විගණකාධිපති ධුරයට ජනපති ගෙන් තවත් නමක්

මාස දහයක පමණ කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බැවින් එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා පැවසීය.මේ අතර නව ව්‍යවස්ථාදායක සභාවේ දෙවන රැස්වීම හෙට දිනයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.මේ අතර පුරප්පාඩු පවතින රජයේ විගණකාධිපති තනතුරට විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම හා පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙස ඉල්ලමින් මහනායක හිමිවරු පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණ.විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු විගණකාධිපති ලෙස පත්කිරීම යෝග්‍ය බවත් පිටස්තර අයෙක් එම තනතුර සඳහා පත්කිරීම යෝග්‍ය නොවන බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත එම ලිපිය මගින් කරුණු දක්වා තිබේ

කාලීන පුවත්