ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඒ ඊයේ(18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ කීය.
“එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට. මේකට පැරණි බලපත්‍රයක් තිබෙනවා 2014 වගේ. නමුත් මේක කිසිසේත්ම එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස හැඳින්වුවාට එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස මෑත කාලයේ භාවිතා වෙලා නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට ආපන ශාලාවේ ඉදි කිරීම් පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගිලා. ඒ ආපන ශාලාවේ නීති විරෝධී ඉදි කිරීම් තියෙනවා කියලා ඒ නීති විරෝධී ඉවත් කිරීම් පිලිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දිලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා.නාගරික සංවර්ධන අධිකාරිය සමග ඊට පස්සේ පැවැති සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේ ඉල්ලා තිබුණා තව සතියක කාලයක් ලබා දෙන්න කියලා. ඒ කාලේ දෙනවා. ඒ කාලේ ගතවෙන්නේ 14 වැනිදාට. 16 වැනිදා තමයි මේ සිද්ධිය පැන නගින්නේ.. එතකොට මේක ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුළේ තියෙන බව පේනවා. පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරස්ථානයක් තියෙනවා කියලා.. නෑ…එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.
සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලයේදී එකඟතාවක් ආවා නියමිත මිනින්දෝරුවෙක් දාලා ඉඩම බෙදලා හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණ එකට අයිති කොටස කෝකද?බලන්න. පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. අධිකරණය දැන් දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදි කිරීම් කිසිවක් කරන්න එපා තිබෙන ඉදි කිරීම් ඉවත් කරන්නත් එපා අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අදාළ වැඩකටයුතු කරන්න පුළුවන් කියලා.දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නය අවසන්. දැන් තවත් නටන්නේ ඇයි ? අර ජාතිවාදී කණ්ඩායම් දැන් හැම තැනම ගිනි තිය තිය යනවා. අපි ඉතාමත් ශක්තිමත්. ජාතිවාදයට නම් ඉඩ තියන්නේ නෑ. මේ රටේ පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නෙත් නෑ. ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවානම් නැවත පැරණි ජාතිවාද නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒක වර්තමානයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි.”