අශෝක රන්වලට ආචාර්ය උපාධියක් නැතත් ඊට සුදුසුකම් තියනවා

හිටපු කථානායක අශෝක රන්වල මහතා සතුව ආචාර්ය උපාධි සහතිකයක් නොමැති නමුත් ආචාර්ය උපාධියක් සඳහා සියලු සුදුසුකම් ඇතත් ඔහු සතුව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පවසයි.”මං අද කියන්නම් ඇත්ත මේ රටේ මිනිස්සුන්ට දැනගන්න. රන්වලට ඔය සිද්ධ වුණ සිදුවීම, ඕක ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ මේ රටේ ආචාර්යවරයෙක්. ඒ ආචාර්යවරයා දන්නවා රන්වලට ඒ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙන්නෙ. හැබැයි ඒ ආචාර්යවරයා දන්නවා රන්වල ළඟ කඩදාසිය නෑ. ඇත්ත ඕකයි” නමුත් ඔහු එසේ ප්‍රකාශ කළ ද අශෝක රන්වල මහතා මින් පෙර ප්‍රකාශ කොට තිබුණේ ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයෙන් හිමි කර ගත් ආචාර්ය උපාධියක් තමන් සතුව පවතින අතර ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බව ය.එමෙන්ම රන්වල මහතා තමන් සතුව ආචාර්ය උපාධියක් ඇතැ‍යි පැවසූ බවත් එය අසත්‍යයක් නම් පක්ෂයක් වශයෙන් ඊට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පසුගිය දිනයෙක කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී පවසා තිබුණි.ඒ අනුව අශෝක රන්වල මහතා සතුව ආචාර්ය උපාධි සහතිකයක් නොමැති බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ලක්ෂ්මන් නිපුණ ආරච්චි මන්ත්‍රීවරයා පිළිගෙන තිබුණේ ඊයේ (31) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

කාලීන පුවත්