ඇමෙරිකාවේ ධවල මන්දිරය අසල පිහිටි ආරක්ෂක මුරපොලක (Checkpoint) වෙඩි තැබීම සිදුකළ සැකකරු මේරිලන්ඩ් ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි නසීර් බෙස්ට් (Nasire Best) නැමැත්තෙකු බව ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම තරුණයා දැඩි මානසික ආබාධවලින් පෙළී ඇති අතර, තමන් “ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර්තමාන පුනරුත්පත්තිය” යැයි විශ්වාස කර ඇත. සිද්ධියෙන් පසු ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ (Secret Service) නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරු, ජෝර්ජ් වොෂින්ටන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.සැකකරු ධවල මන්දිර ආරක්ෂක මුරපොලක් අසලට පැමිණ තම බෑගයෙන් රිවොල්වර වර්ගයේ ගිනිඅවියක් ගෙන ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර වෙඩි තබා ඇත. වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය තුළ රැඳී සිටි නමුත්, ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.මෙම වෙඩි හුවමාරුව අතරතුර අසල සිටි තවත් සිවිල් වැසියෙකුට ද වෙඩි වැදී බරපතළ තුවාල ලබා තිබේ මියගිය නසීර් බෙස්ට් නැමැති මෙම තරුණයා මීට පෙර ද කිහිප වතාවක්ම ධවල මන්දිර ආරක්ෂිත කලාපවලට ඇතුළු වීමට උත්සාහ කර රහස් ඔත්තු සේවයේ අත්අඩංගුවට පත්ව ඇති අයෙකි. එමෙන්ම ඔහුට ධවල මන්දිරය අසලට නොපැමිණෙන ලෙස පනවා තිබූ අධිකරණ නියෝගයක් ද පැවති බව ආරක්ෂක අංශ වැඩිදුරටත් අනාවරණය කරයි.