
ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර රාජ්‍ය බලයෙන් ඉවත් කර ඇත. මෙසේ ලියන මම ඥානසාර හාමුදුරුවන්ගේ බොහෝ හැසිරීම්වලට එරෙහිව අදහස් පළ කළ හා අදටත් ඒ මතයේම පිහිටා ඇති අයෙක් මි. මගේ අදහස උන්වහන්සේ සාධාරණ සටනක් අසාධාරණ ලෙස මෙහෙයවූ අයෙකු කියාය. ඒ නිසාම සටනේ සාධාරණත්වයට වඩා සටන් ක්‍රමයේ අසාධාරණත්වය ප්‍රචලිත විය. නමුත් ඒ සටන් ක්‍රමයේ අසාධාරණත්වයට උන්වහන්සේම අවසානයේ ගොදුරු වීම ගැන මට ඇත්තේ බලවත් කම්පනයකි. ඒ කම්පනය තියුණු බුද්ධියක්, මනා උගත්කමක්, මධුර මනෝහර හඬක්, අසාමාන්‍ය පෞරුෂයක්, නිර්භීත නායකත්වයක් සහිත වූ ඥානසාර හිමියන් බඳු භික්ෂූන් වහන්සේලා අතිශයින් කලාතුරකින් මිස පහළ නොවන නිසා ය.
උන්වහන්සේව බලෙන් සිවුරු අරවා ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ය. දැන් බන්ධනාගාරයට ස්ථිර කොමසාරිස් ජනරාල් කෙනෙකු නැති නිසා ඇත්තේ වැඩබලන කොමසාරිස් ජනරාල් කෙනෙකි. ස්ථිර කොමසාරිස් ජනරාල්ගේ නිල ඇඳුම ගැලෙව්වේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයයි. නිල ඇඳුම ගැලෙව්වා මදිවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් වැඩ කළේ ආණ්ඩුවේ සී.අයි.ඩී. යයි. ආණ්ඩුවේම නීතිඥයෙකු අධිකරණයේදීම ඒ කොමසාරිස් ජනරාල්ට අපහාස කළේ වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගියා කියා ය. අන්තිමේදී ඒ ස්ථිර කොමසාරිස් ජනරාල්ට ජොබත් නැත, පඩිත් නැත, නඩුත් නැත; ඔහු ගැන හඬකුත් නැත. දැන් සමාජය කළඹවන ප්‍රශ්නය වන්නේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ සිවුර ගැලෙව්වේ ඇයිද යන්නයි.

ගලගොඩඅත්තේ හාමුදුරුවෝ මෙදා බන්ධනාගාරගත වුණේ හිටපු ජනාධිපති කළ වරදක් නිසා ය. අනුන් කළ වරදකට වෙන කෙනෙකු හිරේට යන්න පුළුවන් කියා ඔප්පු කර පෙන්නුවේ අපේ ඥානසාර හාමුදුරුවෝය. උන්වහන්සේ කළ වරදකට හිරේ ගියේ 2018 වගේ ය. ඒ හිරදඬුවම් ඉවර කරන්න නොදී උන්වහන්සේව එළියට ගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදනයක් අනුව ජනාධිපති සමාව දීමෙනි. එදා ජනාධිපති සමාව නොදුන්නා නම් ඥානසාර හාමුදුරුවන්ට 2023/2024 දීවත් බයක් සැකක් නැතුව නිදහස් වන්නට හැකියාව තිබුණි. කෙසේ හෝ උන්වහන්සේගේ පූරුවේ කරුමයකටදෝ ජනාධිපති මෛත්‍රීපාලගේ පඬුපුල් ආසනය උණුවී උන්වහන්සේට සමාව දුන්නේය. දුන්නු සමාව නිවැරදිව දෙන්නට නොහැකි වීම ජනාධිපති සිරිසේන කළ වරදයි. කොහොමටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සද්භාවයෙන් කළ බොහෝ දේ කළේ වැරදියට ය. අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් විඳිමින් සිටි එස්.බී. දිසානායකට මහින්ද රාජපක්ෂ සමාව දුන්නේය; කවුරුත් ඊට එරෙහිව උසාවි ගියේ නැත. ඒ වරදම කළ රන්ජන් රාමනායක නම් නළු දේශපාලකයා හිරේ ගියේය, ඔහුත් එළියට ආවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ සමාවෙන් බව මතක ය. කවුරුවත් ඊට එරෙහි වුණේ නැත. ඒත් මෛත්‍රීපාලයි ගෝඨාභයයි දුන් ජනාධිපති සමාවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කට්ටිය හිටියේ ය. නිවටයන් දුටුවිට එළුවත් නිකට පානවාය කියන්නේ මේවාටදැයි සිතෙන්නේ ඒ වෙලාවට ය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එදා හිරදඬුවම් විඳිද්දී බන්ධනාගාරයෙන් පිටත උසාවිවලට ඉදිරිපත් කළේ සිවුර සහිතවය. එදාත් බන්ධනාගාර ආඥා පනත තිබුණේ දැන් තියෙන එකමය. බන්ධනාගාර රෙගුලාසි තිබුණේත් දැන් තියෙන ඒවාම ය. මේ ආණ්ඩුව ආවාට පස්සේ අලුත් බන්ධනාගාර පනතක් සම්මත කළේ නැත. දන්නා තරමට බන්ධනාගාර රෙගුලාසි, රීති හා නියෝගත් වෙනස් වුණේ නැත. එසේ නම් එදා අවුරුදු හයක සිරදඬුවමක් විඳිද්දී සිවුර පොරවාගෙන අධිකරණයේ සෙසු නඩුවලට රැගෙන ආ ඥානසාර හිමියන්ව මෙදා එසේ රැගෙන එන්න බැරිවුණේ ඇයිදැයි අර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් අහන්න කෙනෙක් සිටියේ නැති එක බලවත් අඩුවකි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක නම් කියන්නේ අවුරුදු තුනට වඩා බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳින අය බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුම ඇඳිය යුතුම බවය. එසේ නම් එදා ඥානසාර හිමියන් විඳිමින් සිටින්නට ඇත්තේ අවුරුදු තුනට අඩු දඬුවමක්දැයි ඇසුවා නම් මාධ්‍ය ප්‍රකාශකගේ මුඛ පූට්ටු වන්නට ඉඩ තිබුණි. උන්නැහེගේ ග්‍රහයා තාම හොඳ නිසා බේරෙන්නට හැකි විය.
කැබිනට් ප්‍රකාශක ඇමතිවරයාට අනුව ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට වෙනසක් කළේ නැත. ඒ නොකියා කිව්වේ ආණ්ඩුව හාමුදුරුවරුන් කාටත් බෙදන හැන්දෙන්ම ගලගොඩඅත්තේ හිමියන්ටත් බෙදූ බව ය. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්යවරු තුන්දෙනෙක්ම දියවඩන නිලමේවරයා විසින් පෞරාණික වස්තුවක් වන රජ්ජුරුවන්ගේ දළදා මහ කරඬුව හොර රහසේ ඉවත් කර මුදලාලි කරඬුවක දළදා වහන්සේ තැන්පත් කිරීම වරදක් බවට පැමිණිලි කළ වෙලාවේ ඔය කාටත් බෙදන හැන්ද තිබුණේ කොහේදැයි මාධ්‍ය ප්‍රකාශක ඇමතිගෙන් අහන්න කාටවත් මතක් වුණේ නැත. ඇහුවා නම් ඇමතිගේත් මුඛ පූට්ටු ය. ඒ ඇමතිවරයාත් සහිත ආණ්ඩුවට සිවුරත් සමඟ කඩේ යන ස්වාමීන් වහන්සේ නමක් ෆේස්බුක් (මූණුපොතේ) සටහන් කර තිබුණේ සියලු වැඩවසම් සංස්ථාවන්වල පරිවර්තනයන් සමාජ පරිවර්තනය අනුව සිදු වන බව භික්ෂු සංස්ථාව ද තේරුම් ගත යුතු බව ය. අප මෙතෙක් සිතා සිටියේ මෙරට ඇත්තේ ථේරවාදී එකම භික්ෂු සංස්ථාවක් කියාය. ඒ ස්වාමීන් වහන්සේගේ සමාජ මාධ්‍ය දැන්වීම දුටු විට පෙනෙන්නේ උන්වහන්සේ අයත් වන්නේ සමාජවාදී භික්ෂු සංස්ථාවට කියා ය. ඇතැම්විට උන්වහන්සේ සිතාගෙන ඇත්තේ බුදුන් වහන්සේ වැඩවසම් භික්ෂු ස්ථරයේ රදළ නායකයා කියා වන්නට ඇත. මෙරට සමාජවාදී භික්ෂු සංස්ථාවේ වත්මන් මහනායක වන්නේ කලවැල්ගල චන්දාකෝල හිමියන් ද, අනුනායක වන්නේ වකමුල්ලේ උදිත හිමියන්දැයි විමසා නිරීක්ෂණයක් යෙදීම හැර වෙන ප්‍රතිචාරයක් මට තිබුණේ නැත.
එදා 2018 දී සිවුරු පොරවා අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමියන්ව මෙදා එසේ ගෙන එන්නට බැරි වුණේ ඇයිදැයි කල්පනා කළ මට අවසානයේ යම් හේතුවක් හොයා ගන්නට පුළුවන් විය. එදා ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවන්නට එපායැයි කවුරුවත් ඉල්ලා සිටියේ නැත. මෙදා අපේ අග්‍රගණ්‍ය පඬි රුවනක් වන කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා මහා ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ උපසම්පදා භික්ෂුවක් විනයට අනුව සතර පාරාජිකාවලට අයත් නොවන වරදක් කළත් එකී භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම කළ හැක්ڪේ උන්වහන්සේ අයිති භික්ෂු නිකායේ මහනායක හිමියන්ගේ අනුමැතියෙන් පමණක් යැයි ලිඛිතවම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රූකඩ) ට දැනුම්දී තිබීම ඒ වෙනසයි.
කෝට්ටේ සංඝ සභාවේ විශේෂත්වය වන්නේ ආරම්භයේ සිටම බෞද්ධ ධර්ම විනය පිළිබඳ ප්‍රාමාණික උගත් භික්ෂූන් වහන්සේලා විසින් ඊට නායකත්වය දීමයි. අදටත් එහි ප්‍රාදේශීය නායක ස්වාමීන් වහන්සේලා පවා උපාධිධාරීහු වෙති. කාරක සංඝ සභාවේ මහතෙරවරු පශ්චාත් උපාධි සම්පූර්ණ කළ ධර්ම විනය පිළිබඳ මහා දැනුමක් ඇත්තෝය. අතිඋතුම් මහනායක ධුරය හොබවන්නේ සිය ආචාර්ය උපාධිය ඒ සඳහා වූ පර්යේෂණවලින් පසු කරන ලද නිබන්ධනයකට ලද ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ ය. කෝට්ටේ සංඝ සභාව ආරම්භ කළ පුරෝගාමී නාහිමිවරුන් පස්දෙනාම දේශදේශාන්තරවල ප්‍රචලිත මහා උගත්තු වූහ. ඒ ගණාචාර්ය බෙන්තර අත්ථදස්සි, වලානේ සිද්ධාර්ථ, මලිගස්පේ මංගල, පැපිලියානේ ශීලවංශ, පානදුරේ සුමංගල යන ස්වාමීන් වහන්සේලා ය. කෝට්ටේ සංඝ සභාවේ එදා සිට අද දක්වා සිටි මහනාහිමිවරු සියල්ලෝම සාසනය බැබළූ මහා උගත්තු වූහ. ඒ මහා ස්වාමීන් වහන්සේලා අනුගමනය කළ සම්ප්‍රදායට අනුව සිය සංඝ සභාවේ නායකත්වයට උගතුන් පත්කර ගනිමින් අඛණ්ඩව සංඝ සසුන බබුළුවන කෝට්ටේ සංඝ සභාව නියෝජනය කරමින් අනුනාහිමියන්ගෙන් ලද මේ දැනුම්දීමට ගරු කිරීම රාජ්‍ය පාලකයින් විසින් කළ යුතුව තිබිණි.
ඇතැම් අන්‍යාගමික නායකයන්ගේ ඔළු තුළ පහළ වූ මහමොළකරුවන් සොයමින් රටට දිවි පරදුවට තබා සේවය කළ කීර්තිමත් බුද්ධි අංශ නායකයෙකු රැඳවුම් නියෝග මත රඳවා හිරිහැර කරන ආණ්ඩුවකට කොටපිටියේ රාහුල අනුනාහිමියන් කළ කාරුණික ඉල්ලීමට සවන්දෙන්න ඉඩක් නැතැයි පිළිගත නොහැක. උන්වහන්සේ ඥානසාර හිමියන්ට සමාව දෙන්නැයි රජයෙන් ඉල්ලුවේ නැත. බෞද්ධ සාසනික විනයට අනුව වැදගත් කරුණක් පෙන්වා දී නිසි මග පෙන්වීමක් ද කරමින් කාරුණික ඉල්ලීමක් කළා පමණි. ඒ ඉල්ලීම නිසා කිසිවෙකුට අයුක්තියක් අසාධාරණයක් සිදු නොවේ. අඩු තරමින් වෙනත් නඩුවක චෝදිතයෙකු ලෙස රැගෙන එද්දිවත් ඥානසාර ස්වාමීන් වහන්සේට චීවරය පොරවාගෙන එන්නට ඉඩ දෙන්නට කිසිදු නීතිමය බාධාවක් තිබුණේ යැයි මේ රටේ සාධාරණ කිසිවෙක් විශ්වාස නොකරති. දළදා පෙරහැරේ කොඩි ගෙන යන, නිදහස් දින පෙළපාලියේ කොඩි ගෙන යන, වෙසක් දිනට මහජනයා ඉදිරියේ භක්ති ගීත ගයන, ඇතැම් විශේෂ අවස්ථාවල නර්තන සංදර්ශනවල නටන බන්ධනාගාර රැඳවියන් ජම්පර් ඇඳගෙන ඒවා කරනු අප දැක නැත. ඒ අවස්ථාවට උචිත ඇඳුමක් ඇඳීමට රැඳවියන්ට ඉඩ දුන් බන්ධනාගාර කොමසාරිස්ට බැරි වුණේ තමන් භාරයේ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට චෝදිතයෙකු ලෙස උසාවියට ඉදිරිපත් වීමේදී සිවුර පෙරවීමේ අවසරය දෙන්නට ය. බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දෙන්නේ මේ අන්දමට ය. ඒකවත් බැරිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාව තිබීමෙන් වෙන්නේ ජාත්‍යන්තරයෙන් යැපෙන එන්.ජී.ඕ. කාරයින්ගේ විවේචනයට මෙරට බුද්ධ ශාසනයත් බෞද්ධයාත් ලක්වීම පමණි.
සුනිල් කන්නගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති