2026 වසරේ දෙවන කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි සියයට 13.56ක විදුලි ගාස්තු සංශෝධනයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇති අතර, මෙම නව ගාස්තු ඉහළ දැමීම අනිද්දා (01) සිට බලාත්මක වීමට නියමිතව ඇත. අද (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම නව ගාස්තු සංශෝධනය සහ එහි බලපෑම පිළිබඳව නිල වශයෙන් කරුණු අනාවරණය කරන ලදී.
මෙම නව සංශෝධනයට අනුව ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගේ කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි බිල ඉහළ දැමීම සිදුකර තිබේ. ඒ අනුව මාසිකව ඒකක 0ත් 30ත් අතර ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව සියයට 4.3කින් ඉහළ නංවා ඇති අතර, එමගින් ඔවුන්ගේ මාසික බිල්පතට රුපියල් 15ක වැඩිවීමක් එක්වනු ඇත. එසේම ඒකක 31ත් 60ත් අතර විදුලිය භාවිත කරන කාණ්ඩයේ ගාස්තුව සියයට 6.9කින් ඉහළ දමා ඇති බැවින් ඔවුන්ට සිය මාසික බිල සඳහා අමතරව රුපියල් 45ක මුදලක් ගෙවීමට සිදුවේ.මාසිකව ඒකක 61ත් 90ත් අතර විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ ගාස්තුවද සියයට 6.9කින් ඉහළ නංවා ඇති අතර, එය රුපියල් 120ක මාසික වැඩිවීමක් ලෙස සටහන් වේ. තවද ඒකක 91 සිට 180 දක්වා වූ පාරිභෝගික කාණ්ඩයේ විදුලි බිල සියයට 7.2ක ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති අතර, ඔවුන්ගේ මාසික බිල රුපියල් 420කින් වැඩිවීමට නියමිතය. කෙසේ වෙතත්, ඒකක 180කට වඩා වැඩි විදුලි පරිභෝජනයක් සහිත ගෘහස්ථ කාණ්ඩ සඳහා ඉහළම ගාස්තු වැඩිවීමක් පනවා ඇති අතර එම ප්‍රතිශතය සියයට 25ක් ලෙස කොමිෂන් සභාව විසින් තහවුරු කර තිබේ.
ගෘහස්ථ කාණ්ඩයට අමතරව සෙසු අංශ සඳහාද නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වේ. එහිදී ඒකක 180ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා කිසිදු ගාස්තු වැඩිවීමක් සිදු නොකිරීමට කොමිසම පියවර ගෙන ඇතත්, ඒකක 180 සීමාව ඉක්මවා යන ආගමික ස්ථාන සඳහා සියයට 9.6ක ගාස්තු ඉහළ නැංවීමක් අනුමත කර ඇත. මීට සමගාමීව කර්මාන්ත අංශයේ විදුලි බිල සියයට 8.7කින් සහ සංචාරක හෝටල් කාණ්ඩය සඳහා වන විදුලි ගාස්තුව සියයට 9.9කින් ඉහළ දමා තිබේ. මීට අමතරව පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩයේ ගාස්තුව සියයට 8කින්ද, රාජ්‍ය ආයතන සඳහා වන විදුලි ගාස්තුව සියයට 14.4කින්ද ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.