මහින්ද නිල නිවස බාර දී මැදමුලනට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට මෙතෙක් රජයෙන් ලැබී තිබූ විජේරාම නිල නිවස යළි රජයට භාර දී අද (11) පස්වරුවේ සිය ගම් ප්‍රදේශය වන තංගල්ල, මැදමුලන පිහිටි නිවස බලා පිටත්ව යාමට නියමිතය.රජය විසින් මෙම පියවර ගනු ලැබුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ ය.මේ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විටත් සිය නිල නිවසෙන් ඉවත්ව ඇති අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නිල නිවසෙන් ඉවත්ව තිබේ.
හිටපු මහින්ද රාජපක්ෂ මහතා මෙම නිල නිවසින් සමුගැනීමට පෙර, අද පෙරවරුවේ විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව වාර්තා වේ.හිටපු මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 4.00ට පමණ තංගල්ල ප්‍රදේශයට ළඟා වීමට නියමිත අතර, එහිදී “ලොව බිහිසුණුම ත්‍රස්තවාදී උවදුරින් මව් බිම බේරා ගත් ජාතික වීරයා උපන් බිමේ දී ගෞරවයෙන් පිළිගනිමු” යන තේමාව යටතේ ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කර ඇත.කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසි දිනෙක නිල නිවසක වාසය නොකළ අතර, ඔහු තම පෞද්ගලික නිවසේ සුපුරුදු පරිදි වාසය කරයි.

කාලීන පුවත්