අධිකරණය හමුවේ අධි චෝදනා ගොනුව ඇති බලශක්ති ඇමති ධූරයෙහි තවදුරටත් ඇමති පදවියේ තබා ගන්නවාදැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.ඒ ඊයේ ( 15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට මිලදී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දීම ඔහු ඇමති ධූරයෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තුවේ සුවිසල් හඬ නැගූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැන් මෙම කරුණ සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක විය යුතු යැයි ඔහු කීය.ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීන් එසේ හඬ නැගූ විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කළ බව ද ඔහු පැවසීය.යහපාලනය හා රාජ්‍ය පාලනයේ අදූෂිතභාවය ගැන ධර්මය දේශනා කළ කණ්ඩායමක අයකුට අධිචෝදනා එල්ලවීම ගැන ජනාධිපතිවරයා තුළ සංවේදී බවක් හට නොගන්නේ නම් එය ද විනිවිදභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් යැයි ද අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටිය දී පෞද්ගලික සමාගමකට ලබා දී රජයට රුපියල් මිලියන 8.8 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාර ගැනීම සදහා මාර්තු 27 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වත්මන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නොතීසි නිකුත් කර තිබේ.විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගිනි.