“සුනඛයෝ කතා කරති.මුත් සවන් දීමට දන්නා අයට පමණි”( Dogs do speak. But only to those who know how to listen ) මේ නොබෙල් සම්මාන ලාභී තුර්කු නවකතා කරු ඔර්හාන් පමුක් ලියූ මගේ නම රතු(My name is Red ) නම් විශ්ව සම්භාවිත නව කතාවේ එන ලෝක ප්‍රකට වදනකි.එම නව කතාව මේ වන විට භාෂා හැට තුනකට පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන දහතුනක් ඉක්මවා අලෙවි වී තිබේ. මෙම ලිපිය සඳහා ඉහත සඳහන් පෙර වදන ලිවීමට අපට සිත් වූයේ විහාර මහාදේවී උද්‍යානය තුළ සුනඛයින්ට ආහාර ලබාදීම තහනම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇති පසුබිමක ය.නව නීතිය අනුව උද්‍යාන කළමනාකාරිත්වය උද්‍යානයේ සියළුම ප්‍රදේශ තුළ ආහාර සැපයීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. එසේ කිරීමට උත්සාහ කරන අයට වාචික අනතුරු ඇඟවීම් පවා ලබා දෙනු ඇත.“මහජනතාවට බාධාවක් නොවන අයුරින් සුනඛයන් පෝෂණය කළ හැකි වන නම් කළ ස්ථාන වෙන් කරන ලෙස මම නිර්දේශ කර තිබෙනවා”කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය වෛද්‍ය එම් ඉජාස් පවසයි.උද්‍යානයට පැමිණෙන පිරිස් අසීමිත ලෙස සුනඛයින්ට ආහාර ලබාදීම මහජන හිරිහැරයක් බවට පත් ව ඇති බව පවසන වෛද්‍ය ඉජාස් සුනඛයින් බොහෝ විට උද්‍යානයේ පොකුණුවල සිටින තාරාවන් සහ පාත්තයින් ලුහුබඳින බව ද පවසයි.බොහෝ අය වාහනවලින් පැමිණ උද්‍යානය තුළ සහ නගර ශාලාව ප්‍රදේශයේ සුනඛයින්ට ආහාර සැපයීම සඳහා අසල ඇති අවන්හල් වලින් ඉතිරි වන ආහාර රැගෙන එන බව ද වෛද්‍ය ඉජාස් කියයි. නමුත් ඔහු පවසන සුනඛයින්ට ආහාර සැපයීම සඳහා නම් කරන ලද ඉඩක් වෙන් කරන ප්‍රදේශය කුමක්ද? සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න පැහැදිලි නැත.කෙසේ වෙතත්, නගර සභාවේ ඉඩම් කළමනාකරණ සහ පාරිසරික සංවර්ධන අධ්යක්ෂ කයිලායාර් රමේෂ් පැවසුවේ අයාලේ යන සුනඛයන් නියමිත ස්ථානවල රැඳී නොසිටින බැවින් ඉඩ වෙන් කිරීමේ සැලැස්ම සාර්ථක නොවන බවයි. “ උද්‍යානය ආශිතව සුනඛයන් තිස් පහක් පමණ ජීවත් වෙනවා.අපි ඔවුන් පෝෂණය කරනවා” වසර විසි පහක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සත්ව සුභසාධන සංවිධානයක මුල් පෙළේ ක්‍රියාකාරිනියක වන අනුෂා ඩේවිඩ් පවසයි. ඇය වැඩිදුරත් පවසන්නේ ද උද්‍යානයෙන් පිටත සුනඛයන්ට කෑම දීම තේරුමක් නැති බවයි. වසර දහයක් පුරා උද්‍යානය තුළ සිටින සුනඛයින්ට ආහාර ලබා දීමේ දී තමන් කිසි දිනෙක සුනඛයකු යම් පුද්ගලයෙකු, තාරාවෙකු හෝ පාත්තයෙකු එළවා දමනු දැක නොමැති බව ද ඇය කියයි. “කොළඹ මහ නගර සභාව අපිත් එක්ක සංවාදයක් පවත්වන්න කැමති නම් මේකට සැබෑ විසඳුම තීරණය කරන්න පුළුවන්. මොකද පැහැදිලිවම නගර සභාවේ තීරණ ගන්න අය සත්තු ගැන කිසිම දෙයක් දන්නෙ නෑ,” ඇය සඳහන් කරයි.අනුෂා ඩේවිඩ් ගේ මෙම ප්‍රකාශය ඒකාන්ත සත්‍යයකි.අපි ඒ බවට සහතික වන්නෙමු.අප රටේ පශු වෛද්‍යවරු සත්ව චර්යා සහ සත්ව විද්‍යා (Ethology/Animal science) යන නවීන විෂය පථයන් හදාරා නැත.ඔවුන් අදටත් හදාරනුයේ දහ නව වන සියවසේ ඉංග්‍රීසින් විසින් මෙරටට හඳුන්වා දෙන ලද පශු සම්පත් හා සත්ව නිෂ්පාදන කේන්ද්‍රීය යල් පැන ගිය පශුවේදය පමණි.නමුත් නූතන පශු වෛද්‍ය වරුන් අතුරින් යම් ප්‍රමාණයක් ස්වෝත්සාහයෙන් ඉහත සඳහන් නූතන විෂය පථයන් අධ්‍යයනය කොට ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා ගෙන හිඳිති.ඊට අමතර පශු වෛද්‍ය වරුන් නොවන සත්ව අහිංසාවාදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන් සමහරෙක් ද මෙම විෂය දැනුමින් මනාව සන්නද්ධ වී හිඳිති.අනුෂා ඩේවිඩ් කොළඹ මහ නගර සභාවට කරන ඒ ආරාධනය හෝ අභියෝගය සුනඛ චර්යා පිළිබඳ ඒ නවීන දැනුම් අවබෝධයන් පදනම් කොට ගත් එකක් බව නිසැක ය. ඒ පසුබිම යටතේ පසුගිය මාර්තු 09 වන දා “දිවයින” පුවත් පතේ කතු වැකිය ද මේ පිළිබඳ අවධානය යොමු කොට තිබිණ.එහි මෙසේ දැක්වෙයි.
.”විහාරමහාදේවි උද්‍යානය තුළ අයාලේ යන සුනඛයින්ට කෑම දීම තහනම් කර තිබේ. මේ තීන්දුව කව්රු ගත්තත් එයට නගරාධිපති රෝසි සේනානායක වගකිව යුතු ය. කට ඇරියොත් බුද්ධාගම කට දෙපැත්තෙන් පෙරෙන රටක අයාලේ යන සතුන්ට ආහාර දීම තහනම් කිරීම ඉතාම අමානුෂික, ම්ලේච්ඡ, බූරු වැඩකි. මෙසේ කෑම දීම තහනම් කිරීමෙන් පසු බඩගිනි වූ අවස්ථාවලදී නගරාධිපති රෝසි සේනානායකගේ ගෙදර වැටලීමත් මේ තීරණයට උල්පන්දම් දුන් හෝ මේ තීරණයෙහි නිර්මාතෘ විය හැකි හෝ කොළඹ නගර සභාවේ පශු වෛද්‍ය එම්. ඉජාස් නමැති පුද්ගලයාගේ ගෙදර යන ලෙසත් අපට සුනඛයන්ගෙන් ඉල්ලිය හැකිය. එහෙත්, මහත් සේ කෙලෙහි ගුණ ඇති ඒ වුණාට හිතන්නට තරම් මොළයක් නැති කතා කිරීමට භාෂාවක් නැති සුනඛයන්ගෙන් එය ඉල්ලීම කිරීමෙන් පලක් නැත. විහාරමහාදේවි උද්‍යානයට පැමිණෙන අයාලේ යන අසරණ සුනඛයන්ට ආහාර දීමෙන් මහජනයාට හිරිහැරයක් ඇතිවන බව ඉජාස් දොස්තරගේ මතය බව දැන ගන්නට තිබේ. බල්ලන් බොහෝ විට උද්‍යානයේ පොකුණුවල සිටින තාරාවන් සහ පාත්තයින් ලුහුබඳින බව දොස්තර ඉජාස් කියනවාලු. ඒ තමයි සුනඛයන්ගේ විදිය. බල්ලන් කෙරෙහි වෛරයෙන් ජීවත්වීම තමයි සමහර පුද්ගලයන්ගේ විදිය. බල්ලා, පාත්තයා, තාරාවා යන සියලු දෙනාම ස්වභාව ධර්මයේ කොටස් වෙති. “බල්ලන්ට කන්න දෙන්න එපා” යැයි කීමෙන් අදහස් වෙන්නේ ස්වභාව ධර්මයේ කොටසක් නිරාහාරව තැබීම ය. බල්ලන් මරා උන්ගේ ලේ දැකීමේ සතුටක් කොළඹ නගර සභාවේ සමහරුන් තුළ එදා සිටම තිබිණ. එහෙත්, එවැනි කෲර සහ වනචාරී නාමයක් ඇඟේ ගා ගැනීමට දැන් නගරාධිපති රෝසි සේනානායකට සිදුවී තිබේ. අයාලේ යන බල්ලන්ට ආහාර ලබාදීම සඳහා වෙනම තැන් වෙන්කර දිය යුතු බව ඉජාස් දොස්තර පවසා තිබේ. සුනඛයන් කිසියම් තැනකට එක්රැස් කර කෑම දීමට පුරුදු කළ හැකි යැයි අපි සිතමු. එසේ කෑම කෑමෙන් පසු ඊළඟ කෑම වේල එනතෙක් පොතක් පතක් කියවීම හෝ ටී.වී. එකක් බැලීම හෝ සුනඛයෝ නොකරති. එබැවින් ආහාර ගෙන නිමවූ සැණින් උන් ආපසු දිව යන්නේ තමන්ට හුරුපුරුදු විහාරමහාදේවි උද්‍යානයටම ය. සමහරවිට සුනඛයන්ට කෑම දීම තහනම් නොවුනොත් කොළඹ නගර සභාව ඒ අසරණ සතුන්ට වස දීමට ඉඩ තිබේ. මෙයට කලකට පෙර කොළඹ නගර සභාවේ සිටි බලු දොස්තරලා (මෙය පශු වෛද්‍යවරයාට කියන සාමාන්‍ය නමය) අයාලේ යන සුනඛයන් මැරීමට මහත් උනන්දුවෙන් කටයුතු කළහ. එකල බැලූ වෑන් එක නමැති වෑන් එකක් නගර සභාවට තිබිණ. සමහරවිට මෙය අදටත් ඇති. නගර සභා සේවකයන් නගරය පුරා යමින් තොන්ඩුවක් දමා අයාලේ යන සුනඛයන් අල්ලා මේ වෑන් එකට දමාගෙන ගොස් විෂ වායුවක් ගසා බල්ලන් මැරීමේ සිරිතක් තිබිණ. 2005 දී මේ රටේ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ එය තහනම් කළේය. සුනඛ ගහනය අඩු කිරීම සඳහා සුනඛ ධේනුවන් සැත්කමකට භාජනය කර උන්ගේ ප්‍රජනන පද්ධතිය අක්‍රිය කිරීමේ වැඩපිළිවෙළක් විය. එසේම ජලභීතිකා රෝගය වළක්වාලීම සඳහා සුනඛයන්ට බෙහෙත් එන්නත් කරන ලදී. මේ සියලුම වැඩ මානුෂිකත්වයේ කොටස් ය. ඉජාස්ට හෝ රෝසිට කන්න දෙන්න එපා යැයි කව්රුවත් කිව්වොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? අනෙක අයාලේ යන සුනඛයන්ට ආහාර දීමට තැනක් වෙන්කිරීම සමාන වන්නේ ගෝඨාභය රාජපක්ෂ උද්ඝෝෂකයන්ට පරණ පාර්ලිමේන්තු ඉදිරිපිට පර්චස් 8 ක පමණ බිමක් වෙන්කරදීම හා සමාන ක්‍රියාවකට ය. සුනඛයන් නිරාහාරව තබා උන්ට මරණය ළඟා කරදීමේ වැඩපිළිවෙළ නවත්වන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු. ලෝක ප්‍රජාව සත්ව අහිංසාව කෙරෙහි මහත් උනන්දුවෙන් කටයුතු කරයි. ඉජාස් දොස්තර සහ රෝසි සේනානායක කුසගින්නේ තබා සුනඛයන් මරණ බව ලොව පුරා පැතිර ගියොත් එයින් වැඩිපුරම කෙලවෙනු ඇත්තේ පිට රටින් ණය ගනිමින් සිටින රජයට ය. මේ රටේ අයාලේ යන සුනඛයන්ගේ ජීවිත රැඳී පවතින්නේ තිරිසන් සතුන්ගේ සුබ සාධන පිළිබඳ කටයුතු කරන වැදගත් මිනිසුන්ගේ සංගම් නිසා ය. මේ තත්වයට අපේ රට සතුන් ගැන සිතන අහිංසාවාදී ක්‍රමවේදයට මඩගැසීමට තැත් කරන අය ආණ්ඩුව මගින් හඳුනාගනු ලැබිය යුතු ය. ඒ අතරම ඉජාස්ට සහ රෝසිට අහිංසාවාදී යහපත් සිතුවිලි ලැබේවා! වැඩක් නැති වෙලාවක යුරෝපයේ ජනයා සුනඛයන්ට සලකන ආකාරය ගැන අන්තර්ජාලයෙන් සොයාබලන ලෙස අපි මේ රටේ බලු දොස්තරලාගෙන් ඉල්ලමු”(උපුටා දැක්වීම අවසන්) සුනඛයන් යනු වාස කලාප කේන්ද්‍රීය සත්ව කොට්ඨාශයකි.(Territorial animals ) ඔව්හු නිරතුරුවම තමන් හට උරුම වාස කලාප වල ජීවත් වෙති.ඒ අනුව විහාර මහා දේවි උද්‍යානයේ ජීවත් වන සුනඛයන්ට වෙනම තැනක “භෝජනාගාර සීමාවක්” වෙන් කිරීමේ යෝජනාව හුදු විහිළුවක් පමණි.අනෙක විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේ ජීවත් වන සියළු සුනඛයන් ජල භීතිකා එන්නත ලබා දී ඇති අතර ගැහැණු සතුන් වන්ධ්‍යාකරණ සැත්කම් වලට ලක් කොට තිබේ.ඒ අනුව කොළඹ මහ නගර සභාවේ ඉහත සඳහන් තීරණයට ඉහළින් කාටත් පෙනෙන සේ එල්ල තැබිය යුතු වැකියක් ද අපි දක්වමු.එනම්”සෑම වීදි සුනඛයකුටම සමාජීය වටිනා කමක් නොතිබිය හැක.නමුත් ඒ සෑම සුනඛයකුටම මානව සංහතිය හා බැඳී ජීවත් වීමේ ස්වාභාවික උරුමයක් සහිත ජීවිතයක් තිබේ” යන්න ය. හේමන්ත රන්බණ්ඩාර