ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ ජාතික මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයකු වූ ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයකු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන ලාල් විජේනායක මහතා ඊයේ (31) සවස අභාවප්‍රාප්ත විය.මියයන විට 85 වැනි වියේ පසුවූ ඒ මහතා මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.ලාල් විජේනායක මහතා ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය තුළ දශක ගණනාවක් ක්‍රියාකාරීව කටයුතු කළ ප්‍රමුඛ චරිතයකි. දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ඒ මහතා පසුව එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට ද මූලිකත්වය ගෙන තිබේ.එමෙන්ම පළමු මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විජේනායක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීති වෘත්තියට පිවිසියේය. ඔහු නීති වෘත්තියේ වසර 50කට වැඩි කාලයක් කටයුතු කළ අයෙකි.ජාතික ජන බලවේගය සමඟ දේශපාලන කටයුතුවල නිරතව සිටිය ද එම රජයේ ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය විවේචනාත්මක ස්ථාවරය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට ද ඔහු පසුබට නොවීය. විශේෂයෙන්මවිනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වෙනස් කිරීමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඔහු විරෝධය පළ කළ අතර යෝජිත නව ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සම්බන්ධයෙන් ද විරෝධය පළ කළේය.මියයන තෙක්ම දේශපාලන කටයුතුවල නිරතව සිටි ඒ මහතා මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වාමාංශික දේශපාලන අදහස් සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ‘වමේ කේන්ද්‍රය’ පිහිටුවීමේ කටයුතුවලට ද නායකත්වය දී තිබේ.ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ.

කාලීන පුවත්