හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් විසින් ඊයේ (7) පෙරවරුවේ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.අල්ලස් කොමිසමේ විමර්ශනයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිරිලිය සවිය සංවිධානයට අදාළ ගිණුමක සිදු වූ බව කියන මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙනි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් එම සංවිධානයට ලබාදීමේදී මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවට ද විමර්ශනයක් සිදු කෙරෙයි.විමර්ශනවලදී එම මුදල් ළමා රෝහලක් සඳහා PET ස්කෑනරයක් මිලදී ගැනීම වෙනුවෙන් එකතු කළ පරිත්‍යාග මුදලක් බවට සඳහන් වී ඇති අතර, එම උපකරණය වෙනත් පාර්ශ්වයකින් පරිත්‍යාග කර තිබියදීත් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන්ද විමර්ශකයන් අවධානය යොමු කර තිබේ. කෙසේ වෙතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එම මුදල් අවභාවිත කර නොමැති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත.මෙම සිද්ධියට අදාළව එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් කාරියවසම් මහතාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔහු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥවරුන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා තිබිණි. එහෙත් අධිකරණය ඇය ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, ඇයගේ ඇසට අදාළ ප්‍රතිකාරයක් සඳහා අද (8) නාවලෝක රෝහලට රැගෙන යන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 5 වැනිදා විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ඔක්තෝබර් 13 වැනිදා පෙනී සිටින ලෙසද ඇයට දැනුම් දී තිබූ බව වාර්තා වේ.