අසරණ මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියාට වැඩ වරදී

සිය හත් හැවිරිදි සිය දරුවට වකුගඩු ශල්‍ය කර්මයක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා දීම පිණිස 30 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (09) බරපතල වැඩ ඇතිව වසර 20 ක සිරදඬුවමක් නියම කොට තිබේ.එමෙන්ම මෙම සිර දඬුවම වසර 10 කින් එකවර ගෙවී යන ලෙසට නියම වී තිබේ.ඒ අතර රුවන් ප්‍රදීප් මදුශංක නමැති මෙම විත්තිකරුට හිමි මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීම ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහෝසි කර ඇති බවට මැතිවරණ කොමසාරිස්වරයට දැනුම් දෙන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා මහාධිකරණ රෙජිස්ටාර්වරයට වැඩිදුරටත් නියම කළ අතර එම විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනා හතරටම ඔහු වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව පැවසූ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් 20000/= ක දඩයක් ද නියම කොට තිබේ. රටේ ජනතාවගේ මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරියෙකු වන විත්තිකරු තමන් වෙත පැවරී ඇති රාජකාරි ඉටුකිරීම සඳහා දරිද්‍රතාවයෙන් පෙලෙන අසරණ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම මෙන්ම විශේෂයෙන්ම කාන්තාවක් වීම නිසා මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලීමේ අපරාධයට ගොදුරුවීමට ඇයට සිදුවීම නීතිය හමුවේ කිසිසේත්ම ලිහිල් කොට තැකිය නොහැකි බව සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ආදිත්‍ය පටබැඳිගේ විනිසුරු වරයා සඳහන් කොට තිබේ.2016 වසරේ මාර්තු 31 වන දින මෙම දිවි නැගුම සංවර්ධන නිලධාරියා ලිංගික අල්ලස් ඉල්ලා සිටි එම කාන්තාව තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රකට හෝටලයකට කැඳවාගෙන ගොස් සිටියදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් වැටලීමක් කර අත්අඩංගුවට ගෙන තිබේ.

කාලීන පුවත්