අලින්ව බලන්නට කැමති අයට තවත් ඉතා වැදගත් වන වනෝද්‍යානයක් ගැනයි අද ඔබට කියන්න යන්නේ. මේ මින්නේරිය ජාතික වනෝද්‍යානය.
උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා ව්‍යාප්ත වී පවතින මින්නේරිය ජාතික වනෝද්‍යානයෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 8889 ක් පමණ වෙනවා. මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ
1997 අගෝස්තු 12 දා යි.
කොළඹ හබරණ පාරේ කි.මී. 182 කණුව ළඟින් අඹගස් වැව දෙසට හැරී යන විට මේ ජාතික වනෝද්‍යානයේ පිවිසුමට ළඟා වන්නට පුළුවන්. පොළොන්නරුවේ සිට පැමිණෙන්නේ නම් එතැන් සිට කිලෝමීටර් 36ක් හබරණ පැත්තට එන විට මෙම පිවිසුම හමු වෙනවා.
වියළි කලාපයේ පිහිටා තිබෙන තෙත් බිම් හා වනාන්තර පරිසර පද්ධතියක් මෙහි පවතින්නේ. මහවැලි ගඟේ ජල පෝෂක ලෙස ක්‍රියා කරන ඊරිගෙ ඔය, තල්කොටේ ඔය, කිරි ඔය, මඩයම්පල ඔය යන ඔයවල් සියල්ලම මෙහි පිහිටා තිබෙනවා. තැනිතලා බිම් වගේම කුඩා කඳු වැටිද මෙම වනෝද්‍යානය පුරා පැතිරී තිබෙනු දකින්නට පුළුවන්.
මෙහි ශාක පිළිබඳව සැලකුවහොත් වියළි සදාහරිත වනාන්තරවල දැකිය හැකි පළු, බුරුත, මිල්ල, හල්මිල්ල, කළුමැදිරිය, වීර වැනි ශාක බහුලයි. ලඳු කැලෑ ප්‍රදේශවල කුකුරුමාන, කැප්පෙට්ටිය, වරා මල්, ඉදිපොහොන් වැනි ශාක බහුලව දකින්නට පුළුවන්.
ප්‍රධාන වශයෙන්ම මෙම වනෝද්‍යානය අලින්ගේ වාසස්ථානයක්. වියළි දේශගුණයක් ඇති ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ අලි බහුලවම මින්නේරිය ජලාශය ආශ්රිත තෙත් පරිසරයට එකතු වෙනවා. ජාතික වනෝද්‍යානයේ සිටින අලින් වගේම ඒ ආශ්රිත කැලෑ ප්‍රදේශවල සිටින අලින් ද ජලාශයට සහ තෘණ භූමි වලට එක්රොක් වී හිඳිනු මේ කාලවලදී දකින්නට පුළුවන්.
මෙම පරිසරයෙහි පක්ෂි විශේෂ 172 ක් පමණ වාර්තා වී තිබෙනවා. ලංකාවට ආවේණික වලිකුකුළා, ගිරාමලිත්තා, හිස දුඹුරු දෙමලිච්චා, අලුකෑඳැත්තා, හීන් කොට්ටෝරුවා, හිස කළු කොණ්ඩයා වැනි පක්ෂීන් මෙම වනෝද්‍යානය ප්‍රදේශයේ වාසය කරනවා. තෙත්බිම් ආශ්රිත පක්ෂීන් අතර දියකාවා, ලතුවැකියා, කලපු කොකා, අලුපැස්තුඩුවා, තඹ සේරුවා වැනි සතුන් දකින්නට පුළුවන්.
මෙම වනෝද්‍යානයේ රංචු වශයෙන් අලි එකතු වන කාලයට සංචාරකයන් ද වැඩිපුර මෙහි යාම සිරිතක්. නමුත් වාහනවලින් කිට්ටුවටම ගොස් අලින් බලන්නට යාමෙන් ඔවුන්ගේ ස්වභාවික චර්යාවන්වලට බාධා ඇතිවන අතර එය ඔවුන්ගේ පැවැත්මට ද ගැටලුවක් වන බව සංචාරකයන් අවබෝධ කර ගැනීම වැදගත්.
ඉන්දු පෙරේරා