
මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් ඒවායේ මිල ඉහළ නැංවීම සඳහා අධික බදු පැනවීම ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ප්රතිපත්තියකි. ආර්ථික විද්‍යාවේදී මෙය හැඳින්වෙන්නේ ‘පාප බද්ද’ (Sin Tax) යනුවෙනි. මිනිස් සෞඛ්‍යයට හා සමාජයට හානිදායක යැයි සැලකෙන භාණ්ඩවල මිල ඉහළ නැංවීමෙන් ඒවායේ පරිභෝජනය අඩු කිරීමත්, ඒ අතරතුර රජයට ආදායමක් උපයා ගැනීමත් එහි මූලික අරමුණු දෙකකි.
ශ්‍රී ලංකාවේ මත්පැන් බදු ප්‍රතිපත්තිය දෙස බැලීමේදී බරපතළ ප්‍රශ්නයක් මතු වේ. එනම්, මත්පැන් මිල ඉහළ නැංවීමෙන් අපේක්ෂා කරන සෞඛ්‍ය හා සමාජමය ප්රතිලාභ සැබැවින්ම ලැබෙන්නේද? නැතහොත් එමගින් නීතිවිරෝධී මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ තවදුරටත් ශක්තිමත් වන්නේද යන්නයි.
මෙම ප්රශ්නය යළිත් සමාජ කතිකාවට පැමිණියේ පසුගිය අගෝස්තු 12 වැනිදා පැවැති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා (Committee on Public Finance – COPF) රැස්වීමේදී අනාවරණය වූ කරුණක් හේතුවෙනි.
එහිදී කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ රුපියල් 3,700කට අලෙවි වන දේශීය අරක්කු බෝතලයකට රජය අය කරන බදු ප්‍රමාණය කොපමණද යන්නයි. ඊට නිලධාරීන් ලබා දුන් පිළිතුර වූයේ රුපියල් 2,200කට ආසන්න මුදලක් බවයි.
ඒ අනුව රුපියල් 3,700ක අරක්කු බෝතලයක සිල්ලර මිලෙන් සියයට 59කට ආසන්න ප්‍රමාණයක් බදු සඳහා වැය වේ. එනම්, පාරිභෝගිකයා ගෙවන මුදලින් රුපියල් 2,200ක් පමණ රජයට බදු වශයෙන් හිමි වන අතර, නිෂ්පාදනය, අමුද්‍රව්‍ය, ඇසුරුම්කරණය, ප්‍රවාහනය, බෙදාහැරීම සහ වෙළෙඳ ලාභ ඇතුළු අනෙකුත් වියදම් සඳහා ඉතිරි වන්නේ රුපියල් 1,500කට ආසන්න මුදලකි.
දේශීය මත්පැන් බෝතලයක මිල තීරණය වන්නේ එකම බද්දක් මත නොවේ. සුරාබද්ද (Excise Duty), එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (Social Security Contribution Levy – SSCL) ඇතුළු බදු කිහිපයක් එහි මිලට බලපායි.
2025 ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක වූ සුරාබදු සංශෝධනය අනුව විශේෂ අරක්කු ලීටරයකට රුපියල් 7,244ක සුරාබද්දක්ද, මොලැසස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු ලීටරයකට රුපියල් 7,752ක සුරාබද්දක්ද නියම කර තිබිණි. එය ඊට පෙර පැවැති බදු අනුපාතවලට සාපේක්ෂව සියයට 5.9ක පමණ වැඩිවීමකි.
කෙසේ වෙතත් ලීටරයකට අය කරන සුරාබද්ද බෝතලයක සිල්ලර මිලට සෘජුව සමාන කළ නොහැකිය. බෝතලයේ අන්තර්ගත මත්පැන් ප්‍රමාණය, නිෂ්පාදන වියදම්, අනෙකුත් බදු සහ වෙළෙඳපොළ වියදම්ද අවසන් මිල තීරණය කිරීමට බලපායි.

මත්පැන් බදු රජයට ලැබෙන සැලකිය යුතු ආදායම් මාර්ගයකි. පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ දේශීයව නිෂ්පාදිත මත්පැන් අලෙවියෙන් සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම රුපියල් බිලියන 213.39කි. එය සුළුපටු මුදලක් නොවේ.
එහෙත් රජය මුහුණ දෙන උභතෝකෝටිකය වන්නේ බදු ආදායම වැඩි කරගැනීමේ අරමුණ සහ මත්පැන් පරිභෝජනය අවම කිරීමේ සෞඛ්‍ය අරමුණ අතර පවතින ගැටුමයි.
බදු වැඩි කිරීමෙන් නීත්‍යනුකූල මත්පැන් මිල ඉහළ යයි. එහෙත් මිල වැඩි වූ පමණින් සියලු දෙනා මත්පැන් පානය අත්හරින්නේ නැත. ඇතැමුන් පරිභෝජනය අඩු කළ හැකි අතර තවත් පිරිසක් මිලෙන් අඩු විකල්ප සොයා යා හැකිය. එම විකල්ප අතර නීතිවිරෝධී මත්පැන්ද තිබේ.
මේ තත්ත්වය පිළිබඳව ප්‍රදේශ කිහිපයකින් ලැබෙන තොරතුරුද අවධානයට ලක්විය යුතුය. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල අවන්හල්, සුරාසල් සහ බාර් ව්‍යාපාර වැසී යමින් පවතින බවට වාර්තා වේ. එම ව්‍යාපාරිකයන් පවසන පරිදි නීත්‍යනුකූල මත්පැන් අලෙවිය අඩුවීමත් සමඟ ඇතැම් ප්‍රදේශවල කසිප්පු පමණක් නොව අයිස් වැනි මත්ද්‍රව්‍යද ව්‍යාප්ත වෙමින් පවතී.
මෙම ප්‍රකාශවලින් පමණක් රට පුරා පවතින තත්ත්වය තීරණය කළ නොහැකි වුවත්, ඒවා විධිමත් විමර්ශනයකට ලක්විය යුතු සමාජීය අනතුරු ඇඟවීම්ය.
අතීතයේදී ගල්ඔය සීනි සංයුක්ත මණ්ඩලය මගින් උක් රොඩු සාරය ආශ්රයෙන් නිෂ්පාදනය කළ අඩු මිල අරක්කු වර්ගයක් ‘ගල් අරක්කු’ ලෙස හැඳින්වුණු බව කියැවේ. සාමාන්‍ය ආදායම් ලබන ජනතාව අතර එය ජනප්‍රිය වූයේ සාපේක්ෂව අඩු මිලකට ලබාගත හැකි වූ බැවිනි.
එහෙත් අද ‘ගල් අරක්කු’ යන ව්‍යවහාරික නාමය යටතේ අලෙවි වන නිෂ්පාදනවල අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්රියාවලියද කාලයත් සමඟ වෙනස් වී තිබේ. ඇතැම් නිෂ්පාදන සඳහා අප්‍රිකානු උක් රොඩු සාරය වැනි ආනයනික අමුද්‍රව්‍ය භාවිත වන බව සඳහන් වේ.
දිනකට රුපියල් 2,000ත් 3,000ත් අතර කුලියක් ලබන පුද්ගලයකුට රුපියල් 3,700ක අරක්කු බෝතලයක් මිලදී ගැනීම යනු දවසේ ආදායමෙන් විශාල කොටසක් ඒ වෙනුවෙන් වැය කිරීමකි. එහෙත් කසිප්පු කුඩා ප්‍රමාණයක් රුපියල් සිය ගණනකට ලබාගත හැකි නම් ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන පුද්ගලයකු ඒ වෙත ආකර්ෂණය වීම පුදුමයට කරුණක් නොවේ.
මෙය හුදෙක් මිල පිළිබඳ ගණිතයක් නොවේ. එහි පිටුපස දුප්පත්කම, ආදායම් අසමානතාව, ඇබ්බැහිවීම සහ සමාජීය පීඩනය වැනි සංකීර්ණ හේතු සමූහයක්ද තිබේ.
කසිප්පු වෙළෙඳපොළේ ව්‍යාප්තියට බලපාන තවත් වැදගත් සාධකයක් වන්නේ එය පහසුවෙන් ලබාගත හැකි වීමයි.
නීත්‍යනුකූල මත්පැන් අලෙවිසලකට ගොස් මුදල් ගෙවා බෝතලයක් මිලදී ගැනීමට සිදුවුවත්, ඇතැම් ප්‍රදේශවල කසිප්පු පාරිභෝගිකයා වෙතම රැගෙන එන බෙදාහැරීමේ ක්‍රමවේද පවතින බව වාර්තා වේ. ඇතැම්විට ගමනාගමන වියදමක් හෝ අලෙවිසලකට යෑමේ අවශ්‍යතාවක්ද නැත. ණයට ලබාගැනීමේ පහසුකම් පවා තිබිය හැකිය.

පොලිතීන් පැකට්වල අසුරා අලෙවි කරන මෙවැනි කසිප්පු ඇතැම් ප්‍රදේශවල ‘ජල බෝල’ යන නමින්ද හැඳින්වේ. කුඩා ස්කූටර්වලින් ගොස් නිවෙස්වලටම ඒවා අලෙවි කරන කාන්තාවන් පිළිබඳවද ඇතැම් ප්‍රදේශවලින් තොරතුරු ලැබේ.
මෙහිදී අවධාරණය කළ යුත්තේ කසිප්පු භාවිතය ඉහළ යෑමට හේතුව අරක්කු බදු පමණක් නොවන බවයි. මිල, පහසුවෙන් ලබාගත හැකි වීම, පුරුද්ද, ඇබ්බැහිවීම සහ නීතිවිරෝධී වෙළෙඳ ජාලවල ශක්තිය යන සියල්ල ඊට බලපායි.
මෙම ගැටලුවට අදාළ තවත් බරපතළ සමාජීය කාරණයක් වන්නේ තරුණ පරපුරේ ඇතැම් කොටස් මත්පැන්වලින් ඔබ්බට ගොස් අයිස් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමයි.
කසිප්පු පානය කිරීම සමාජයේ ඇතැම් කොටස් විසින් දුප්පත්, ගැමි හෝ පහළ සමාජ තත්ත්වයක පුද්ගලයකුගේ පුරුද්දක් ලෙස හංවඩු ගසනු ලැබේ. විශේෂයෙන් තරුණයන් අතර එවැනි ලේබල්වලට ඇති අකමැත්ත දක්නට ලැබේ.
නවීන සමාජය හා මුසු වන තරුණයන්ට කසිප්පු යනු පැරණි පරම්පරාවේ මත්පැන් භාවිතයක් ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත් අයිස් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් රහසිගතව රැගෙන යා හැකි වීමත්, සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන ඔස්සේ සිදුවන බෙදාහැරීම් ක්‍රමත් නිසා ඒවා තරුණ පරපුර වෙත ළඟාවීමේ අවදානම ඉහළ යා හැකිය.
කෙසේ වෙතත් අරක්කු මිල ඉහළ යෑම නිසා තරුණයන් කසිප්පු අත්හැර අයිස් භාවිතයට යොමු වන බව සෘජුව තහවුරු කරන දත්ත නොමැත. එමෙන්ම කසිප්පු සහ අයිස් යනු එකිනෙකට සෘජුව ආදේශ කළ හැකි එකම වෙළෙඳපොළක නිෂ්පාදන දෙකක්ද නොවේ. එබැවින් ඒ දෙක අතර සරල හේතුඵල සම්බන්ධයක් ගොඩනැඟීම විද්‍යාත්මක නොවේ.
එහෙත් තරුණයන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ව්‍යාප්ත වීමේදී මිතුරු කණ්ඩායම්වල බලපෑම, කුතුහලය, මානසික පීඩනය, සමාජීය පිළිගැනීම සහ පහසුවෙන් ලබාගත හැකි වීම වැනි සාධක වැදගත් බව අමතක කළ නොහැකිය.
අයිස් මත්ද්‍රව්‍යය හෙවත් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (Crystal Methamphetamine) මොළයේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් ඇති කරන ප්‍රබල උත්තේජකයකි. එය වේගවත් ඇබ්බැහිවීම, නින්ද අහිමිවීම, සැකසහිත සිතුවිලි, මානසික ව්‍යාකූලතා සහ හෘද වාහිනී පද්ධතියේ ගැටලු ඇති කළ හැකිය.
විශේෂයෙන් වයස අවුරුදු 18ට අඩු දරුවන් පවා මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධිවලට සම්බන්ධ වීම පිළිබඳ සංඛ්‍යාලේඛන කනස්සල්ලට හේතු වේ. ඉදිරිපත් වී ඇති සංඛ්‍යාලේඛන අනුව 2022 වසරේ අයිස් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් සංඛ්‍යාව එක් අයකු වූ අතර, 2025 වන විට එය 1,874ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සංඛ්‍යාලේඛනවල පදනම හා වාර්තාකරණ ක්‍රමවේදය තවදුරටත් විමසා බැලිය යුතු වුවත්, පාසල් වයසේ දරුවන් පවා මත්ද්‍රව්‍ය ජාලවලට නිරාවරණය වීමේ අවදානම පිළිබඳව ගුරු ප්‍රජාව අතරද තොරතුරු හුවමාරු වෙමින් පවතී. එවැනි ජාල අපරාධ කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන බැවින් ඒ පිළිබඳ තොරතුරු හෙළි කිරීමට ඇතැමුන් බිය වන බවටද අදහස් පළ වේ.
කසිප්පු මිලෙන් අඩු වුවත් එහි සෞඛ්‍යමය අවදානම ඉතා ඉහළ විය හැකිය. නීතිවිරෝධී නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය, ආසවන ක්‍රියාවලිය, භාවිත කරන උපකරණ සහ අවසන් නිෂ්පාදනයේ සංයුතිය පිළිබඳ විශ්වාසදායක පාලනයක් නොමැත.
විශේෂයෙන් වැරදි ලෙස නිෂ්පාදනය කළ හෝ විෂ ද්‍රව්‍යවලින් දූෂිත වූ මත්පැන්වල මෙතනෝල් (Methanol) අඩංගු විය හැකිය. මෙතනෝල් ශරීරගත වීමෙන් දෘෂ්ටි ස්නායුවට හානි සිදුවී අන්ධභාවය ඇතිවීම මෙන්ම මරණය පවා සිදුවිය හැකිය.
එහෙත් නීත්‍යනුකූලව නිෂ්පාදනය කරන මත්පැන් සෞඛ්‍යයට හානිදායක නොවන බවක් මෙයින් අදහස් නොවේ. මත්පැන් භාවිතය අක්මා රෝග, ඇතැම් පිළිකා, හෘද රෝග සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතුළු විවිධ සෞඛ්‍ය අවදානම් සමඟ සම්බන්ධ වේ.
එබැවින් මෙහිදී කළ යුතු නිවැරදි තේරීම කසිප්පු වෙනුවට අරක්කු පානය කිරීම නොවේ. දෙකෙන්ම වැළකීම වඩාත් ආරක්ෂිතය. එහෙත් මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයන් නීතිවිරෝධී හා විෂ සහිත මත්පැන් වෙත යොමු වීම වැළැක්වීමද මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් අරමුණක් විය යුතුය.

මෙහිදී ඇතැමුන් ඉදිරිපත් කළ හැකි සරල විසඳුම වන්නේ අරක්කු බදු අඩු කිරීමයි. එහෙත් එයද ගැටලුවට සම්පූර්ණ විසඳුමක් නොවේ.
බදු අඩු කළහොත් රජයට ලැබෙන ආදායම අඩු විය හැකිය. එමෙන්ම මත්පැන් මිල පහළ යෑමෙන් පරිභෝජනය ඉහළ යෑමේ අවදානමක්ද පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත්පැන් පාලන ප්‍රතිපත්ති අනුව මිල හා බදු පාලනය මත්පැන් භාවිතය අවම කිරීමේ වැදගත් මෙවලමකි.
එබැවින් කළ යුත්තේ අවිධිමත් ලෙස බදු අඩු කිරීම නොව, දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ සැබෑ ප්‍රතිඵල විමසා බැලීමයි.
පළමුව, නීත්‍යනුකූල මත්පැන් මිල ඉහළ යෑමෙන් කසිප්පු පරිභෝජනය කොතරම් දුරට වැඩි වන්නේද යන්න පිළිබඳ විධිමත් අධ්‍යයනයක් අවශ්‍යය. ඒ සඳහා සුරාබදු ආදායම පමණක් නොව නීත්‍යනුකූල මත්පැන් අලෙවිය, නීතිවිරෝධී මත්පැන් වැටලීම්, මත්පැන් විෂවීම් සහ රෝහල්ගතවීම් පිළිබඳ දත්තද එකට විශ්ලේෂණය කළ යුතුය.
දෙවනුව, කසිප්පු නිෂ්පාදනය හා අලෙවිය පාලනය කිරීමේදී සුළු නිෂ්පාදකයන් හෝ පාරිභෝගිකයන් පමණක් ඉලක්ක කිරීමෙන් පලක් නැත. එහි පිටුපස සිටින මහා පරිමාණ නිෂ්පාදකයන්, බෙදාහැරීමේ ජාල සහ මූල්‍ය ප්රතිලාභ ලබන පුද්ගලයන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
තෙවනුව, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර හා පුනරුත්ථාපන පහසුකම් පුළුල් කළ යුතුය. ඇබ්බැහිවීම යනු හුදෙක් විනය පිළිබඳ ගැටලුවක් නොවේ. එය වෛද්‍ය හා මානසික සෞඛ්‍යමය මැදිහත්වීමක් අවශ්‍ය තත්ත්වයකි. එබැවින් දඬුවමට පමණක් සීමා නොවී උපදේශනය, ප්‍රතිකාර සහ සමාජයට යළි සම්බන්ධ කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක විය යුතුය.
එමෙන්ම තරුණ පරපුරට ක්‍රීඩා, වෘත්තීය පුහුණුව, සංගීතය, කලා කටයුතු සහ රැකියා අවස්ථා වැනි ඵලදායී විකල්ප ලබාදීමද අත්‍යවශ්‍යය. මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර ජීවිතයක් තෝරා ගැනීම සමාජීය වශයෙන් අගය කරන පරිසරයක් නිර්මාණය කළ යුතුය.
නීත්‍යනුකූල මත්පැන් මිල ඉහළ නැංවීමෙන් පමණක් මිනිසුන් මත්පැන්වලින් ඈත් කළ නොහැකිය. එමගින් ඇතැම් පිරිස් වෙනත් විකල්ප සොයා යෑමට පෙලඹිය හැකිය. ඒ විකල්පය කසිප්පු විය හැකිය. තවත් අවස්ථාවක එය ඊටත් වඩා භයානක මත්ද්‍රව්‍යයක් විය හැකිය.
ඒ නිසා ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ මත්පැන් බෝතලයකින් වැඩිම බදු ආදායමක් උපයා ගැනීම පමණක් නොවේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා විනාශ වන මිනිස් ජීවිත අවම කිරීමයි.
පාප බද්දෙන් රජයේ භාණ්ඩාගාරය පිරෙනවා විය හැකිය. එහෙත් එමගින් සමාජය සුවපත් නොවන්නේ නම්, ඒ බද්දෙන් අපේක්ෂිත සැබෑ ඵලය ලැබී තිබේද යන්න ආණ්ඩුව තමන්ගෙන්ම විමසා බැලිය යුතුය.
රීටා ජෙනට් පෙරේරා