ආරණ්‍ය සේනාසන අනතුරින් අපවත් වූ මෙරට හිමි වරුන් ගේ ආදාහන පූජෝත්සව හෙට

කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසන භූමියේ කඳු ප්‍රදේශයක් වෙත කේබල් ආධාරයෙන් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙන් පෙරේදා( 24) රාත්‍රියේ අපවත් වූ හිමිවරුන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිදු කර ඇති අතර උන්වහන්සේලාගේ දේහයන් මැල්සිරිපුර නගර මධ්‍යයේ සිට අද පෙරවරුවේ රිය පෙරහරකින් නාඋයන ආරණ්‍ය සේනාසනයේ වෙත වැඩම කොට තිබේ.එමෙන්ම, අනතුරින් අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව් නම ගේ ආදාහන පූජෝත්සවයන් හෙට පස්වරු 01.30ට ආරණ්‍ය සේනාසනයේම සිදුකිරීමට නියමිතය.පෙරේදා රාත්‍රියේ භික්ෂූන් වහන්සේ 13 නමක් කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් භාවිත කරමින් භාවනා කුටි වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබූ අතර, එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වූහ.
පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, ඉන්දීය ජාතික පූජ්‍ය ධම්මගවේසී හිමි, පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි, රුමේනියානු ජාතික, පූජ්‍ය ධම්මරංසි හිමි සහ රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත හිමියන් අපවත් වූ හිමි වරු වෙති.අනතුරින් තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, උන් වහන්සේ දෙනමකගේ තත්ත්වය තවදුරටත් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.එලෙසම එසේ විදෙස් භික්‍ෂුන් වහන්සේගේ දේහයන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් අදාල තානාපති කාර්යාල උපදෙස් මත කටයුතු කෙරෙන බව ද වාර්තා වේ

කාලීන පුවත්