අපේ සංස්කෘතික පසුබිම නොතකා ලිංගික අධ්‍යාපනය පන්තියට ගේන්න පුළුවන්ද?

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා නොනිඳන රාත්‍රී සංකල්පය,ගණිකා ව්‍යාපාරය,කැසිනෝ ඇතුළු දූ කෙලි සංස්කෘතික ප්‍රවර්ධනය සේම ගංජා අපනයනය ප්‍රවර්ධනය කළ යුතු බවට නැවත නැවතත් හඬ නඟන සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් දිගින් දිගටම කරන්නා වූ එවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ අතර මෑතක දී පැවසූ දෙයක් වන්නේ අප රටේ අධ්‍යාපනය තුළට ද ලිංගික අධ්‍යාපනය ඇතුළත් කළ යුතු ය යන්න ය.ඩයනා ගමගේ ගේ කතා පැත්තකට දැමූ විට ද මෙය පසුගිය කාලය මුළුල්ලේ ම සමාජය තුළින් ද අසන්නට ලැබුණු දෙයක් විය. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය සිදුවන සෑම අවස්ථාවක්ම පාසා පාසල් අධ්‍යාපනය තුළට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කළ යුතු ය යන අදහස සමාජය තුළින් ද වරින් වර මතු විය.

ලිංගික යන වචනය ඇසෙත්ම අප සමාජය තුළ එකවරම ඇතිවන්නේ තිගැස්මකි. නමුත් අතීතය දෙස බැලුවහොත් ලිංගකත්වය යනු අප රට තුළ එවැනි තිගැස්මක් ඇති කළ යුත්තක් නොවන බව පෙනී යයි. ඉංග්‍රීසින් අප රටට පැමිණෙන තෙක් අප රටේ පැවතියේ ලිංගිකත්වය පිළිබඳ ලිහිල් ආකල්පයකි. අප රට මිනිසුන් අතීතයේ සිය ලිංගිකත්වය කෙරෙහි දැක්වූයේ පුළුල් ආකල්පයකි. අප අද දකින ලිංගිකත්වය අප රටට හුරු කරන ලද්දේ වික්ටෝරියානු සුචරිතවාදය තුළිනි. අප රටේ පාසල් අධ්‍යාපනය තුළට ලිංගික අධ්‍යාපනය හඳූන්වා දීම සම්බන්ධව අපට කතා කරන්නට සිදුවන්නේ මෙකී වටපිටාව තුළ ය.නමුත් ඩයනා ගමගේ නිරතුරුව පවසන නොනිඳන රාත්‍රී සංකල්පය,ගණිකා ව්‍යාපාරය,කැසිනෝ ඇතුළු දූ කෙලි සංස්කෘතික ප්‍රවර්ධනය සේම ගංජා අපනයනය ප්‍රවර්ධනය ඉහත සඳහන් අප රටේ සාම්ප්‍රදායිකත්වයට ඉඳුරාම පරිබාහිර වූවක් බව කිව යුතු ය.

ලිංගික අධ්‍යාපනය යනු කුමක්ද?

ලෝකයේ පිළිගත් ක්‍රමවේදය අනුව ලිංගික අධ්‍යාපනය යනු මානව ලිංගිකත්වය ඉගැන්වීම ය. මානව ලිංගික ව්‍යවච්ඡේද විද්‍යාව, ලිංගික ක්‍රියකාරකම්, ලිංගික ප්‍රජනනය, ආරක්ෂිත ලිංගික සබඳතා, උපත් පාලනය, ලිංගික සෞඛ්‍යය, ප්‍රජනන සෞඛ්‍යය, භාවාත්මක සබඳතා සහ වගකීම්, ලිංගික සබඳතාවයක් සඳහා කැමැත්ත ලබාදිය හැකි වයස සහ ප්‍රජනන හිමිකම් ආදී කාරණා මෙයට ඇතුළත් ය. බටහිර රටවල ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් ගොඩ නැගෙන්නට වූයේ දෙවැනි ලෝක යුද්ධය සමයේ ය. එමෙන්ම ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සමාජය තුළ පැතිර යාමත් සමග එම රටවල ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව වැඩි වශයෙන් දැනෙන්නට පටන් ගත්තේ ය. එමෙන්ම ඒ රටවල පැවැති නිදහස් ලිංගික රටාවන් හේතුවෙන් විවිධ සමාජයීය ගැටලු ඇතිවන්නට වීමත් නිසා ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට විය.

ලිංගික අධ්‍යාපනය සාර්ථකව ක්‍රියාත්මක වන රටවල්

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නට මුලික වූයේ වටහිර යුරෝපීය රටවල් ය. ඒ අනුව අදින් වසර 50 කට පමණ එම කලාපයේ රටවල ලිංගික අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නට පටන් ගැනුණි. දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අධ්‍යාපනය සාර්ථකව ක්‍රියාත්මක කරන බටහිර යුරෝපීය රටවල් අතර ස්වීඩනය, නෝර්වේ සහ නෙදර්ලන්තය ප්‍රමුඛස්ථානය ගනී. ලිංගික අධ්‍යාපනය ලබා දීමත් සමග එම රටවල්වලින් වාර්තා වූ පාසල් දැරියන් අතර බහුලව දකින්නට ලැබුණු ගැබ් ගැනීම තත්ත්වය කැපී පෙනෙන ලෙස පහළ වැටුණි.

කෙසේ නමුත් ආසියානු රටවල, විශේෂයෙන් දකුණු ආසියාවේ පාසල් තුළට ලිංගික අධ්‍යාපනය රැගෙන ඒම තවමත් අභියෝගාත්මක කටයුත්තක් බවට පත්ව තිබේ. එයට හේතුව ලෝකයේ සෙසු රටවලට වඩා දකුණු ආසියානු රටවල පවතින සංස්කෘතියයි. මේ රටවල ලිංගිකත්වය යනු බොහෝ විට හොර රහසේ සිදුවන දෙයක් ලෙස පවතී. අපේ රටට ද එහි වෙනසක් නැත. පසුගිය කාලය පුරාම අපේ රටෙන් වාර්තා වූ ලිංගික අපරාධ හේතුවෙන් ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන්ට ලබා දිය යුතුය යන අදහස අපේ රටේ ද කතාබහකට බඳූන් විය. කෙසේ නමුත් ඉතා ප්‍රවේශමෙන් මෙය අධ්‍යාපන විෂය ධාරාවට ඇතුළු කළ යුතු ය. බටහිර රටවල් පහසුවෙන්ම ලිංගික අධ්‍යාපනය පාසල් විෂය ධාරාවට එක් කරන ලද්දේ එම රටවල කාලයක් තිස්සේ නිදහස් ලිංගික ආකල්ප පැවති බැවිනි. නමුත් ශ්‍රී ලංකාව එයට වඩා බොහෝ සෙයින් වෙනස් සංස්කෘතික රටාවක් ඇති රටකි. එබැවින් සංස්කෘතියට ‘බම්බු ගහගන්නැයි පවසා එවැන්නක් පාසල් අධ්‍යාපනය තුළට ඇතුළු කිරීම නොකළ යුත්තකි. අප කැමති වුව ද අකමැති වුව ද සියල්ල සිදුවිය යුත්තේ සංස්කෘතික ධාරාවට එකඟ වන ආකාරයටය. අනෙක අපේ රට බහු ආගමික, බහුආගමික සංස්කෘතියක් සහිත රටක් බව ද අප අමතක කළ යුතු නැත. එහි සිංහල, බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ආදී ජනකොටස් ජීවත් වන අතර ඒ සෑම සංස්කෘතියකටම ගැලපෙන ආකාරයෙන් මෙය පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීමට පරෙස්සම් විය යුතු ය. එමෙන්ම කවුරු කෙලෙසින් හඬ නැගුව ද මෙවැනි විවාදාත්මක විෂයයක් පාසල් විෂය ධාරාවට ඇතුළත් කරත්ම පාසල් සිසුන් මේ කෙරෙහි දක්වන්නේ කුමනාකාර ආකල්පයක් දැයි සොයා බැලිය යුතු ය.

එබැවින් දේශපාලඥනයන් කලින් කලට ජනප්‍රිය වීම සඳහා ඉදිරිපත් කරන කාරණා අනුව රටේ අධ්‍යාපනය පිළිබඳ තීරණ ගත නොහැකිය. එය මනා අධ්‍යයනයකින් සිදු කළ යුත්තකි. නොඑසේ නම් මෙයින් බලාපොරොත්තු වන ප්‍රතිලාභය නොව වෙනත් විනාශකාරී තත්ත්වයක් සමාජය තුළ සිදුවිය හැකිය. අප ප්‍රවේශම් විය යුත්තේ ඒ පිළිබඳවය.

නිරංජන චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර