
ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ග අතරින් වැඩිම අවදානම් සහගත ජීවනෝපාය මාර්ගය ගොවිතැන ය යන්න සනාථ කරන යුගයකට රටම එළඹ තිබේ. පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව මගින් හානියට පත් වූයේ වගා කරන ක්ෂේත්‍රයයි. කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව හා ගංවතුරින් බොහෝ කුඹුරු ඉඩම් වැලිවලින් පිරී, දැඩි සෝදාපාළුවට ලක් වී විනාශ වී තිබුණි. අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල වැනි බහුලව වී වගා කරන ප්‍රදේශවලට මේ ‘දිට්වා’ ආපදාව සිදුවී තිබුණි. මේ වෙනුවෙන් රජයෙන් ගෙවූ වන්දි මුදල් තවමත් සම්පූර්ණයෙන්ම ගෙවා නොමැති බවට ද මැසිවිලි තැනින් තැන ඇසෙමින් පවතී.
‘දිට්වා’ ආපදාවෙන් වැඩි වශයෙන් හානියට පත් වූයේ කුඹුරු ඉඩම් ය. ඒ වන විට මාස් කන්නය වපුරා නොතිබීම නිසා බොහෝ දිස්ත්‍රික්කවල වගාව හානියට පත්වීම සිදු වූයේ නැත. එසේ වුව ද වගා කෙරෙන ඉඩම හානි වීම යනු ගොවිතැනට තදින් බලපාන අවදානමක් බව කිව යුතු නොවේ. ගොවිතැන සාර්ථක වන්නට නම් නිසි කලට ජලය අවශ්‍ය වේ. මේ, ගොවියා මුහුණ දෙන තවත් අවදානමකි. අවශ්‍ය වෙලාවට වර්ෂාව නොවැටුණත්, අනවශ්‍ය වෙලාවට වර්ෂාව වැටුණත් දෙකම එකසේ ගොවිතැනට අහිතකර ය.
‘දිට්වා’ ආපදාවෙන් වැඩි වශයෙන් හානියට පත් වූයේ කුඹුරු ඉඩම් ය. ඒ වන විට මාස් කන්නය වපුරා නොතිබීම නිසා බොහෝ දිස්ත්‍රික්කවල වගාව හානියට පත්වීම සිදු වූයේ නැත. එසේ වුව ද වගා කෙරෙන ඉඩම හානි වීම යනු ගොවිතැනට තදින් බලපාන අවදානමක් බව කිව යුතු නොවේ. ගොවිතැන සාර්ථක වන්නට නම් නිසි කලට ජලය අවශ්‍ය වේ. මේ, ගොවියා මුහුණ දෙන තවත් අවදානමකි. අවශ්‍ය වෙලාවට වර්ෂාව නොවැටුණත්, අනවශ්‍ය වෙලාවට වර්ෂාව වැටුණත් දෙකම එකසේ ගොවිතැනට අහිතකර ය.
පොහොර මිල ගොවියාට ඇති ඊළඟ අභියෝගයයි. රසායනික පොහොර යෙදීමෙන් තොරව සාර්ථක ගොවිතැනක් ජීවනෝපාය ලෙස සිදු කිරීම අපහසු ය. ඒ බව මැනවින් තහවුරු වූයේ ගෝඨාභය ජනාධිපතිවරයා මුළු රටම එකවර කාබනික කරන්නට සිතාගෙන රසායනික පොහොර තහනම් කළ අවස්ථාවේදී ය. ගොවීහු රසායනික පොහොර නැති ගොවිතැනකට වඩා ගෝඨාභය ජනාධිපති ලෙස නැති රටක් සුදුසු බව තීරණය කළෝය. මේ නිසාම පොහොර සඳහා රජය යම් ආකාරයක සහනාධාරයක් ගොවියන්ට ගෙවනු ලබන්නේ, පොහොර භාවිතයෙන් තොරව වී ගොවිතැන අසාර්ථක බව පිළිගෙන ඇති නිසා ය.
එසේ වුව ද වගා කන්නය ආරම්භ වීමට පෙර ගොවීන්ට පොහොර සහනාධාරය ගෙවා නිම කිරීමට තවමත් රජය අපොහොසත් ව තිබේ. රසායනික පොහොර මිල අධික බැවින්, පොහොර සහනාධාර මුදල් නිසි වෙලාවට නොලැබීම ගොවීන් බොහෝ දෙනෙකුට තම වගාවට නිසි කලට පොහොර යෙදීමට නොහැකි වීමට හේතුවක් ද වෙයි. ඒ අනුව පොහොර කලට වෙලාවට යොදා නොගත්තොත් වී ගොවිතැනෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත නොහැකි වෙයි. අවසානයේ මේ සියලු අභියෝග නිම වී වගාව ඇරඹුණු දා සිට වගාව කෘමි හානි, දිලීර හානි ආදිය සිදු වීමෙන් වළක්වා ගැනීමේ අභියෝගයට ගොවීහු මුහුණ දෙති. එමෙන්ම වන සතුන්ගෙන් හානි පැමිණීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂක පියවර ගැනීමට ද ගොවීන්ට සිදු වේ. මේ සෑම අවස්ථාවකදීම සිදුවන යම් සුළු ප්‍රමාදයකින් වුව සිය වගාව මුළුමනින්ම විනාශ වීමේ අවදානමකට ගොවීහු පත්වෙති. මේ සියල්ල අවසානයේ ගොවිතැනේ අස්වැන්න නෙළන අවදිය වන විට ඇතිවන බරපතල අවදානම වන්නේ කීඩෑ උවදුරයි. අස්වනු නෙළන අවදියේ පාරිසරික උෂ්ණත්වය වැඩිවීම යනු කීඩෑවන් බෝවීම සඳහා හොඳ වාතාවරණයක් ඇති කරන්නකි. කීඩෑ උවදුර පැතිරුණහොත් අස්වැන්න බේරා ගැනීම බෙහෙවින් අසීරු වන්නේ ඉතා කෙටි කලක් තුළ ශීඝ්‍රයෙන් කීඩෑවන් පැතිරීම සිදුවන බැවිනි.
මේ වන විට මෙරට වී ගොවියන් මෙම මාස් කන්නයේ වී ගොවිතැනේ අවසාන අදියර වන අස්වනු නෙළීමේ අවස්ථාවේ ඇති වන අලුත්ම අභියෝගයට මුහුණ දී සිටිති. විශේෂයෙන් රටේ වී නිෂ්පාදනයෙන් පහෙන් පංගුවක් නිපදවන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීහු පසුගිය සති දෙක තුළ අස්වනු නෙළීමේ ක්‍රියාවලියේ ඇති වුණු බලවත් අභියෝගයට මුහුණ දුන්හ. ඒ, වර්ෂාව නිසා අස්වනු නෙළා ගත නොහැකි වීම හා අසීරුවෙන් හෝ නෙළා ගත් අස්වැන්න වේලා ගත නොහැකිව විනාශ වීමේ තර්ජනයයි. සාමාන්‍යයෙන් ජනවාරි අග සතියේ සිට වී අස්වනු නෙළීම ඇරඹෙන අම්පාරේ ගොවීන් මෙවර මුහුණ දුන් පළමු අභියෝගය වූයේ නෙළන අස්වැන්නට මිලක් ලබා ගැනීමයි. මෙවර ජනවාරි අග වන විට රටේ වී මිල කිලෝ එක රුපියල් හැත්තෑ පහේ මට්ටමට පහළ වැටී තිබුණි. ඒ අනුව අස්වනු නෙළීම ආරම්භයේදීම මීට පෙර කිසිදු මහ කන්නයක නොවූ ලෙස වී මිල පහළ වැටී තිබීමේ ගැටලුවට මුහුණ දුන් අම්පාරේ ගොවියන්ට ඊළඟට මුහුණ දෙන්නට වූයේ සති දෙකක් තිස්සේ ඇද හැලුණු වර්ෂාවටයි.
වර්ෂාව නිසා නෙළූ අස්වැන්න වේලා ගැනීමට නොහැකි විය. එසේම හොඳින් පැසී තිබුණු කුඹුරු යායවල් පිටින් වැස්ස නිසා ඇද වැටී වැසි ජලයෙන් යට විය. සද්ධාතිස්ස රජ සමයේ සිට වගා කෙරුණු දිගාමඩුල්ලේ මහා වෙල් යාය සේ සැලකෙන, දීඝවාපියේ සිට නැගෙනහිර දෙසට විහිදුණු සම්මන්තුරේ මහා වෙල් යායේ අක්කර තිස් දහසක පමණ හොඳින් පැසී තිබුණු කුඹුරු යායේ අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වර්ෂාවෙන් විනාශ වී ගියේ අහිංසක ගොවි ජනතාව අන්ත අසරණ කරවමිනි. සම්මන්තුරේ වාසී ගොවියෙකු ද වන වවුනියාව හිටපු දිසාපති හනීෆා මහතා මා සමග පැවසුවේ, වර්ෂාව නිසා සම්මන්තුරේ ප්‍රදේශයේ වී අස්වැන්නෙන් 40%ක් පමණ විනාශ වුණු බව ය. සාමාන්‍යයෙන් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මාස් කන්නයට වගා කරන අම්පාරේ ගොවීන්ගේ අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වූයේ මේ සති දෙකේ වැස්සටයි. වර්ෂාවට පෙර හා අතරතුර නෙළාගත් අස්වැන්නෙන් ද කොටසක් වේලා ගත නොහැකිව පැළ වූ අතර, තව කොටසක් වී ඇට කළු ගැසී “මඩි” බවට පත් වී විනාශ විය. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් වියළුම් යන්ත්‍ර හිමි මෝල් හිමියෝ ඒ අස්වැන්න කිලෝ එක රුපියල් හැට පහට, හැත්තෑවට පමණ මිලට ගෙන වියළුම් යන්ත්‍රවලින් වියළා ගබඩා කර ගත්හ. වෙළෙඳපොළේ වී මිල රුපියල් 100න් පහළ තිබීම යනු ගොවියා “වැලේ වැල් නැති” තත්ත්වයට පත්වීම ය. මේ මාස් කන්නයේ අම්පාරෙන් පෙන්නුම් කරන්නේ ගොවියාට දරුණුම පසුබෑමකට මුහුණ දෙන්නට සිදු වන බව ය.
ඒ නිසාම සෑහෙන කලකට පසුව මාස් කන්නයේ අස්වනු නෙළන විට වී මිල මෙතරම් පහතට වැටුණේ ඇයිදැයි සොයා බැලීම මේ රටේ වී වගාවේ නිරත ගොවීන්ගේ යහපතට හේතුවන්නකි. සත්‍ය වශයෙන්ම මෙය කෘෂිකර්ම බලධාරීන් විසින් සිදු කළ යුතු අනිවාර්ය කාර්යයකි. එසේ වුව ද රජය පැත්තෙන් ඒ පිළිබඳව උනන්දුවක් මේ දක්වා නැත. ඒ නිසා මෙවර වී මිල පහත වැටීම හා වී ගොවියා මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව යම් විග්‍රහයක් කිරීම අත්‍යවශ්‍ය වී ඇත.
සාමාන්‍යයෙන් වසරකට මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි. මේ සහල් ප්‍රමාණය නිපදවීමට අවශ්‍ය වී ප්‍රමාණය ටොන් මිලියන හතරක් පමණ වේ. මහවැලි ව්‍යාපාරය යටතේ වූ වී වගා ඉඩම් ප්‍රමාණය වගා කිරීමත් සමග රටේ වාර්ෂික අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගත හැකි තත්ත්වයට පත් විය. එසේ වුව ද සහල් සුළු ප්‍රමාණයක් ආනයනය කිරීම් අඛණ්ඩව කෙරුණේ සංචාරක හෝටල් හා සුවිශේෂී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙනි. රටේ වී වගාව කන්න දෙකකින් සිදුවන අතර, මාස් කන්නයේ අස්වැන්න විශාල වන්නේ වගා කරන ඉඩම් ප්‍රමාණය එම කන්නයේ දී වැඩිවන බැවිනි. යල කන්නයේ වගා කරන ඉඩම් ප්‍රමාණය අඩු නිසා නිෂ්පාදනයත් සාපේක්ෂව අඩු ය. කෙසේ වුව ද සමස්තයක් ලෙස රටේ සාමාන්‍ය පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවීමට හැකි වී නිෂ්පාදනයක් රටේ පවතී.
එසේ වුව ද මෙරට සහල් පරිභෝජනයේදී පාරිභෝගික රුචිකත්වය අනුව වර්ග කිහිපයක සහල් නිපද වේ. ඒ අනුව කැකුළු සහල්, නාඩු සහල් හා සම්බා සහල් ලෙස ප්‍රධාන වර්ග තුනක සහල් නිපද වේ. කැකුළු සහල් සුදු හා රතු ලෙස ප්‍රභේද දෙකකි. සාමාන්‍යයෙන් දකුණු පළාතේ හා උතුරේ ජනතාව රතු කැකුළු පරිභෝජනයට වඩාත් කැමති ය. සම්බා සහල් ද කීරි සම්බා සහ සම්බා ලෙස වර්ග ප්‍රභේද දෙකකි. කීරි සම්බා ඉහළ මධ්‍යම පන්තියේ වැඩි වශයෙන් භාවිත වන අතර “ෆ්‍රයිඩ් රයිස්” සඳහා ආපන ශාලාවල භාවිතයට ගැනීම ද සිදු කරයි. නාඩු සහල් ද රතු හා සුදු ලෙස ප්‍රභේද දෙකකි. නාඩු සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ජනතාව පරිභෝජනය කරන සහල් වර්ගයක් වෙයි. රට සහලින් ස්වයංපෝෂිත මට්ටම ළඟා කර ගත්තාට, සහල් පරිභෝජනයේ ඇති රුචිකත්වයේ විචල්‍යතාව මත ඇති සහල් ඉල්ලුමට සරිලන ලෙස වී වගාව සිදු නොවීමේ අඩුපාඩුවක් බලවත් ලෙස නිරීක්ෂණය වේ. උදාහරණ ලෙස පසුගිය වසර මුලදී රතු කැකුළු සහල්වල විශාල හිඟයක් වාර්තා වීමත්, ඊට පසු නාඩු සහල් හිඟයක් වාර්තා වීමත් පෙන්වා දිය හැකි ය. තවත් වරක් ඇති වූයේ කීරි සම්බා හිඟයකි. කීරි සම්බා යනු සාමාන්‍ය සම්බා වී වර්ගයක් යොදාගෙන මහා පරිමාණ සහල් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන ලද සන්නාම සහල් වර්ගයකි.
අතීතයේ රටේ සහල් හිඟයක් ඇතිවීමට විසඳුම ලෙස රජයෙන් කළේ සහල් ආනයනය කිරීම ය. සහලින් රට ස්වයංපෝෂිත තත්ත්වයට පැමිණි පසුවත් වරින් වර ඇතිවන කෙටි කාලීන සහල් හිඟයන්ට ප්‍රතිකර්මය ලෙස සීමිත ආනයනයක් සිදු කළ අතර, එබඳු බොහෝ අවස්ථාවල ආණ්ඩුව මෙරට වී නිෂ්පාදනය වෙළෙඳපොළට එන විට එහි මිලට බලපෑමක් නොවන ලෙස සීරු මාරුවට එම ආනයනය සිදු කිරීමට වග බලා ගත්තේ ය. සාමාන්‍යයෙන් දෙසැම්බර් මස දෙවන සතියේ සිට මාසයක පමණ කාලයක සහල් හිඟයක් වෙළෙඳපොළේ දැක ගන්නට ලැබෙන අතර, එසේ වන්නේ යල් කන්නයේ අස්වැන්න ඊළඟ මාස් කන්නයේ අස්වැන්න වෙළෙඳපොළට එනතුරු ප්‍රමාණවත් නොවීමත්, යල් කන්නයේ අස්වැන්නෙන් කොටසක් දෙසැම්බර් මස ඇතිවන හිඟය මත ඉහළ මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් ගොවීන් මෙන්ම අතරමැදි තොග රැස් කරන්නන් විසින් රඳවා ගැනීම නිසා ය.
2015ට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ක්‍රියා කළ පී. බී. ජයසුන්දර මහතා, මේ සහල්, දේශීය අර්තාපල් හා බී ලූනු නිෂ්පාදන වෙළෙඳපොළට එන වකවානු ගැන මහත් උනන්දුවකින් සොයා බලමින් ඒවායේ මිලට බලපෑමක් නොවන ලෙසට ආනයන පාලනය කිරීමට වග බලා ගත්තේය. එමෙන්ම වී ගොවියාට පාඩු වන ලෙස දේශීය වී මිල පහළ යාම සිදුවන විට වහාම වී මිල ඉහළ නැංවීමට අවශ්‍ය මැදිහත් කිරීම ද කළේය. 2010 වර්ෂයේදී වී සහතික මිල කිලෝ එක රුපියල් 28ක්ව පවතිද්දී වෙළෙඳපොළ රුපියල් 18-20 පමණ පහළ ගිය විට, එවක අම්පාර දිසාපතිව සිටි මා හට රුපියල් මිලියන 100 ලබා දී ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කර වැඩි මිලට වී මිලට ගැනීම අරඹා අම්පාරේ වෙළෙඳපොළ වී මිල ඉහළ නංවන ලෙසට දැනුම් දුන්නේය. අප සමුපකාර සංගම් මගින් අස්වනු නෙළූ ගමන් ගොවීන් තෙත සහිතව අලෙවි කරන වී කිලෝ එක රුපියල් 24ට මිලට ගෙන වෙළෙඳපොළේ මිල සතියක් තුළ රුපියල් 25 දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූයේ ඒ මුදල් වලිනි. ඒ වන විට තෙත වී රජයේ මුදල්වලින් මිලදී ගැනීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දී නොතිබුණත් ඒ නොතකා ක්‍රියා කිරීමට මුදල් ලේකම්වරයා අපට ඉඩ ලබා දුන්නේය. ඒ, “තැනේ හැටියට ඇණේ ගැසීම” යන ගැමි වහර ප්‍රායෝගිකව ඔප්පු කරමිනි.
නමුත් මේ වන විට වී මිල පහළ වැටීම වැළැක්වීමේ කිසිදු පාලන උපක්‍රමයක් වත්මන් ආණ්ඩුව සතුව නැත. ආණ්ඩුවට වරින් වර ඇතිවන සහල් වර්ග හිඟය පිළිබඳව පැහැදිලි දැක්මක් හෝ අවබෝධයක් ඇති බවක් ද නොපෙනේ. කීරි සම්බා හිඟ වූ විට පොන්නි සම්බා ආනයනය කිරීමටත්, නාඩු හිඟ වූ විට ඉන්දියන් නාඩු ආනයනයටත් බලපත්‍ර දෙනවා මිස සහල් ඉල්ලුමට සරිලන ලෙස වගාව සැලසුම් කිරීමට ආණ්ඩුව කල්පනා නොකරයි. ආණ්ඩුවේ මුල්ම උපාය මාර්ගය වූයේ වී අලෙවි මණ්ඩලය මගින් ආරක්ෂිත වී තොගයක් මිලට ගෙන සතොසට අඩු මිලට සහල් සපයා සහල් මිල පාලනය කිරීම ය. “වවුලන් විසින් දීර්ඝ කාලීන බද්දට ගෙන තිබූ” ආණ්ඩුවේ වී ගබඩා අලුත්වැඩියා කරමින් ආණ්ඩුවේ බලධාරීන් මේ න්‍යාය පෙන්වා දුන්නේ පාරිභෝගිකයිනුත් ගොවියනුත් අමන්දානන්දයට පත් කරමිනි. නමුත් පෞද්ගලික වෙළෙන්දෝ ආණ්ඩුවේ ඒ හීනය බොඳ කළේ සහතික මිලට වඩා රුපියල් පහක් පමණ වැඩි මිලකට වී මිලට අරගෙන ය. ඊළඟට මහා පරිමාණ සහල් මෝල්වල සැඟවූ වී එළියට ගන්නට හමුදාව යොදාගෙන අධීක්ෂණයක් ද කළේ රටේම අඬබෙර ගසමිනි. ඊළඟට ජනාධිපතිවරයා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගෙන්වා මේසයට ද තට්ටුවක් දමා රුපියල් දහයක් වැඩිකර දී ඔවුන් දමනය කළ බව පෙන්නුවේය. මේ හැම එකක්ම එදාවේල විසඳුම් මිස ගොවියාත් පාරිභෝගිකයාත් එක සේ සතුටු වන විසඳුම් නොවේ. මෙවර වී මිල වෙනදා මෙන් ඉහළ නැග්ගේ නැත. ඊට හේතුව වන්නේ වී මෝල් හිමියන් සතුව පැරණි වී තොග ප්‍රමාණවත්ව තිබීම නිසා ය. එසේ වූයේ මෙවර වී මිල ඉහළ යනතුරු බලා සිටි තාවකාලික තොග රැස්කරන්නන් අවසාන මොහොතේ පාඩුව අවම කිරීමට තමා සතු වී තොග අඩු මිලට අලෙවි කිරීම හේතුවෙනි. එම වී තොග මහා සහල් නිෂ්පාදකයන් අඩු මිලට ඒකරාශී කර ගත් බැවින් අලුත් වී සඳහා එතරම් ඉල්ලුමක් නැත. ආණ්ඩුව සහතික මිල නියම කිරීමේදී කීරි සම්බාවලට වැඩි මිලක් නියම කර තවත් අවුලකට පොට පෑදුවේ ය. වී කවර වර්ගයක් වුණත් වගා වියදම සමාන බැවින් ආණ්ඩුව කීරි සම්බාවලට ඉහළ මිලක් නියම කිරීමෙන් කීරි සම්බා වගාවට ගොවීන් වැඩිපුර පෙළඹේ. එවිට වැඩි ඉල්ලුමක් සහිත නාඩු නිපදවන ප්‍රමාණය අඩු වන්නට ද එය හේතුවක් වෙයි.
මේ රටේ ජනතාවගේ අවශ්‍යතා සපිරීමට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් ඇති බවත්, ගැටලුව ඇත්තේ පාරිභෝගික රුචිකත්වය අනුව සහල් නිපදවීමට අවශ්‍ය වී වර්ග සැලසුම් සහගතව වගා නොවීම බවත් ආණ්ඩුව දැන් වටහා ගත යුතු ය. එසේ නොමැතිව තේ කෝප්පයට සීනි මුසු කරන ප්‍රමාණය අනුව හොද්දට ලුණු මුසු කළ හොත්, හොද්ද හට්ටිය පිටින්ම “වනගත” කිරීමට සිදු වන බව ද ආණ්ඩුව තේරුම් ගත යුතුය. මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ජලය සැපයෙන ජලාශ 72 හා මහවැලි කලාපවලවත් වී වගාව කන්න රැස්වීම හරහා වර්ග අනුව ප්‍රමාණවත් අන්දමට වගා කරන බවට ආණ්ඩුව වග බලා ගැනීම වැදගත් වේ. එක් එක් වාරි ව්‍යාපාරවල කන්න රැස්වීමේදී බෙදුම් ඇළ මට්ටමින් වගා කරන වී වර්ගය සම්බා, නාඩු හෝ කීරි සම්බා ලෙස නියම කර ගැනීමත්, ඒ සඳහා පාදක කර ගැනීමට අවශ්‍යතාවය දැන ගැනීම සඳහා කිසියම් සමීක්ෂණයක් පැවැත්වීමෙන් පුළුවන. කන්න රැස්වීම්වල දැනටත් වගා කරන වී වර්ගය තීරණය කරන අතර, එය මාස දෙකහමාර, තුන, තුනහමාර, හතර ආදී ලෙස කාලය මත කරන තීරණයකි. එය සම්බා, නාඩු හා කීරි සම්බා ලෙස තීරණය කිරීමට කිසිදු අපහසුතාවයක් නැත. මේ සඳහා අවශ්‍ය බිත්තර වී සැපයීම ප්‍රමාණවත්ව සිදුවන බවට රජයේ ගොවිජන සංවර්ධන හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු වග බලා ගත යුතු වේ. මෙබඳු ස්ථිරසාර වෙනසක් වෙනුවට ආණ්ඩුව “එදාවේල වුවර්ස්” පන්නයේ කතා කියමින් කල් මරනවා මිස ගොවීන්ගේ මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ගැන උනන්දුවක් නැත.
මෙවර වී මිලට ඔහුගේ විසඳුම තව අවුරුදු දෙකක් යනතුරු විසඳුමක් නැති බව ඇමති ලාල් කාන්ත දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. ඒ මෙරට ගොවි ජනතාවට ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයෙන් පසු අමතකව යමින් තිබූ “සුද්ද සිංහල” යළි සිහිපත් කරමිනි. දැන් ගොවි ජනතාවට මොළේ පෑදී ඇත. මෙවර අඩු වී මිලත් සමග ගොවි බිම යළිත් උණුසුම් වනු නියතය. වෙනදාට ගොවි සටන්වල ඉදිරියෙන් සිටින නාමල් කරුණාරත්නට, මෙදා ගොවීන් පාරට බැස්සොත් නවතින්න වෙන්නේ කොහේදැයි සිතා ගත නොහැකි ය. නමුත් මෙදා පාර ගොවීන් රැවටීමට ලාල්, නාමල් ඇමතිලාගේ ලුණු ගොරකා මදිවෙන බව නම් ටක්කෙටම කිව හැකිය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ග්‍රාමීය ජවය වූයේ ගොවි ජනතාව ය. ගොවි ජනතාවට ගෝඨාභය ජනාධිපතිවරයාගේ පොහොර ප්‍රතිපත්තියෙන් ඇති වූ බලපෑම මේ ආණ්ඩුවට ගොවීන්ගේ අසීමිත සහයෝගය ලැබීමේ ප්‍රධාන හේතුව විය. එනිසාම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකයා වුණු නාමල් කරුණාරත්න ගොවීන්ගේ ජනප්‍රිය නායකයා ලෙස එදා ඉස්මතු විය. ඔහු කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති ලෙස පත්වූ අවස්ථාවේ ගොවීන් සිතුවේ “මෙදා නම් අපි ගොඩම” කියා ය. ඒත් ඔහු හාපුරා කියා අත ගැසූ විනෝදජනක ‘රිළා සංගණනයෙන්ම’ ඒ කීර්තියේ රැස් වළලු බිඳගත්තේය. කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත වැඩේට බැස්සේම වැවේ රක්ෂිතය ලකුණු කරගෙනය. ඔහුට අනුව රටේ කෘෂිකර්මයට තිබුණු ලොකුම ප්‍රශ්නය වැවට රක්ෂිතයක් මැන නොතිබීම ය. ඒ නිසා රක්ෂිතයක් මැන්නවීම නිසා වැව අසල පදිංචි පිරිස්වලින් කැපී ගිය ඔහුත් ඉන්පසු ‘එදාවේල කෘෂිකර්මයට’ බැස්සේ ය. මෙවර වී මිලට ඔහුගේ විසඳුම තව අවුරුදු දෙකක් යනතුරු විසඳුමක් නැති බව ඇමති ලාල් කාන්ත දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. ඒ මෙරට ගොවි ජනතාවට ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයෙන් පසු අමතකව යමින් තිබූ “සුද්ද සිංහල” යළි සිහිපත් කරමිනි. දැන් ගොවි ජනතාවට මොළේ පෑදී ඇත. මෙවර අඩු වී මිලත් සමග ගොවි බිම යළිත් උණුසුම් වනු නියතය. වෙනදාට ගොවි සටන්වල ඉදිරියෙන් සිටින නාමල් කරුණාරත්නට, මෙදා ගොවීන් පාරට බැස්සොත් නවතින්න වෙන්නේ කොහේදැයි සිතා ගත නොහැකි ය. නමුත් මෙදා පාර ගොවීන් රැවටීමට ලාල්, නාමල් ඇමතිලාගේ ලුණු ගොරකා මදිවෙන බව නම් ටක්කෙටම කිව හැකිය.
සුනිල් කන්නන්ගර – කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති