මෛත්‍රී වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයෙන් ගෞරවනීය මහාචාර්ය ධුරයක්: රනිල්ට කළ නිල ආරාධනය තොරතුරු පනතින් හෙළි වෙයි

එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය (University of Wolverhampton) මගින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම සහ ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ආරාධනා කිරීම පිළිබඳ තොරතුරු එංගලන්ත තොරතුරු දැනගැනීමේ පනත (Freedom of Information Act) යටතේ අනාවරණය වී තිබේ.සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් 2026 ජනවාරි 30 වන දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම විශ්වවිද්‍යාලයේ තොරතුරු අයිතිවාසිකම් කළමනාකාරිනී සෝෆී එසන් මහත්මිය විසින් මෙම තහවුරු කිරීම සිදු කර ඇත.වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය නිකුත් කළ ලේඛනවලට අනුව, 2023 සැප්තැම්බර් 1 වන දින රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත මෙම ආරාධනා පත්‍රය නිල වශයෙන් යොමු කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපතිවරයා ලෙස ඔහුගේ නිල තත්ත්වය සලකා බලමිනි. විශේෂත්වය වන්නේ මෙම නිල ආරාධනය ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හරහා සම්බන්ධීකරණය කර යොමු කර තිබීමයි.මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම වෙනුවෙන් මෙම සැමරුම් දිවා භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි. එය 2023 සැප්තැම්බර් 22 වන දින වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවයට පෙර, එනම් එදින දහවල් 12:00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබූ බව හෙළි වූ ලිපි ලේඛන පෙන්වා දෙයි.විශ්වවිද්‍යාලයේ කුලපති ලෝඩ් ස්වරාජ් පෝල් වෙනුවෙන් එවකට උපකුලපති මහාචාර්ය ජෝන් රැෆර්ටි මහතා විසින් මෙම ආරාධනය සිදු කර තිබුණි.ඕෂල හේරත් මහතා විසින් සිදු කරන ලද මෙම විමසීමට අදාළ සියලු තොරතුරු තමන් සතුව පවතින බවත්, විනිවිදභාවය වෙනුවෙන් ඒවා සම්පූර්ණයෙන්ම මුදා හැරීමට තීරණය කළ බවත් විශ්වවිද්‍යාලය සිය තීරණ දැනුම්දීමේ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

කාලීන පුවත්