හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?


හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව තබා අඩුම තරමින් නෙළු නම් මල් වර්ගයක් පිළිබඳවත් අසා නොතිබුණු බව ඒ පිළිබඳව විමසා බැලීමෙන් තහවුරු විය. ඒ කෙසේ වෙතත්, සොබාදහමින් දුරස් වෙමින් සිටින වත්මන් සමාජය මෙලෙස හෝ සොබාදහමේ අසිරිය අත් විඳ ගැනීමට යොමු වීම අප අගය කළ යුත්තකි.

නමුත් නෙළු වසන්තය ලෙසින් මාධ්‍ය මඟින් හඳුන්වන ලද මෙම වකවානුව තුළ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට විශාල පිරිසක් පැමිණීම මත එහි පරිසර පද්ධතියට අහිතකර බලපෑමක් සිදු වූ බවද පසුගිය දිනවල වාර්තා විය. ඒ අනුව මෙම නෙළු මල් නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික වනෝද්‍යානයේ පවතින නීති රීති අනුව කටයුතු කළ යුතු බව මාධ්‍ය මඟින් කියා සිටීමට පවා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යාන භාරකාර සිසිර රත්නායකට සිදු විය. ඔහු එහිදී කියා සිටියේ වසර දොලහකට පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සඳහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවාහන ප්‍රමාණයක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පැමිණෙන බවත් ය. එසේ එන ඇතැම් පිරිස් ජාතික වනෝද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යාන භාරකාරවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එහෙත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් මාධ්‍ය මඟින් පතුරුවා හරින ලද මෙවන් සමයක් මීට පෙර උදා වී නොතිබුණේ ද? ඒ සම්බන්ධ කදිම සාක්ෂියක් වශයෙන් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංගයන් සිය පියාණන් වන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නාමාවලී සහකාරවරයකු වූ බණ්ඩාර මනතුංගයන් අතීතයේ තැබූ සටහනක් ඉකුත් ඔක්තෝබර් 08 වන දා සිය මුහුණු පොතට එක් කොට තිබිණ. නෙළු ඇතුළු අප රටේ මධ්‍යම කඳුකරයේ වැවෙන ශාක වර්ග කිහිපයක් පිළිබඳව එහි මෙලෙස සටහන් ව තිබේ. මෙහි වද කහ සම්බන්ධ සටහනේ දක්වා ඇති සූර්ය ග්‍රහණය 1955 ජූනි 10 වන දා සිදු වූවක් නිසා බණ්ඩාර මනතුංගයන් මෙම සටහන් තබා ඇත්තේ මීට වසර හැත්තෑවකට ආසන්න සමයක බව පැහැදිලි ය.

( මුහුණු පොතෙන් උපුටා ගැනීම මෙතැන් සිට)

නුවරඑළියේ උපන් මගේ පියා සිය කුඩා කාලයේ අත්දැකීම් අළලා ලියා ඇති මතක සටහන් අතර නෙළු ගස පිළිබඳවත් යමක් ලියා තිබුණු බව මට සිහිපත් වූයේ මේ දිනවල හෝර්ටන් තැන්නේ නෙළු මල් පිපී ඇති බවත් ඒවා බලන්නට නන් දෙසින් මිනිසුන් එහි යන බවටත් පළවී ඇති පුවත් සහ ඡායාරූප දැකීමෙනි.මෙහි පහත උපුටා දක්වා ඇත්තේ නෙළු ගස පිළිබඳව සහ නුවරඑළියේ එකල වැවී තිබුණ අනෙකුත් ශාකයන් පිළිබඳව මා පියා විසින් ලියා ඇති සටහනකි. මේ මීට අවුරුදු 70 තරම් ඈත කාලය පිළිබඳ වූ ඔහුගේ මතකය යි.

නෙළු මල් පිපෙන නුවරඑළිය

නුවරඑළියේ උපන් මගේ පියා සිය කුඩා කාලයේ අත්දැකීම් අළලා ලියා ඇති මතක සටහන් අතර නෙළු ගස පිළිබඳවත් යමක් ලියා තිබුණු බව මට සිහිපත් වූයේ මේ දිනවල හෝර්ටන් තැන්නේ නෙළු මල් පිපී ඇති බවත් ඒවා බලන්නට නන් දෙසින් මිනිසුන් එහි යන බවටත් පළවී ඇති පුවත් සහ ඡායාරූප දැකීමෙනි.

මෙහි පහත උපුටා දක්වා ඇත්තේ නෙළු ගස පිළිබඳව සහ නුවරඑළියේ එකල වැවී තිබුණ අනෙකුත් ශාකයන් පිළිබඳව මා පියා විසින් ලියා ඇති සටහනකි. මේ මීට අවුරුදු 70 තරම් ඈත කාලය පිළිබඳ වූ ඔහුගේ මතකය යි.

බණ්ඩාර මනතුංග

වල් ලූනු:

වල් ලූනු නමින් ගැමියන් හැඳින්වූ සුදු ලූනු ගසේ කොළවලට සමාන හැඩය ඇති තෘණ විශේෂයක් පිදුරුතලාගල මහ වනය ආශ්‍රිතව වැඩේ. නුවරඑළි වැසියෝ මේ කොළ කපා ගෙන ඒම සඳහා වරින් වර වනගත වෙති. මා කුඩා අවදියේ මේ ලූනු කොළ කපා ගෙන ඒම සඳහා ගිය පිරිසක් දින කීපයක් ආපසු නොඒම නිසා ඒ අය සොයා තවත් කාණ්ඩයක් වන වැදී අතරමංවී සිටි කාණ්ඩය සොයා ගෙන ආපසු කැඳවා ගෙන ආ අයුරු මා දැක ඇත. පැරණි අය මේ ලූනු ගස් හඳුන්වා ඇත්තේ සීතා දේවිය වන වැදී සිටිද්දී බඩේ අමාරුවට ඖෂධයක් වශයෙන් ප්‍රයෝජනයට ගත් දෙයකින් ඉවත් වූ කොටස් ලෙස ය. දැනුදු මේ ලූනු කොළ මැල්ලුමක් සේ හදා ගෙන කෑමට ගැමියෝ රුචිකත්වයක් දක්වති.

පිදුරුතලාගල අඩවියේ වල්මත් වූ තවත් අයෙක් ගැන අප කුඩා කාලයේ ඇසුවා මතක ය. මොහු දඩයමේ යෙදී සිටිය දී අතරමං වූ අයෙකැයි සිතමි. දින කීපයක් වනය තුළ අතරමං වී සිටීම නිසා කූඩැල්ලන්ගේ සපා කෑම හේතුවෙන් ඔහු රෝහල් ගත වී සිට එක් පාදයක් කැපූ අයෙකු ලෙස ය ඔහු රෝහලෙන් පිටවී ගියේ. පසු කාලයක කිහිලිකරුවල ආධාරයෙන් මේ අය නගරයේ ඒ මේ අත යනවා මා දැක ඇත.

නෙළු ගස:

නුවරඑළිය වන අඩවියේ වැවෙන නෙළු නම් ගස් වර්ගය අඟල් 3-4 වට ප්‍රමාණයක් ඇති අඩි 10 ක් පමණ උසට වැඩෙන ගසකි. මෙම ගස්වලට වැඩි ආයු කාලයක් නොමැත. නෙළු ගස්වල මල් හට ගන්නේ අවුරුදු 07 කට වරක් බව ගම් වැස්සෝ කියති. ඉතා සුවඳවත් වූ මේ මල් පිපෙන වකවානුවේ ඒ සුවඳට ආකර්ෂණය වී බඹරුන් හා මී මැස්සන් වන පියසට ඇදී එන්නට පටන් ගනී. ගැමියන් මී පැණි හා බඹර පැණි සොයා වන වදින්නේ මේ වකවානුවේ ය. බඹරකැලේ යන නම පට බැඳුණේ මේ අන්දමින් ය. නෙළු ගස් වියළී ගිය පසු ඒවා සොයා යන කාන්තාවෝ ද මේ කාලයේ වන වදින පිරිසට එක් වන්නාහ. වැසියන් ලිප ගිනි දැල්වීමට බහුල වශයෙන් යොදා ගන්නේ මේ නෙළු දරය.

ලුනුවිල:

දිය සීරාව ඇති පතන්වල මේ බෙහෙත් පැළෑටිය හැදේ. මා කුඩා අවදියේ රුවන්එළිය අවට පතන්වලින් මේ බෙහෙත් පැළ සොයා උදුරා ගෙන ආ බව මගේ මතකයේ රැඳී ඇත.

මහාචාර්ය අනුර මනතුංග

වද කහ:

මෙකී ශාක වර්ගය ද දිය සීරාව ඇති තැන්වල බහුල ලෙස වැඩේ. කුඩා දරුවනට සෑදෙන උදරාබාධවලට මේ බෙහෙත් දඬු උරගා දීමට අපේ මව්වරු දැන සිටියහ. මෑත කාලයක අපේ රටේ සූර්ය ග්‍රහණයක් පැවති අවස්ථාවක පුවත් පතක පළවී තිබුණු ප්‍රවෘත්තියක් නිසා වද කහ පානය කිරීමෙන් රට වැසියන් බොහෝ දෙනෙකුට ව්‍යසනයක් වූ බව මගේ මතකයේ රැඳී ඇත. මේ වකවානුවේ “වද කහ සුදිය” නම් ගීතයක් ද ජනප්‍රිය වී තිබුණි.

නගා මැරූ අල:

මෙය ද තණ බිම්වල හැදෙන කුඩා පැළෑටියකි. මේ පැළය ආශ්‍රිතව කුඩා අල එකක් දෙකක් හට ගනී. පැළ හඳුනා ගැනීමට පහසු වන්නේ ඒ පැළවලින් පිපෙන මලක් නිසා ය.

ගෙවතු වගා:

එකල සාමාන්‍ය වැසියන් පදිංචි වී සිටි නිවාස අසල කුඩා ඉඩ ප්‍රමාණයක ගෙවත්තක් පවත්වා ගෙන යාම සිරිතක් විය. මේ වතුවල මල් පැළ වගා කිරීමට නුවරඑළි වැසියෝ පුරුදු වී සිටියහ. මේ මල් අතර කානේෂන්, ඩේසි, මැඩෝනා ආදී මල් වවා ඒවා එකතු කිරීමට එන අයවලුන්ට විකුණා මුදල් ඉපයීම සරුවට කෙරිණ.

ගෝවා වගාව ද මුදල් ලෙහෙසියෙන් ඉපයිය හැකි වගාවක් විය. එදා වැවූ ලොකු ගෝවා ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 40 ක් 50ක් අතර විය. වත්මන් කාලයේ මේ ලොකු ගෝවා නුවරඑළියේ වැවිලි බෝග අතරින් තුරන් වී ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. ඉඩකඩ යහමින් තිබුණු තැන්වල කැරට්, බීට්රූට්, ලීක්ස් ආදී වගාවන්ට තැන දී තිබිණ.

තත්ත්වය මෙසේ තිබියදී වර්තමාන සමාජයේ පවතින මාධ්‍ය සංතෘප්තතාව (Media saturation) නිසා අප ජන සමාජය තුළ සාධනීය සේම නිශේධනීය විචල්‍යතා හට ගන්නා බව නොරහසකි. එය මේ වන විට කොතෙක් බරපතල තත්ත්වයකට පත්ව තිබේ ද යත්, විදේශයක සැඟව සිටි මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳ සැකකාරියක අත් අඩංගුවට ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක එම සැකකාරිය හා ඊට එක් වූ එක් පොලිස් නිලධාරියකු මුල් කොට ගත් ප්‍රවෘත්තිය රොමැන්ටික් සිනමා කෘතියක පිටපතක් මෙන් සමාජ ගත කිරීමට අපගේ මාධ්‍යවේදීන් සමත් වී තිබේ.

පෙයාර්ස් වගාව:

නුවරඑළි වැසියන්ගේ අතමිට සරු කළ පළතුරු වගාවක් වූ පෙයාර්ස් ගස ලංකාවට හඳුන්වා දුන්නේ කවුරුන්ද මොන රටකින්දැයි නොදනිමි. මල්වානේ පැණි රඹුටන්වලට සිදු වුවා සේම නුවරඑළිය ද පෙයාර්ස් වගාව නිසා නම් දරා සිට මෑත කාලයක දී එම වගාව මහත් ව්‍යසනයකට බඳුන් විය. මේ පළතුරු ගස් තුන හතරක් වවා තිබූ අයගේ වාර්ෂික ආදායම රුපියල් 7000 – 8000 ක් වූ බව මම දනිමි.

බණ්ඩාර මනතුංග

මගේ උපන්බිම පිළිබඳ මතකය.

උපුටා පළ කළේ : ඔහුගේ දෙටු පුත් අනුර මනතුංග විසින්

2025.10.08 වැනි දින

( මුහුණු පොතේ උපුටා දැක්වීම අවසන්)

තත්ත්වය මෙසේ තිබියදී වර්තමාන සමාජයේ පවතින මාධ්‍ය සංතෘප්තතාව (Media saturation) නිසා අප ජන සමාජය තුළ සාධනීය සේම නිශේධනීය විචල්‍යතා හට ගන්නා බව නොරහසකි. එය මේ වන විට කොතෙක් බරපතල තත්ත්වයකට පත්ව තිබේ ද යත්, විදේශයක සැඟව සිටි මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳ සැකකාරියක අත් අඩංගුවට ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක එම සැකකාරිය හා ඊට එක් වූ එක් පොලිස් නිලධාරියකු මුල් කොට ගත් ප්‍රවෘත්තිය රොමැන්ටික් සිනමා කෘතියක පිටපතක් මෙන් සමාජ ගත කිරීමට අපගේ මාධ්‍යවේදීන් සමත් වී තිබේ.

ඒ.ජී රේණුකා දමයන්ති

හරිත දනව්ව