“අලියාට ඇස තැබීමේ” කාබනික පොහොර ව්‍යාපෘතිය

පොටෑසියම් සල්ෆේට් පොහොර තොගයක් ඊයේ(13)ලිතුවේනියාවේ සිටි කොළඹ වරායට වෙගාරස් නම් නෞකාවෙන් ගෙන ආ බවත් ඒවා ඊයේ රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොලොන්නෘව, කුරුණාගල, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට යැවූ බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ ඊයේම තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබිණ.එහෙත් ඊට ප්‍රතිචාර දැක් වූ සමහරකු කියා සිටියේ පොටෑසියම් සල්ෆේට් යනු රසායනික සංයෝගයක් බව ය.

කෙසේ හෝ එවන් පාඨක ප්‍රතිචාර හමුවේ තම ෆේස් බුක් සටහන කිහිප වරක්ම සංස්කරණය කිරීමට තරම් ඇමති වරයා”ප්‍රජාතාන්ත්‍රීය” වී තිබිණ.ඒ අතරේ හදිසි රෝගීන් සඳහා සේලයින් තොහ යවන්නාක් මෙන් වරායේ සිට අධික වේගයකින් රට පුරා පොහොර තොග බෙදූ කෘෂිකර්ම ඇමති ලෙස මහින්දානන්ද අළුත්ගමගේ “අළුත්” වාර්තාවක් තබා ඇත.මෙය අන්තිම මොහොතේ තදියමේ වේගයෙන් ක්‍රියාවට නැංවූ අන්තිම මොහොතේ කඩිනම් කළ කොවිඩ් එන්නත් කරන වැඩ පිළිවෙල සිහි ගන්වන්නකි.

නමුදු කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ ගොවීන් සතුව මේ වන විට මහ කන්නයට උවමනා කාබනික පොහොර ද තිබෙන බව ය. ඔවුන් සතුව කාබනික පොහොර තිබෙන්නේ කෙලෙස ද? යන පැනයට පිළිතුරක් නොමැත. එය කෘෂිකර්ම අමාත්‍යාංශය යෙදූ උප්පරවැට්ටියක් ද යන්න සැකයකි.කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් තෝරාගත් ගොවීන් කණ්ඩායමකට හෙක්ටයාරයකට රුපියල් 5000 ක දීමනාවක් ගෙවනු ලැබූවේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම උදෙසා ය.

එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන්ගෙන් පෝරමයක් ද පුරවා ගන්නා ලදී. පෝරමය පුරවා ගත්ත ද කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ කෙලෙස ද? යන්න ගැන උපදේශයක් හෝ මඟ පෙන්වීමක් ගොවීන්ට ලැබුණේ නැත. මේ නිසා ගොවීන් කසල ගොඩවල් මෙන්ම පිදුරු ගෙනවිත් ගොඩවල් ගසා කලු ඉටි කොලවලින් වසා තැබුවේය. එයින් නිෂ්පාදනය වූ කාබනික පොහොරක් නැත.

නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඔවුන් ළග පොහොර තිබෙන බවට මේ වන විටත් ගණන් බලා හමාර ය. එම නිසා ඔවුන් ප්‍රකාශ කරනුයේ ගොවීන් සතුව පොහොර තිබෙන බවට ය.

මෙලෙස කැට පොහොර තිබෙන ගොවීන්ට දියර පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එසේනම් ගොවීන් වගා කරන්නේ කෙසේද? මේ පැනයට පිළිතුරක් කෘෂිකර්ම නිලධාරින් සතුව නැත.

මහකන්නය වෙනුවෙන් පැවැති සියලු කන්න රැස්වීම් තීන්දුවකින් තොරව අවසන් වූයේ එබැවිනි. ගොවීන් අසන ප්‍රශ්නවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිළිතුරු නැත. ඔවුන් කියා සිටින්නේ ගොවීන් ඇතුළු සමස්ත ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් කාබනික පොහොර හදුන්වා දුන්නාය කියන කාරණය පමණකි.

සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කාබනික පොහොර හදුන්වා දුන්නාට ගොවීන්ගේ අස්වැන්න වැඩි වන්නේ නැත. ගොවීන්ගේ අස්වැන්න වැඩිවීමට නම් කාබනික පොහොරවලින් නිෂ්පාදනය වන භෝග ඵලදාව පිළිබදව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තක්සේරුවක් තිබිය යුතුය. ගොවීන් පුන පුනා විමසන්නේ මේ කාරණයය.

ඊට අමතරව කාබනික පොහොරවල තිබෙන ප්‍රමිතිය ගැන ගොවීන් විමසුව ද ඊට ද නිලධාරීන්ගෙන් ඊට පිළිතරු නැත. මන්ද ආණ්ඩුව කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වන්නේ ක්ෂණික තීන්දුවක් ලෙස බැවිනි.

රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට යොමු වන්නේ නම් ඒ ගැන නිසි තක්සේරුවක් කළ යුතු ය. කාබනික පොහොර හොණ්ඩරයකින් කොපමණ වී අස්වැන්නක් නෙලා ගත හැකිද?

කාබනික පොහොරවලට අමතරව පසට යෙදිය යුතු අනෙකුත් සංඝටක මොනවාද? රසයානික වල්නාශක වෙනුවට ගන්නා ආදේශකය කුමක්ද? යනාදී ගටළු සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් තිබිය යුතු ය. එවැනි කිසිදු තක්සේරුවකින් තොරව කාබනික පොහොර වගාවට යොමුවීම තුළ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් මෙන්ම ගොවිජන සේවා නිලධාරිහු ගොවීන්ගේ ප්‍රශ්න හමුවේ දුර්මුඛ වී සිටිති.ඔහුන් පවසනුයේ මෙම කාබනික පොහොර භාවිතය අලියාට ඇස තැබීමක් වැනි බව ය.

1970/ 1980 දශකයේදී රසායනික පොහොර හදුන්වා දෙද්දී පසට වන බලපෑම මෙන්ම කොපමණ අස්වැන්නක් ලබාගත හැකිද? යන තක්සේරුව එදා කෘෂිකර්ම නිලධාරින්ට අදාළ සමාගම් ඉදිරිපත් කර තිබුණි. කෘෂි නිලධාරිහු සමාගම් ඉදිරිපත් කළ තක්සේරුව නිවැරදිද යන්න ගන්නොරුව ගොවි පර්යේෂණායතනයේදී පරික්ෂා කර බැලූහ. එම තහවුරුව සමග එදා ගොවීහු රසායනික පොහොරවලට යොමු වූහ.

නමුත් අද පවසන්නේ රසායනික පොහොර නිසා ජනතාවගේ අහාරවලට වස විෂ එකතුවී ඇති බවකි. ඒ වෙනුවෙන් වන හොදම උදාහරණය තේ වගාවය. සුද්දා තේ වගාව ආරම්භ කළ දිනයේ සිට භාවිතා කළේ රසායනික පොහොර ය.

මෙරට නිෂ්පාදනය කර තේ මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනවට යවද්දී එම රටවල් මේ සෑම තේ තොග ඛාණ්ඩයකම තිබෙන රසායනිකයන් ගැන පරික්ෂා කර බලයි මිනිස් ශරීරයට අහිතකර රසායනිකයන් තිබේ නම් ඔවුහු ඒවා ක්ෂණිකව ප්‍රතික්ෂේප කරති.

මේ දක්වා කිසිම අවස්ථාවක තේ වලට යොදන රසායනික පොහොර නිසා අප රටේ තේ කොලවල රසායනික සංඝටක තිබේයයි සොයා ගෙන නැත. නමුත් වී ඇතුළු අනෙකුත් බෝගවලට යොදන රසායනික පොහොර නිසා රසායනික සංඝටක එහි ඵලදාවේ ඇතැයි පිරිසක් කියති.

කෙසේ නමුත් ගොවි සංවිධාන ඉල්ලා සිටින්නේ රසායනික පොහොර 75% කුත් කාබනික් පොහොර 25% කුත් ලෙස ක්‍රමානුකූලව කාබනික පොහොර වගාවට යොමු කරන ලෙසට ය.

ආණ්ඩුව එය පිළිගැනීමට සුදානම් නැත. ආණ්ඩුව පවසන්නේ ගොවියා අනිවාර්යයෙන් 100%ක්ම කාබනික පොහොර වගාවට යොමු විය යුතු බවට ය. මේ නිසා ගොවීන් තවමත් තමන්ගේ කුඹුරු වගා කටයුතු වෙනුවෙන් පිළියෙල කර නොමැත. මේ කාරණය මත වී වගාව නරක තැනකට තල්ලුවෙමින් තිබේ.

ගොවීන් වාරිමාර්ග නිලධාරින්ට දන්වා ඇත්තේ පොහොර ලැබෙනතුරු වතුර නිදහස් නොකරන ලෙසට ය. ගොවීන්ට ඇත්තේ වගාව පිළිබදව අවිනිශ්චිත භාවයකි. මන්ද කණකර උගස් කිරීමෙන් හා බැංකුවලින් ගන්නා ගොවි ණය උපයෝගී කරගෙන ඔවුන් වී වගාව කරන නිසාවෙනි. ණය ගෙන වගා කොට නිසි අස්වැන්නක් නොලද හොත් ඔවුනට සිදුවන්නේ ණය ගෙවාගත නොහැකිව සියදිවි හානි කර ගන්නට ය.

පසුගිය දා පැවති කන්න රැස්වීමකදී ගොවියෙක් අපූරු පැනයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් විමසා සිටියේය. “ඔබතුමා මාසයක් වැඩ කරලා ඉවර වෙලා මාසේ පඩිය ගන්න යන කොට පඩිය තිබුණේ නැත්නම් මොකද හිතෙන්නේ.

ඒ් වගේ තමයි මහත්තයෝ අපිත් මාස හයක් හතරක් ගොවිතැන් කරලා අස්වැන්න ගන්න යනකොට අස්වැන්න නැත්නම් අපිටත් හිතෙන්නේ ඔබතුමාට හිතෙන දේ මයි.”

ඒ් ගොවි මහතා කදුළු පිරි දැසින් එම වචන කියද්දී නැගිට සිටි නිලධාරියා කිසිවක් කියාගත නොහැකිව අසුන් ගත්තේය.ඒ අසරණ ගොවියාගේ ප්‍රකාශය අප රටේ දේශපාලන බලවතුන් ගේ කන් වල නොවැකුණ හොත් මහා විනාශයක් නොදුරේ දීම අප සොයා එනු නියතය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර