අන් මත නොතකා සමහරුන් තමන්ගේ මතයේම එල්ලී හිඳින්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මේ දිනවල සමාජ ජාල භාවිත කරන්නන් අතර බරපතළ මත ගැටුම් ඇති වන අයුරු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. ඇතැම් අවස්ථාවලදී මෙම මත ගැටුම් ශිෂ්ටත්වයේ හා සදාචාරයේ සීමාවන් පවා ඉක්මවා යනු පෙනේ. එවැනි ගැටුම්වලට එක් හේතුවක් වන්නේ පුද්ගලයන් අතර පවතින මතවාදී විෂමතා ය. තමන් දරන මතය නිවැරදි බව තහවුරු කිරීමට ඇති දැඩි වුවමනාව ද ඇතැම් විට මෙම ගැටුම් තවදුරටත් උග්‍ර කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැමුන්, මෙය මානසික රෝගයක් හෝ එහි රෝග ලක්ෂණයක් දැයි අපගෙන් විමසන අවස්ථා ද කොතෙකුත් තිබේ.

අප බොහෝ දෙනකුට තමන් විශ්වාස කරන දෙයක් නිවැරදි බව තහවුරු කරන තොරතුරක් හමු වූ විට සතුටක් හෝ මානසික සහනයක් දැනේ. එය සාමාන්‍ය මානසික ප්‍රතිචාරයකි. එහෙත් අපේ විශ්වාසයට පටහැනි තොරතුරක් හමු වූ විට අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඇතැම් විට එම තොරතුර නොසලකා හරිමු. තවත් විටෙක එහි අඩුපාඩු සොයමු. එසේත් නැතිනම් එම තොරතුර ඉදිරිපත් කරන පුද්ගලයාගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් ඔහුගේ අදහස ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරමු. මෙවැනි අවස්ථාවක අප මුහුණ දෙන්නේ හුදෙක් මතභේදයකට පමණක් නොව, මිනිස් චින්තනය තුළ ක්‍රියාත්මක වන වැදගත් මානසික නැඹුරුවකට ද විය හැකිය.

මනෝ විද්‍යාවේදී මෙය තහවුරු කිරීමේ නැඹුරුව (Confirmation bias) ලෙස හැඳින්වේ. එනම් පුද්ගලයකු දැනටමත් පිළිගෙන ඇති විශ්වාසයක්, අදහසක් හෝ උපකල්පනයක් තහවුරු කරන තොරතුරු වැඩි වශයෙන් සෙවීමටත්, ඒවාට වැඩි වැදගත්කමක් දීමටත්, ඊට පටහැනි සාක්ෂි නොසලකා හැරීමට හෝ ඒවාට ප්‍රතිරෝධය දැක්වීමටත් ඇති චින්තනමය නැඹුරුවයි.

මෙහිදී වැදගත් වන්නේ තොරතුරු අප වෙත පැමිණෙන ආකාරය පමණක් නොවේ. අප ඒවා තෝරාගන්නා, තේරුම්ගන්නා සහ ඇගයීමට ලක් කරන ආකාරය ද අපේ පූර්ව විශ්වාසවලින් බලපෑමට ලක් විය හැකි බව වටහා ගැනීමයි.

මෙම තහවුරු කිරීමේ නැඹුරුව බොහෝ දෙනකු තුළ විවිධ මට්ටම්වලින් දක්නට ලැබිය හැකිය. එහෙත් එය මානසික රෝගයක් ලෙස සැලකිය යුතු තත්ත්වයක් නොවේ. එය මිනිස් චින්තනය, තොරතුරු සැකසීම සහ තීරණ ගැනීම සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙන සංජානනමය නැඹුරුවකි.

ඇමරිකානු මනෝචිකිත්සක සංගමයේ මානසික ආබාධ හඳුනාගැනීමේ අත්පොත වන DSM-5-TR සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග වර්ගීකරණ පද්ධතිය වන ICD-10 තුළ තහවුරු කිරීමේ නැඹුරුව වෙනම මානසික රෝග නිර්ණයක් ලෙස නම් කර ඇති බවට සාක්ෂි නොමැත. එබැවින් යම් පුද්ගලයකු තම මතයට තදින් ඇලී සිටින බව පමණක් පදනම් කරගෙන ඔහුට මානසික රෝගයක් ඇතැයි නිගමනය කිරීම ද වැරදි ය.

එහෙත් මෙම නැඹුරුව සාමාන්‍ය ජීවිතයේදී ගන්නා තීරණවලට පමණක් සීමා නොවේ. විද්‍යාඥයන්ගේ පර්යේෂණ, දේශපාලන අදහස් ගොඩනැඟීම සහ වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චය වැනි වැදගත් ක්ෂේත්‍රවලට ද එය බලපෑ හැකිය. එසේ නම්, මෙම නැඹුරුව අපේ සිතීම තුළ ක්‍රියාත්මක වන්නේ කෙසේද?

අප දකින හා අසන සියලු දේ එකම ආකාරයෙන් තේරුම් ගන්නේ නැත. සැබැවින්ම මිනිස් මනස සෑම තොරතුරක්ම සමාන අවධානයකින් විශ්ලේෂණය නොකරයි. අපට හුරුපුරුදු අදහස් සමඟ ගැළපෙන තොරතුරු පහසුවෙන් පිළිගැනීමට අප පෙළඹිය හැකි අතර, ඒවාට පටහැනි තොරතුරු පිළිගැනීම සඳහා වැඩි මානසික උත්සාහයක් දැරීමට සිදු විය හැකිය. පුද්ගලයකුගේ පෙර අත්දැකීම්, සමාජ පසුබිම, අධ්‍යාපනය, හැඟීම් සහ තම අනන්‍යතාව පිළිබඳ අවබෝධය ද මෙම ක්‍රියාවලියට බලපෑ හැකිය.

ඒ අනුව තහවුරු කිරීමේ නැඹුරුව ප්‍රධාන ආකාර කිහිපයකින් හඳුනාගත හැකිය.

  1. තම මතයට ගැළපෙන තොරතුරු පමණක් සෙවීමතමන් දරන අදහස නිවැරදි බව තහවුරු කරන තොරතුරු සොයා බැලීමට පුද්ගලයකු පෙළඹිය හැකිය. එහෙත් එම අදහසට පටහැනි පර්යේෂණ, විවේචන හෝ විකල්ප පැහැදිලි කිරීම් නොසලකා හැරීමට ද ඔහු පෙළඹිය හැකිය.උදාහරණයක් ලෙස, යම් ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක යැයි විශ්වාස කරන පුද්ගලයකු එයට සහාය දක්වන අත්දැකීම් සහ ප්‍රකාශන පමණක් සොයමින්, එහි සීමාවන් හෝ අසාර්ථක ප්‍රතිඵල පිළිබඳ තොරතුරු මඟහැරිය හැකිය.
  2. සාක්ෂි පක්ෂග්‍රාහීව අර්ථකථනය කිරීමඑකම තොරතුර පුද්ගලයන් දෙදෙනකුට වෙනස් ආකාරයෙන් පෙනිය හැකිය. තම මතයට පක්ෂ පුද්ගලයා යම් සිදුවීමක් තම අදහසට සහාය දෙන සාක්ෂියක් ලෙස දකින අතර, විරුද්ධ මතයක් දරන්නා එම සිදුවීමම වෙනත් ආකාරයකින් අර්ථකථනය කළ හැකිය.මෙහිදී වෙනස් වන්නේ තොරතුර පමණක් නොවේ. එය වටහාගන්නා පුද්ගලයාගේ පූර්ව විශ්වාස ද එම අර්ථකථනයට දායක වේ.
  3. විරුද්ධ සාක්ෂි නොසලකා හැරීමතමන් විශ්වාස කරන අදහසට පටහැනි සාක්ෂියක් හමු වූ විට එහි අඩුපාඩු පමණක් සෙවීම, එය ඉදිරිපත් කරන පුද්ගලයාට දොස් පැවරීම හෝ එම සාක්ෂිය නොවැදගත් බව ප්‍රකාශ කිරීම තහවුරු කිරීමේ නැඹුරුවේ තවත් ලක්ෂණයකි.එවැනි ප්‍රතිචාරයක් දක්වන පුද්ගලයා තම මතය පිළිබඳ සාධාරණ විවේචනයක් සිදු කරනවා විය හැකිය. එහෙත් විරුද්ධ සාක්ෂි පමණක් දැඩි ලෙස පරීක්ෂා කරමින්, තම මතයට පක්ෂ සාක්ෂි එවැනිම විවේචනාත්මක පරීක්ෂාවකට ලක් නොකරන්නේ නම් පක්ෂග්‍රාහී තක්සේරුවක් සිදු විය හැකිය.
  4. එකම අදහස නැවත නැවත තහවුරු කරගැනීමඑකම විශ්වාසයට සහාය දෙන තොරතුරු නැවත නැවත කියවීමෙන් හෝ ඇසීමෙන් එම අදහස වඩාත් නිවැරදි බවට හැඟීමක් ඇති විය හැකිය.එහෙත් තොරතුරක් නිතර ඇසීම සහ එය සත්‍ය බවට ස්වාධීන සාක්ෂි තිබීම යනු එකිනෙකට වෙනස් කරුණු දෙකකි. යම් ප්‍රකාශයක් නැවත නැවත දක්නට ලැබීම නිසා එය හුරුපුරුදු විය හැකි නමුත්, හුරුපුරුදු බව සත්‍යතාවට සමාන නොවේ.

ලොව ප්‍රකට මනෝවිද්‍යාත්මක සඟරාවක් වන Cognition හි 2024 වසරේ පළ වූ පර්යේෂණයක් ද පවතින විශ්වාස, තොරතුරු මූලාශ්‍ර පිළිබඳ තක්සේරු සහ නව සාක්ෂි අතර ඇති සම්බන්ධතාව අධ්‍යයනය කොට ඇත. පවතින විශ්වාසයකට පක්ෂව තොරතුරු තෝරාගැනීම හා ඊට පටහැනි සාක්ෂි අඩු අගයකින් සැලකීම මඟින් විරුද්ධ මත අතර පරතරය තවදුරටත් වැඩි විය හැකි ආකාරය මෙවැනි පර්යේෂණ මඟින් පැහැදිලි කෙරේ.

වෛද්‍යවරයකුටත් මෙලෙස වැරදිය හැකිද?

සැබැවින්ම තහවුරු කිරීමේ නැඹුරුවේ බරපතළකම වඩාත් පැහැදිලි වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රය දෙස බැලීමේදීය. වෛද්‍යවරයකු රෝගියකු පරීක්ෂා කිරීමෙන් පසු මුලින්ම යම් රෝගයක් ඇතැයි සැක කළ හැකිය. එය සාධාරණ ආරම්භක උපකල්පනයක් වුවත්, ඉන් පසුව ලැබෙන සියලු තොරතුරු එම උපකල්පනයට ගැළපෙන ලෙස පමණක් අර්ථකථනය කළහොත් වැරදි රෝග විනිශ්චයකට එළඹීමේ අවදානමක් තිබේ.

උදාහරණයක් ලෙස, රෝගියකුගේ මුල් රෝග ලක්ෂණ එක් රෝගයකට ගැළපුණ ද පසුව ලැබෙන පරීක්ෂණ ප්‍රතිඵල වෙනත් රෝගයක් පිළිබඳ සැකයක් මතු කළ හැකිය. එවැනි අවස්ථාවක වෛද්‍යවරයා මුල් අදහසට තදින් ඇලී සිටීම වෙනුවට විකල්ප රෝග විනිශ්චයන් ද සලකා බැලීම අවශ්‍ය වේ.

මෙම අවදානම අවම කරගැනීම සඳහා වෛද්‍යවරුන්ට උපකල්පන පරීක්ෂා කිරීමේ හා ඒවා මත පදනම්ව නිගමනවලට එළඹීමේ ක්‍රමානුකූල ක්‍රමවේද (Hypothetico-deductive method) භාවිත කළ හැකි ය. එහිදී මුලින් ඇති කරගන්නා උපකල්පනයක් මත පමණක් රැඳී නොසිට, එයින් අපේක්ෂා කළ හැකි ප්‍රතිඵල හඳුනාගෙන ඒවා පරීක්ෂණ හා නිරීක්ෂණ මඟින් පරීක්ෂා කරනු ලැබේ. ලැබෙන සාක්ෂි මුල් උපකල්පනයට නොගැළපේ නම් එය සංශෝධනය කිරීමට හෝ වෙනත් උපකල්පනයක් සලකා බැලීමට සිදු වේ.

මෙයින් පෙනෙන්නේ වෛද්‍ය දැනුම හා වෘත්තීය පළපුරුද්ද තිබීම පමණක් මානසික නැඹුරුවලින් සම්පූර්ණයෙන් මිදීමට ප්‍රමාණවත් නොවන බවයි. විකල්ප පැහැදිලි කිරීම් සලකා බැලීම, අවශ්‍ය විට දෙවන වෛද්‍ය මතයක් ලබාගැනීම සහ නව සාක්ෂි අනුව මුල් තීරණය වෙනස් කිරීමට සූදානම් වීම ඒ නිසාම වැදගත් වේ.

සමාජ මාධ්‍ය යනු අපේම මතය දෝංකාර දෙන අවකාශයක්ද?

වර්තමානයේ තහවුරු කිරීමේ නැඹුරුව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ක්ෂේත්‍රයක් වන්නේ සමාජ මාධ්‍යයයි. පුද්ගලයකු යම් දේශපාලන පක්ෂයක්, ආගමික මතයක් හෝ සෞඛ්‍යය පිළිබඳ අදහසක් පිළිගෙන සිටින විට එයට ගැළපෙන වීඩියෝ, ලිපි සහ ප්‍රකාශන පමණක් අනුගමනය කිරීමට පෙළඹිය හැකිය. එමඟින් තම මතයට සහාය දෙන තොරතුරු වැඩි වශයෙන් හමුවන අතර, වෙනත් මතයක් නියෝජනය කරන තොරතුරු දැකීමට ඇති අවස්ථාව අඩු විය හැකිය. එහෙත් එවැනි තොරතුරු පරාසයක් තුළ පමණක් රැඳී සිටීම යථාර්ථයේ සමස්ත චිත්‍රය අවබෝධ කරගැනීමට බාධාවක් විය හැකිය.

මෙයට සමාජ මාධ්‍ය වේදිකාවල නිර්දේශක පද්ධති ද සම්බන්ධ විය හැකි ය. පරිශීලකයාගේ පෙර හැසිරීම් අනුව ඔහුට පෙන්වන අන්තර්ගතය තෝරාගැනීමට මෙම පද්ධතිවලට හැකියාව තිබේ. යම් පුද්ගලයකු නිතර නරඹන හෝ ප්‍රතිචාර දක්වන අන්තර්ගතයට සමාන දේ නැවත නැවත පෙන්වීමෙන් ඔහුට ලැබෙන තොරතුරු පරාසය සීමා විය හැකිය.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය නිර්දේශක පද්ධති සෑම විටම තහවුරු කිරීමේ නැඹුරුව වැඩි කරන බව හෝ එයට එකම හේතුව ඒවා බව පැවසීම නිවැරදි නොවේ. පුද්ගලයාගේ තොරතුරු තෝරාගැනීම, සමාජ කණ්ඩායම්වල බලපෑම සහ වේදිකාවල ක්‍රියාකාරිත්වය යන කරුණු සියල්ල මෙහිදී වැදගත් විය හැකිය.

මෙවැනි තත්ත්වයක් තුළ පුද්ගලයාට තමන් දරන මතය සමාජයේ බහුතරය දරන මතය යැයි හෝ එය ප්‍රශ්න කළ නොහැකි සත්‍යයක් යැයි හැඟී යා හැකිය. එහෙත් සමාජ මාධ්‍යයක නිතර පෙනෙන අදහසක් ජනප්‍රිය වීම එහි සත්‍යතාව තහවුරු කරන සාක්ෂියක් නොවේ. යම් ප්‍රකාශයක් දහස් ගණනක් බෙදාගෙන තිබීමෙන් ද එය සත්‍යයක් බවට පත් නොවේ. එසේම යම් මතයකට විශාල පිරිසක් සහාය දැක්වීමෙන් එම මතයට පටහැනි සාක්ෂි අහෝසි වන්නේ ද නැත.

සිතීම සහ දැනීම අතර ඇති සම්බන්ධය

තහවුරු කිරීමේ නැඹුරුව වටහා ගැනීමේදී මිනිස් මනස තුළ ක්‍රියාත්මක වන ඥානක (Cognitive) සහ භාවාත්මක (Emotional) ක්‍රියාවලීන් අතර සම්බන්ධය ද සැලකිල්ලට ගත යුතුය. මේ දෙකෙහි සරලම වෙනස වන්නේ සිතීම (Thinking) සහ දැනීම (Feeling) අතර පවතින වෙනසයි.

ඥානක ක්‍රියාවලිය තුළින් පුද්ගලයකු තොරතුරු අවබෝධ කරගැනීම, විශ්ලේෂණය කිරීම, තර්ක කිරීම සහ තීරණ ගැනීම සිදු කරයි. භාවාත්මක ක්‍රියාවලිය තුළින් සතුට, දුක, බිය, කෝපය, ආදරය සහ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් හා සංවේදනා ප්‍රකාශයට පත් වේ.

සාමාන්‍යයෙන් මිනිස් තීරණ ගැනීමේදී මෙම ක්‍රියාවලීන් දෙකම එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වෙයි. එහෙත් ඇතැම් අවස්ථාවන්හිදී තාර්කිකව සිතා බැලීම අබිබවා භාවාත්මක ප්‍රතිචාර ඉස්මතු විය හැකිය. තහවුරු කිරීමේ නැඹුරුව එවැනි තත්ත්වයක් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි මානසික ප්‍රවණතාවකි.

මෙහිදී පුද්ගලයා යම් කරුණක් පිළිබඳව සිතන්නේ එහි සත්‍යතාව විමසා බැලීමට වඩා තමන් දැනටමත් විශ්වාස කරන දෙය තහවුරු කරගැනීමේ අරමුණිනි. මෙවැනි අවස්ථාවන්හිදී භාවාත්මක සාධකවලට විශේෂ බලපෑමක් හිමි වේ. මන්ද යත් මිනිසා තමන්ගේ විශ්වාසයන් සමඟ මානසිකව බැඳී සිටින බැවිනි.

තමන් දරන මතයක් වැරදි බව පිළිගැනීම ඇතැම් විට ලැජ්ජාවක්, අපහසුතාවක් හෝ පරාජයක් ලෙස දැනෙන්නට පුළුවන. එබැවින් එම මතය අභියෝගයට ලක් කරන සාක්ෂි හමුවේ ඒවා තාර්කිකව විමසා බැලීම වෙනුවට කෝපය, අකමැත්ත, ප්‍රතික්ෂේප කිරීම හෝ ආරක්ෂාකාරී හැසිරීම් ඇති විය හැකිය.

මෙහිදී සිදුවන්නේ හැඟීම් මඟින් සිතීම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමක් නොවේ. අප තොරතුරු තෝරාගැනීම, ඒවා අර්ථකථනය කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම කෙරෙහි හැඟීම්වල බලපෑම වැඩි වීමයි. ඒ අනුව පුද්ගලයාට තමන්ගේ තීරණය තාර්කික එකක් බව හැඟුණද, එම තීරණය පිටුපස ක්‍රියාත්මක වී ඇත්තේ ඇතැම් විට තමන්ගේ පූර්ව විශ්වාසයන් ආරක්ෂා කරගැනීමේ භාවාත්මක අවශ්‍යතාව විය හැකිය.

පුද්ගලයාටත් සමාජයටත් ඇති බලපෑම

මෙහි අහිතකර ප්‍රතිඵල පුද්ගල සබඳතා, පවුල් ජීවිතය, ප්‍රජා ජීවිතය සහ පුළුල් සමාජ ක්‍රියාකාරිත්වය දක්වාම පැතිර යා හැකිය. පවුලකදී තමන්ගේ මතය පමණක් නිවැරදි යැයි සිතන පුද්ගලයකුට සහකරුගේ හෝ දරුවන්ගේ අදහස් පිළිගැනීම අපහසු විය හැකිය. එවැනි පුද්ගලයකු විරුද්ධ අදහස් ඉදිරිපත් කරන අය සමඟ ගැටුම් ඇති කරගැනීමට ද පෙළඹෙයි.

ප්‍රජා හා සමාජමය වශයෙන් මෙය තවත් බරපතළ ස්වරූපයක් ගනී. දේශපාලන, ආගමික, සංස්කෘතික හෝ වෙනත් මතවාදී කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් තම කණ්ඩායමේ මතය තහවුරු කරන තොරතුරු පමණක් පිළිගැනීමට පෙළඹුණහොත් සමාජය තුළ මතවාදී බෙදීම් තීව්‍ර විය හැකිය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ තමන්ගේ අදහස්වලට ගැළපෙන පුවත්, වීඩියෝ සහ ප්‍රකාශ පමණක් හුවමාරු කරගැනීමෙන් මෙම නැඹුරුව තවදුරටත් ශක්තිමත් වෙයි. එවිට සත්‍යය සොයා යාම වෙනුවට තමන් විශ්වාස කරන දෙය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රමුඛතාව බවට පත්වේ.

තහවුරු කිරීමේ නැඹුරුවෙන් මිදිය හැක්කේ කෙසේද?

මෙම මානසික ප්‍රවණතාව පාලනය කිරීම සඳහා තමන් දරන මතය වැරදි විය හැකි බව පිළිගැනීමට ඇති මානසික සූදානම අත්‍යවශ්‍යය. තමන්ගේ අදහසට පටහැනි තොරතුරුවලට ද සාධාරණ අවධානයක් යොමු කිරීම, තොරතුරක සත්‍යතාව මූලාශ්‍ර අනුව විමසා බැලීම, තීරණ ගැනීමට පෙර හැඟීම්වල බලපෑම හඳුනාගැනීම සහ විරුද්ධ මතයකට සවන් දීම ඒ සඳහා වැදගත් පියවර වේ.

එසේම තමන්ගේ මතයට සහාය දෙන තොරතුරු පමණක් නොව, එම මතය වැරදි විය හැකි බව පෙන්වන සාක්ෂි ද සොයා බැලීම වැදගත්ය. යම් කරුණක් පිළිබඳව නිගමනයකට එළඹීමට පෙර එයට විකල්ප පැහැදිලි කිරීම් තිබේදැයි විමසා බැලීම ද ප්‍රයෝජනවත් වේ. තමන්ගේ මතය වෙනස් කරගැනීම පරාජයක් ලෙස නොව, නව දැනුම හා සාක්ෂි අනුව සිදු කරන බුද්ධිමය සංශෝධනයක් ලෙස සැලකීමට අප පුරුදු විය යුතුය.

අවසානයේදී තේරුම්ගත යුතු වැදගත්ම කරුණක් තිබේ. එනම් හැඟීම් යනු මිනිස් ජීවිතයෙන් ඉවත් කළ යුතු දෙයක් නොවන බවයි. හැඟීම් මිනිස් සබඳතා හා මානුෂීයත්වය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යය. එහෙත් හැඟීම්වලට වහල් වී තාර්කික විමර්ශනය අත්හැරීම පුද්ගලයාට මෙන්ම සමාජයට ද අහිතකර විය හැකිය.

එබැවින් සාර්ථක මිනිස් හැසිරීමක පදනම විය යුත්තේ සිතීම සහ දැනීම අතර සමබරතාවක් පවත්වා ගැනීමයි. තමන්ට දැනෙන දෙයම සත්‍යය නොවන බවත්, තමන් විශ්වාස කරන දෙයම නිවැරදි නොවන බවත් වටහා ගැනීම තහවුරු කිරීමේ නැඹුරුවෙන් මිදීමේ වැදගත්ම ආරම්භයයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

එතෙර - මෙතෙර