එක්සත් ජාතීන්ගේ සාමසාධක පොලිස් රාජකාරි සඳහා හයිටි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමකට උපදෙස් ලබා දීම සහ සුභාශිංසන පිරිනැමීම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ සිදු කර තිබේ.
මෙම විශේෂ උත්සවය කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී සංවිධානය කර තිබූ අතර, එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පොලිස්පතිතුමන්ව අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිළිගෙන තිබේ.
අනතුරුව එතුමා සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන නිලධාරීන් අමතමින් සිය වටිනා උපදෙස් ලබා දුන් අතර, නිලධාරීන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි බව සඳහන්.මෙම පිරිස කණ්ඩායම් තුනක් යටතේ හයිටි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර ඉන් කණ්ඩායම් දෙකක් මේ මාසය තුළදීත්, අනෙක් කණ්ඩායම එළඹෙන නොවැම්බර් මාසයේදීත් දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.
මෙවර සාමසාධක මෙහෙයුම් සඳහා එක්වන පිරිසට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 174 ක් සහ පොලිස් වෛද්‍ය කොට්ඨාසයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ඇතුළත්.
එම නිලධාරීන් කණ්ඩායමට පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 03ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 04ක්, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 02ක්, පොලිස් පරීක්ෂකවරුන් 17ක්, කාන්තා පොලිස් පරීක්ෂකවරියක්, උප පොලිස් පරීක්ෂකවරුන් 11ක්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 02ක්, පොලිස් සැරයන්වරුන් 78ක්, කාන්තා පොලිස් සැරයන්වරියන් 08ක්, පොලිස් සැරයන් මේජර් රියදුරන් 02ක්, පොලිස් සැරයන් රියදුරන් 07ක්, පොලිස් කොස්තාපල්වරුන් 38ක්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 04ක් සහ පොලිස් කොස්තාපල් රියදුරන් 07ක් යනාදී වශයෙන් විවිධ නිලයන් නියෝජනය කරන නිලධාරීන් පිරිසක් අයත් වෙයි.