සජිත්ගෙන් තිරසර වනඅලි සංරක්ෂණ වැඩපිළිවෙළකට මුල පිරේද?- හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ, ව්‍යාපෘති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානය


ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය පිළිබඳ ප්‍රබල ජාතික සංවාදයට නව මානයක් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ නම් ක්‍රියාන්විතයක් ආරම්භ කොට තිබේ. මෙය කාගේත් විශේෂ අවධානයට ලක්විය යුතු සිදුවීමකි. මෙහි මූලික අරමුණ වී ඇත්තේ ඉකුත් ඔක්තෝබර් 16 වැනිදා සියඹලන්ගමුව වැව් රක්ෂිතය ආශ්‍රිත කුඹුරු යායකදී ඛේදජනක ලෙස මියගිය කාවන්තිස්ස නමැති දැවැන්ත දළ ඇතාගේ මරණය හුදු ශෝකජනක සිදුවීමක් ලෙස අමතක නොකර, එය මෙරට වනඅලි සංරක්ෂණය සඳහා පුළුල් වැඩපිළිවෙළකට පරිවර්තනය කිරීම බව පෙනේ.

නමුත් බැලූ බැල්මටම මෙය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම දේශපාලන ප්‍රතිරූපය ඔප් නංවා ගැනීමේ අරමුණින් සිදු කරනු ලද්දක් සේ යමකුට පෙනී යා හැක. කාවන්තිස්ස හස්තියාගේ අවසන් මොහොතේ ඔහු වැටී සිටි කුඹුරු යාය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස එහිදී පළ කළ සංවේදී හැසිරීම් ද ඇතැම් සමාජ මාධ්‍යකරුවන් දැඩි උපහාසයට ලක් කොට තිබෙනු අපි දුටුවෙමු. එහෙත් අපගේ දැනුම් අවබෝධයන් අනුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලන භූමිකාව පසෙක තබා, ඔහු වන සතුන් කෙරෙහි අසීමිත දයානුකම්පාවක් දක්වන හා පරිසර විෂය සම්බන්ධයෙන් විද්වත් මට්ටමේ දැනීමක් සහිත ශ්‍රී ලාංකිකයෙකි.

කෙසේ වෙතත්, මෙහිදී මතුවන වැදගත්ම ප්‍රශ්නයක් ද තිබේ. එනම් කාවන්තිස්ස ඇතාගේ නමින් ආරම්භ වන මෙම වැඩපිළිවෙළ තවත් හුදු අනුස්මරණ ව්‍යාපෘතියක් බවට පත්වන්නේද, නැතහොත් ශ්‍රී ලංකාවේ වනඅලි සංරක්ෂණයට අදාළ ප්‍රායෝගික හා තිරසර ජාතික වැඩපිළිවෙළක ආරම්භක පියවරක් බවට පත්වන්නේද යන්නයි. එය තීරණය වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර, වෙන් කෙරෙන සම්පත්, විද්‍යාත්මක පදනම සහ අඛණ්ඩ වගකීම් පද්ධතිය මත මිස සමාරම්භක උත්සවය හෝ ඉදිරිපත් කරන යෝජනා ප්‍රමාණය මත නොවේ.

මීට දශක කිහිපයකට ඉහත මහ ඇතා ලෙස ප්‍රදේශවාසීන් අතරේ ප්‍රකටව සිටි කාවන්තිස්සට ඒ නම යොදා ඇත්තේ ද සජිත් ප්‍රේමදාස විසින්ම බව ගල්ගමුව ආරංචි මාර්ගද තහවුරු කොට තිබේ.

කාවන්තිස්ස ඇතු වැටී සිටි අයුරු
කාවන්තිස්ස ඇතු වැටී සිටි අයුරු

කාවන්තිස්ස යනු ශ්‍රී ලංකාවේ උසින් සහ ශරීර ප්‍රමාණයෙන් සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටි දළ ඇතෙකි. අඩි 11.2ක් පමණ උසින් යුක්ත වූ ඔහුගේ බර කිලෝග්‍රෑම් 5,400ක් පමණ වූ බවත්, දළ මීටර් 2.5ක් පමණ දිගින් යුක්ත වූ බවත් වාර්තා වී තිබේ. ගල්ගමුව, මීගලෑව, සියඹලන්ගමුව සහ කහල්ල-පල්ලෙකැලේ රක්ෂිත ආශ්‍රිතව සැරිසැරූ මෙම ඇතා එම ප්‍රදේශයේ වනඅලි රංචුවක නායකත්වය ද හෙබවූ සත්වයෙකි.

2026 සැප්තැම්බර් 20 වැනිදා ඔහු ඊට පෙර දකුණු ඉදිරි පාදයේ වෙඩි වැදීමෙන් සිදුවූ තුවාලයක් සහිතව සොයාගෙන තිබිණි. ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායමක් සැප්තැම්බර් 24 වැනිදා සිට ප්‍රතිකාර ආරම්භ කළේය. එහෙත් ප්‍රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස ඔක්තෝබර් 16 වැනිදා සියඹලන්ගමුව ප්‍රදේශයේ කුඹුරකදී මිය යාමත් සමඟ ඒ හා සම්බන්ධ ජාතික කතිකාවක් ඇති විය.

මෙම මරණය එක් සුවිශේෂී වන අලියකුගේ ජීවිතය අහිමි වීමක් පමණක් නොවේ. එමඟින් දළ ඇතුන්ගේ ආරක්ෂාව, වනඅලි වාසස්ථානවල සුරක්ෂිතභාවය, වනජීවී අපරාධ වැළැක්වීම සහ තුවාල ලබන සතුන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් පවතින අඩුපාඩු පිළිබඳවද එය නැවත අවධානය යොමු කොට ඇත.

ගල්ගමුවේ ඇත් පිළිරුව
ගල්ගමුවේ ඇත් පිළිරුව

සජිත් ප්‍රේමදාස විසින් ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ යටතේ යෝජනා වී ඇති ප්‍රධාන අංග තුනක් තිබේ. ඒවා නම් කාවන්තිස්සගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ඉදිකිරීම, වනඅලි පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ වනජීවී සංරක්ෂණයට අදාළ විශේෂිත පුස්තකාලයක් ස්ථාපිත කිරීමය.

මෙම වැඩපිළිවෙළ සඳහා යෝජනා කර ඇති භූමිය පිහිටා ඇත්තේ ඒ-28 දරන පාදෙණිය-අනුරාධපුර රාජධානී පිවිසුම ප්‍රධාන මාර්ගයට යාව පිහිටි අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ආශ්‍රිතව ය. එය හැඳින්වෙන්නේ ඔහුගේ පියාණන් වන අභාවප්‍රාප්ත ජනාධිපති ආර්. ප්‍රේමදාසයන් හට අයත්ව තිබූ වතු පරිශ්‍රයක් ලෙසය. මෙහි විශේෂත්වය වන්නේ කාවන්තිස්ස නායකත්වය දැරූ කහල්ල-පල්ලෙකැලේ වනඅලි රංචුව නිතර ගැවසෙන භූමි ප්‍රදේශයට එය සමීපව පිහිටීමයි. සියඹලන්ගමුව වැව් රක්ෂිතය, කහල්ල-පල්ලෙකැලේ වන රක්ෂිතය සහ ඒ අවට ගම්මාන අලි-මිනිස් ගැටුම උග්‍රව පවතින ප්‍රදේශ අතරට අයත් වීමද මෙහි වැදගත්කම තීව්‍ර කරයි.

මෙම ව්‍යාපෘතියේ දෘශ්‍යමාන සංකේතය වන්නේ කාවන්තිස්ස ඇතාගේ සැබෑ ශරීර ප්‍රමාණයට සමාන ප්‍රතිමාවකි. නමුත් කොන්ක්‍රීට් හෝ වෙනත් සුදුසු කල් පවතින මාධ්‍යයක් යොදාගෙන ඉදිකිරීමට යෝජිත මෙම ප්‍රතිමාව හුදු අලංකාර ස්මාරකයක් ලෙස පමණක් නොසැලකිය යුතු ය. එය මෙරට දළ ඇතුන්ගේ ජීව විද්‍යාත්මක හා පාරිසරික වටිනාකම පිළිබඳව අනාගත පරපුරට කියාදෙන අධ්‍යාපනික සංකේතයක් බවට පත්කළ හැකිය. එමෙන්ම වන අලියකුගේ ජීවිතය මිනිස් ක්‍රියාකාරකම් හමුවේ කෙතරම් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබේද යන්න සිහිපත් කරවන ස්මාරකයක්ද විය හැකිය.

මෙම යෝජනාවේ අතිශය වැදගත් අංගයක් වන්නේ වනඅලි පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි. මෙරට වනඅලි සංරක්ෂණය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පවතින ගැටලුවක් වන්නේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය විද්‍යාත්මක දත්ත සහ ඒවායේ අඛණ්ඩ භාවිතය අතර පවතින පරතරයයි.

යෝජිත පර්යේෂණ මධ්‍යස්ථානය තුළ දැනට යෝජනා වී ඇති වනඅලින්ගේ හැසිරීම් රටා, සමාජ සම්බන්ධතා සහ රංචු ව්‍යුහයන් අධ්‍යයනය කිරීම, ජී.අයි.එස්. (GIS) තාක්ෂණය ඇසුරින් වනඅලින්ගේ සංක්‍රමණික මාර්ග සිතියම්ගත කිරීම, කහල්ල-පල්ලෙකැලේ වනඅලි රංචුවේ ගහන ගතිකත්වය අධ්‍යයනය කිරීම, විදුලි වැටවල් සහ වෙනත් ආරක්ෂක ක්‍රමවේදවල සාර්ථකත්වය විද්‍යාත්මකව ඇගයීම, අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව විසඳුම් පර්යේෂණය කිරීම සේම වන අලින් හා බැඳුණු දනක බණ්ඩාර දේව විශ්වාසය ආදී ජන සංස්කෘතිකාංග ගවේෂණය ද එක් කිරීම මෙම ක්‍රියාන්විතයේ පරිපූර්ණත්වයට හේතු වනු ඇත.

විශේෂයෙන්ම මෙහි දී වන අලි ඇතුන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග නිවැරදිව හඳුනාගැනීම වැදගත්ය. වනඅලියකුට තමන් පරම්පරා ගණනාවක් තිස්සේ භාවිත කළ ගමන් මාර්ගයක් අමතක වී වෙනත් මාර්ගයක් තෝරාගැනීමට සිදුවන්නේ නැත. එහෙත් එම මාර්ග අතරට මිනිස් ජනාවාස, වගාබිම්, මාර්ග සහ වෙනත් ඉදිකිරීම් ඇතුළත් වූ විට ගැටුම් ඇතිවීමේ අවදානම ඉහළ යයි. එබැවින් සාම්ප්‍රදායික හා විද්‍යාත්මක ක්‍රමෝපායන් ඇසුරින් එවැනි ගමන් මාර්ග හඳුනාගෙන ආරක්ෂා කිරීම සංරක්ෂණයේ මූලික අවශ්‍යතාවකි.

කාවන් තිස්ස ඇතුගේ අවසන් මොහොතේ සංවේදී වූ සජිත් ප්‍රේමදාස
කාවන් තිස්ස ඇතුගේ අවසන් මොහොතේ සංවේදී වූ සජිත් ප්‍රේමදාස

තවද මෙම ව්‍යාපෘතියට වනජීවී සංරක්ෂණය, පරිසර විද්‍යාව, සත්ව සුබසාධනය සහ දේශගුණික විපර්යාස පිළිබඳ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සකස් වූ පොත්පත් සහ පර්යේෂණ මූලාශ්‍ර ඇතුළත් පුස්තකාලයක්ද යෝජනා වී තිබේ. එය පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, පර්යේෂකයන්ට, වනජීවී නිලධාරීන්ට සහ සාමාන්‍ය මහජනතාවට විවෘත කළ හැකි නම් එහි ප්‍රයෝජනය පුළුල් වනු ඇත. වනජීවී සංරක්ෂණය යනු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකුට පමණක් පැවරෙන වගකීමක් නොවේ. ඒ පිළිබඳ නිවැරදි දැනුමක්, සංවේදීතාවක් සහ වගකීම් සහගත ආකල්පයක් සමාජය තුළ ගොඩනැගීමද අත්‍යවශ්‍යය. එබැවින් මෙම පුස්තකාලය පොත්පත් තැන්පත් කරන ස්ථානයකට සීමා නොකර, දේශන, වැඩමුළු, පර්යේෂණ සාකච්ඡා සහ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමේ හැකියාව ද පවතී.

මෙම කාර්ය සාධක බලකාය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ තවත් යෝජනා කිහිපයක්ද සැලකිල්ලට ගත යුතුය. ඔහු විසින් වන අලි ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීම, නවීන පහසුකම් සහිත වන ජීවී රෝහලක් ස්ථාපිත කිරීම, ජංගම පශු වෛද්‍ය ඒකක ශක්තිමත් කිරීම සහ තුවාල ලබන වනඅලින්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවීම යෝජනා කර තිබිණි. එමෙන්ම විදේශීය පශු වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීම සහ පරිසර සංවිධාන, සිවිල් සමාජ නියෝජිතයන් හා ග්‍රාමීය ප්‍රජාව වනඅලි මරණ පිළිබඳ විමර්ශන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කර තිබේ.

එහෙත් මෙහිදී වැදගත් වන්නේ විපක්ෂ නායකවරයාගේ යෝජනා පමණක් නොවේ. කාවන්තිස්සගේ මරණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමටත්, වනඅලින්ගේ සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සකස් කිරීමටත්, ජාතික වනඅලි සංරක්ෂණ වැඩසටහනක් නිර්දේශ කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබ තිබේ. එම කමිටුවට කාවන්තිස්සගේ මරණයට හේතු, ප්‍රතිකාර ක්‍රියාවලියේ සිදුවිය හැකි අඩුපාඩු සහ වගකීම් පිළිබඳව සොයාබැලීමේ වගකීමද පැවරී ඇත. එහෙත් ඒවායේ ප්‍රායෝගිකත්වය විමසා බැලීමට තව කාලයක් ඉතිරිව තිබේ.

නමුත් මෙම කරුණ අනුව පැහැදිලි වනුයේ වන අලි සංරක්ෂණය සම්බන්ධයෙන් රජයේ සහ විපක්ෂයේ යෝජනා අතර සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවක් ඇතිකර ගැනීමට අවස්ථාවක් පවතින බවය. එවැනි අවස්ථාවක් පක්ෂ දේශපාලන තරගයකට යටත් නොකර ජාතික සංරක්ෂණ ප්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා භාවිත කළ යුතු ය.

කාවන්තිස්සගේ මරණයෙන් පසු මෙරට වන අලි ආරක්ෂාව පිළිබඳ සංවාදය තවත් තීව්‍ර කරමින් කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැව ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක තිබී එක් දළයක් කපා ඉවත් කරන ලද වන අලියකුගේ මළ සිරුරක් සොයාගැනීම මේ සම්බන්ධ බරපතළ සිදුවීමකි. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය වනජීවී නිලධාරීන් මළ සිරුර සොයාගෙන තිබූ අතර, ඒ වන විට සත්වයා මියගොස් දින කිහිපයක් ගතවී තිබූ බව නිරීක්ෂණය කර තිබිණි. මළ සිරුර පරීක්ෂා කිරීමේදී වම්පස දළය කපා ඉවත් කර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සත්වයා වෙඩි තබා ඝාතනය කර පසුව දළය කපාගෙන යන්නට ඇතැයි සැක පළ වී තිබුණද, මරණයට නිශ්චිත හේතුව සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව නිල වශයෙන් තහවුරු කිරීම සඳහා විමර්ශන අවශ්‍ය විය. ප්‍රදේශවාසීන්ගේ සැකය වී ඇත්තේ එම ඇතා කලක් ප්‍රදේශයේ සැරිසැරූ ‘ලංකේෂ්වර’ නමැති දළ ඇතා විය හැකි බව ය. එහෙත් එම අනන්‍යතාවද විද්‍යාත්මකව තහවුරු කරගත යුතුය. සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව විමර්ශන ආරම්භ කර තිබිණි.

නමුත් කාවන්තිස්සගේ මරණයෙන් සති කිහිපයක් ගතවීමටත් පෙර තවත් දළ ඇතකුගේ මළ සිරුරක් දළයක් කපා ඉවත් කර තිබියදී හමුවීම මෙරට දළ ඇතුන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරන බව යළි කිව යුතුය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ තවත් සංඛ්‍යාලේඛනයක්ද අවධානයට ලක්විය යුතුව තිබේ. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2023 වසරේ සිට 2026 ඔක්තෝබර් දක්වා කාලය තුළ වෙඩි තැබීම්, විදුලි සැර වැදීම්, හක්කපටස් සහ දුම්රිය අනතුරු හේතුවෙන් වනඅලින් 784ක් මියගොස් තිබේ. ඒ අතරින් වෙඩි තැබීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 303කි. විදුලි සැර වැදීම්වලින් 229ක්ද, හක්කපටස් හේතුවෙන් 193ක්ද, දුම්රිය අනතුරුවලින් 59ක්ද මියගොස් ඇති බව එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. නමුදු මෙම සංඛ්‍යා හුදු සංඛ්‍යාලේඛන ලෙස බැහැර කළ නොහැකිය. ඒවා මෙරට වනඅලි සංරක්ෂණ ක්‍රියාවලිය තුළ පවතින බරපතළ අභියෝග පිළිබඳ පැහැදිලි සංඥාවකි.

වනඅලි ආරක්ෂාව යනු තුවාල ලැබූ සතුන්ට ප්‍රතිකාර කිරීම පමණක් නොවේ. ඔවුන්ට එරෙහි අපරාධ වැළැක්වීම, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම, දළ ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන රැකගැනීමද ඊට අයත් විය යුතුය. අද වන විට මිනිසුන් සේම වන අලි සම්පත මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගයක් වන්නේ අලි-මිනිස් ගැටුමයි. වනඅලින්ගේ ස්වාභාවික වාසස්ථාන සීමා වීම, කෘෂිකාර්මික භූමි ප්‍රසාරණය, ජනාවාස හා මාර්ග ඉදිකිරීම සහ සාම්ප්‍රදායික අලි සංක්‍රමණික මාර්ග අවහිර වීම මෙම ගැටුමේ ප්‍රධාන පසුබිම් සාධක අතර වේ.

මෙහිදී වනඅලින් පමණක් නොව ගොවි ජනතාවගේ ජීවිත, දේපළ සහ ජීවනෝපාය ද ආරක්ෂා කිරීම එකසේ වැදගත් ය. විදුලි වැට ඉදිකිරීම පමණක් අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් නොවේ. විදුලි වැටවල් නිවැරදි ස්ථානවල ඉදිකිරීම, ඒවා අඛණ්ඩව නඩත්තු කිරීම, අලින්ගේ ගමන් මාර්ග හඳුනාගැනීම සහ ගම්මානවලට වනඅලින් ඇතුළුවීම පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමේ ක්‍රමවේද හඳුන්වාදීමද අවශ්‍යය. එමෙන්ම වනඅලින් ගම්මානවලට ඇතුළු වූ පසු ඔවුන් පලවාහැරීමේ ක්‍රමවේදවලට පමණක් සීමා නොවී, ගැටුම් ඇතිවීමට බලපාන මූලික පාරිසරික හා භූමි පරිහරණ ගැටලු විසඳීමද වැදගත්ය. කලක් තිස්සේ මිනිස් ජනාවාසවලට සංක්‍රමණය වී හිඳින වන අලි අවිචාරවත් ලෙස පලවා හැරීම අතිශය අවිද්‍යාත්මක ක්‍රමවේදයකි. නිසි කළමනාකරණ වැඩපිළිවෙළකින් තොරව එසේ කිරීමෙන් සිදුවනුයේ අලි-මිනිස් ගැටුම අතිශය දරුණු මට්ටමකට පත්වීම ය.

අප විශ්වාස කරන අන්දමට යෝජිත පර්යේෂණ මධ්‍යස්ථානයට මෙම ක්ෂේත්‍රය තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිය. ජෛව වැටවල්, නවීන අනතුරු ඇඟවීමේ පද්ධති සහ අලින්ගේ හැසිරීම් හඳුනාගැනීමේ තාක්ෂණික ක්‍රමවේද අත්හදා බැලීම එහි එක් අරමුණක් විය හැකිය. එමෙන්ම වනඅලි සංරක්ෂණය සඳහා පුහුණු වූ තරුණ පරපුරක් බිහිකිරීමද මෙවැනි මධ්‍යස්ථානයකින් ඉටුකළ හැකි තවත් වැදගත් කාර්යයකි. වනජීවී වෛද්‍ය විද්‍යාව, පරිසර විද්‍යාව, සත්ව හැසිරීම් අධ්‍යයනය සහ සංරක්ෂණ කළමනාකරණය වැනි ක්ෂේත්‍ර කෙරෙහි තරුණයන්ගේ උනන්දුව වර්ධනය කිරීම අනාගතයට කරන ආයෝජනයකි.

මෙහිදී තවත් වැදගත් කරුණක් සිහිපත් කළ යුතුය. කාවන්තිස්සට පෙර ඛේදනීය ලෙස මරණයට පත්වූ සියඹලන්ගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජවරුන්ගේ සජීවී රූපකායන්ගෙන් යුතු ඇත් පිළිරුවක් මීට පෙර අප ව්‍යාපෘති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ‘අහිංසා ශ්‍රී ලංකා’ සංවිධානය මඟින් ඉදි කොට, 2022 ඔක්තෝබර් 09 වන දින ගල්ගමුව ප්‍රදේශීය සභාව වෙත පවරා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ලෙස ගල්ගමුවේ පූලංචිය වැවට මායිම්ව පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේ ස්ථාපිත කර ඇති එය මේ වන විට මහජනතාව වෙනුවෙන් විවෘත කොට ඇත. අඹන්පොළ කහඹිලියාවැටියාවත්තේ යෝජිත කාවන්තිස්ස ස්මාරකය පිහිටුවීමට සැලසුම් කර ඇති ස්ථානයේ සිට එය කිලෝමීටර් 19ක් පමණ දුරින් පිහිටා තිබේ. ඒ අනුව අපගේ එම ක්‍රියාමාර්ගය නිර්දේශපාලනික මංපෙතක් ඔස්සේ මෙලෙස බොහෝ දුරක් ඉදිරියට යා යුතු අතර, එය මිනිසා සහ සොබාදහම යන සංකල්පය යටතේ රාජ්‍ය අනුග්‍රහය දක්වන ව්‍යාපෘතියක් වනු දැකීම අපගේ අරමුණ ය. එමෙන්ම ස්වාභාවික යුක්තියේ නාමයෙන් දියත් කෙරෙන මේ ආකෘතියේ මැදහත් තිරසර වැඩසටහනක් සඳහා හැකි සහයෝගයක් ලබා දීමට අපිද මහත් කැමැත්තකින් පසු වෙමු.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

ව්‍යාපෘති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ

අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානය

එතෙර - මෙතෙර