රුපියල් කෝටි 1.5ක රජයේ මුදල් අවභාවිතකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කොට ඇත.පසුගිය 11 වනදා අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු ජනාධිපති ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අද පස්වරු 1.45ට පමණ අධිකරණ භූමිය වෙත රැගෙන එනු ලදුව සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ, ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සිදුකළ පෞද්ගලික ලන්ඩන් සංචාරයකදී රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවේ දෙවන සැකකරු ලෙස සමන් ඒකනායක මහතා නම් කර තිබේ.මේ අතර මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සමන් ඒකනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද බන්ධනාගාරය වෙත ගොස් තිබිණි.එහි දී ඇය ප්‍රකාශ කොට තිබුණේ සාමාන්‍යයෙන් තමන් බන්ධනාගාර වෙත නොයන නමුත්, මෙම අවස්ථාවේදී තාම එහි ගියේ පවතින තත්ත්වය පිළිබඳ සිය අප්‍රසාදය සහ විරෝධය පළ කිරීමට බවකි.එමෙන්ම් සමන් ඒකනායක මහතා තමන් ද ඉතා සුහදව ඇසුරු කළ ගුණ යහපත් පුද්ගලයෙකු මෙන්ම දක්ෂ පරිපාලකයෙකු බවත්, රටක් පවත්වාගෙන යාමට පරිපාලන සේවයේ මෙවැනි පළපුරුදු නිලධාරීන් අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කොට තිබේ.