රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු හැටදහසක් සහෝදර සහෝදරියන් එදා ජීවමාන කිරීමට උත්සාහ කළ ඔවුන්ගේ අපේක්ෂාව වූ සමාජවාදී සිහිනයට අද සිදු වී ඇත්තේ කුමක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත මහතා අසා සිටියි. ඔහු මෙලෙස විමසුවේ ”ඔබ මියගොස් නැත ! සමාජවාදය ජීවමාන අපේක්ෂාවක්!” යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ, නුගේගොඩ දෙල්කඳ පොළ භූමියේ ඊයේ (13) පැවැති 36වන ඉල් මහා විරු සමරුවේ දී අදහස් දක්වමිනි.
එම සමරුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චමීර කොස්වත්ත මහතා මෙසේ ද කීය.
“අද ජනතා විමුක්ති පෙරමුණ දකින රෝහණ විජේවීර සහ අපි දකින රෝහණ විජේවීර කියන්නෙ දෙන්නෙක්. ඒක නිසා තමයි අපි අර විහාරමහදේවී පාර්ක් එකෙන් ඈතට ඇවිත් මේ නුගේගොඩ දෙල්කඳ මංසන්ධියේ සැබෑ සමාජවාදී උරුමය රැගත් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ඉල් විරුවන් සමරන්න තීරණය කළේ. සමරනවා කියලා “ස” මකලා මරන්නත් පුළුවන්. අද ජවිපෙ කරන්නේ ඒක.මොකද ඇත්තට ම ඉල් විරුවන් සමරන්න ඕන නම් ආණ්ඩුවට පුළුවන් ඒ විරුවන්ගේ ඝාතකයින්ට දඬුවම් දෙන්න. ඒ ඝාතන අනාවරණය කරන්න. අඩුමතරමින් ඔවුන්ගේ මරණවලට සාධාරණයක් කරන්න ඔවුන් එදා දැකපු සිහිනය යථාර්ථයක් කරන්න. ඒ එකක්වත් නැතුව අද බටලන්දෙ ඝාතකයිගේ නවලිබරල් වැඩ පිළිවෙළ කරේ තියාගෙන යන ගමන් අනුර දිසානායකලා, ටිල්වින් සිල්වලා ඉල් විරුවන් සමරනවලු. මේකට කියන්නේ සමරනවා නෙමෙයි. මේ කරන්නේ ඒ සමාජවාදී අරමුණ මරන්න උත්සහ කරන එක”.