය.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැය කිහිපයක් ඇතුළත කොළඹ ප්‍රදේශයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබී තිබේ. කෙටි කාලයක් තුළ මෙතරම් විශාල වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් නගරයේ ජලය බැස යාමේ පද්ධතියට එම ජල ප්‍රමාණය දරාගත නොහැකි වීමෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.පොලිස් වාර්තාවලට අනුව කොල්ලුපිටිය, ගාලු පාර ආශ්රිත ප්‍රදේශ, බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී තිබිණි. මේ හේතුවෙන් වාහන ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර, සවස් කාලයේ සේවා අවසන් කර නිවෙස් බලා යමින් සිටි ජනතාවට පැය ගණනාවක් මාර්ගවල රැඳී සිටීමට සිදුවිය.අධික වර්ෂාවෙන් ඇති වූ බලපෑම මාර්ග ප්‍රවාහනයට පමණක් සීමා නොවීය. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ හදිසි දෝෂයක් ඇතිවීමත් සමඟ දුම්රිය ධාවනයට ද බාධා එල්ල විය.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව, මරදාන, වැල්ලවත්ත සහ අලව්ව දුම්රිය ස්ථාන ආශ්‍රිතව සංඥා පද්ධතියේ දෝෂ වාර්තා වී ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක දුම්රිය ධාවනය ප්‍රමාද වූ අතර, දුම්රිය මගීහු ද දැඩි අපහසුතාවට පත්වූහ.මේ අතර, කොළඹ නගරයේ රැකියාවල නිරතව සිටින විශාල පිරිසකට සිය නිවෙස් බලා යාමට මෙන්ම සති අන්තය ගත කිරීම සඳහා ගම්බිම් බලා පිටත්ව යාමට ද නොහැකි වී තිබිණි. ප්‍රවාහන සේවා අඩාල වීම සහ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් බොහෝ දෙනකුට නගරයේ විවිධ ස්ථානවල රැඳී සිටීමට සිදුවූ බව ද වාර්තා වේ.කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීමේදී කොළඹ නගරයේ පහත්බිම් සහ ජලය බැස යාමට අපහසු ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවීම අලුත් තත්ත්වයක් නොවේ. එහෙත් මෙවැනි සිදුවීම් නැවත නැවතත් වාර්තා වීමෙන් නගරයේ ජලාපවහන පද්ධතියේ ධාරිතාව, නඩත්තු කටයුතු සහ වැසි ජලය බැහැර කිරීමේ සැලසුම්වල ප්‍රමාණවත්භාවය පිළිබඳව බරපතළ අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දෙයි.විශේෂයෙන්ම කාලගුණික විපර්යාස හේතුවෙන් කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීමේ අවදානම ඉහළ යමින් පවතින පසුබිමක, කොළඹ නගරයේ ජල ගැලීම් පාලනය සඳහා දිගුකාලීන හා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙම සිදුවීම යළිත් අවධාරණය කර තිබේ.