ආපදා සහන සේවා මධ්‍යස්ථාන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු බැගින් පත් කර එම කටයුතු ද දේශපාලනීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින අතර එම කටයුතු වහා නතර කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.විපතෙන් පසු යළි රට ගොඩනැගීමේ කටයුතු සඳහා විපක්ෂයේ සහාය ඉල්ලා සිටින ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තවත් පැත්තකින් ව්‍යසනය හමුවේ තම පක්‍ෂය ගොඩ දාගැනීමේ උත්සාහයක නිරතව සිටින බවට ඒ මහතා චෝදනා කරයි.ආපදා සහන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යාන්ත්‍රණයක් ගොඩ නඟා තිබෙන බවත් එම යාන්ත්‍රණය ප්‍රමාණවත් නොවේ නම් රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත තවත් යාන්ත්‍රණයක් පිහිටුවිය හැකි බව පෙන්වා දෙන මුජිබර් රහුමාන් මහතා එවැනි යාන්ත්‍රණයක් පිහිටු වෙනවා වෙනුවට ආණ්ඩුව ඇමතිවරුන්ගේ හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පවතින යාන්ත්‍රණය තුළට රිංගවා පක්ෂයේ ගොඩනැගීමට ගන්නා උත්සාහය තරයේ හෙලා දකින බව සඳහන් කරයි.මේ වන විට ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආපදා සහන සේවා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන අතර ඉතිහාසයේ කිසිම දාක දේශපාලන එම යාන්ත්‍රණය තුළට දේශපාලනය ඇතුලත් කළේ නැති බව ද ඔහු පෙන්වා දෙයි.නමුත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා මේ වන විට ඔහුගේ නියෝජිතයකු බැගින් මෙම ආපදා සහන සේවා මධ්‍යස්ථාන සඳහා පත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වන බවත් එවැනි පහත් තත්ත්වයකට ආණ්ඩුව ඇද වැටීම ගැන කණගාටුවන බව පවසන මුජිබර් රහුමාන් මහතා මෙලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානවලට ඇමතිවරුන්ගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පත් කිරීමට කටයුතු කළොත් ඊට එරෙහි දැඩි පියවර ගන්නා බව ද වැඩිදුරටත් පවසයි.