හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, ඇයට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර ඇත.‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන පරිදි, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව CIDය විසින් නීතිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.චෝදනා එල්ල වී ඇත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය වෙනුවෙන් රු. මිලියන 16.6ක රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධයෙනි. මෙම මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මූලිකව එල්ල වී ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ටය.කෙසේ වෙතත්, මෙම බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව පොදු දේපළ පනත යටතේ අපරාධකාරී ලෙස මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමේ හැකියාව පිළිබඳව CIDය මේ වන විට තවදුරටත් විමර්ශනය කරමින් සිටියි.1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ රාජ්‍ය දේපළ හෝ මුදල් අවභාවිත කිරීම, සාවද්‍ය ලෙස පරිහරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. වරදකරු වුවහොත් වසර 20ක් දක්වා සිරදඬුවම් හා දඩ නියම කළ හැකිය.මෙම විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද CIDය අපේක්ෂා කරන බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.මෙම නඩුව ලබන සඳුදා, එනම් 2026 ජූනි මස 8 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතය.