මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCLS)ට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.යෝජනාවට අනුව, සංශෝධිත ගාස්තු අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරේ.යෝජිත සංශෝධනය යටතේ, ඒකක 0–30 සඳහා ගාස්තුව ඒකකයකට රු. 4.50 සිට රු. 5.11 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර, ඒකක 31–60 සඳහා අනුපාතය රු. 8.00 සිට රු. 9.08 දක්වා ඉහළ යෑමට නියමිතය.දැනට රු. 18.50ක් වන ඒකක 61–90 සඳහා ගාස්තුව රු. 21.01 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.ඒකක 91–120 සඳහා, පවතින රු. 24.00 අනුපාතය රු. 27.25 දක්වා සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, ඒකක 121–180 සඳහා ගාස්තුව ඒකකයකට රු. 41.00 සිට රු. 46.56 දක්වා වැඩි කිරීමට නියමිතය.ඒකක 181 ඉක්මවන පරිභෝජනය සඳහා රු. 61.00 සිට රු. 69.27 දක්වා ගාස්තුව වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.මෙම යෝජනාව දැනට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සමාලෝචනය කරමින් පවතින අතර, ඔවුන් නව විදුලි ගාස්තු ව්‍යුහය අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීරණය කරනු ඇත.
නමුත් මේ වන විට පවත්නා අයහපත් ආර්ථික වාතාවරණය යටතේ විදුලි බිල ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශව වෙතින් විරෝධය පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් තබා තිබේ.
“ලං.වි.ම. විසින් දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව යළිත් වරක් අනුර කුමාර දිසානායක විසින් මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළ විදුලි ගාස්තු 33%කින් අඩු කරන බවට වූ මැතිවරණ පොරොන්දුව සෘජුවම උල්ලංඝනය කරන්නක් වේ. දිගින් දිගටම මෙසේ ජනතාව බොරුවෙන් රැවටීම නතර කොට අනුර කුමාර දිසානායක මෙම පොරොන්දුව ඉටු කරන්නේ කවදාද?”යනුවෙන් එහි සඳහන් ය.