“ඇට බිඳෙන වේල්ල”කිට්ටුව කැඩුම් බිඳුම් වෙද මහතකු වත් පදිංචි කරවන්න

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් පවතින විට කඳාන ප්‍රදේශයේ සිට නුගපෙ උස්වැටකෙයියාව ඇලකන්ද මට්ටක්කුලිය ඔස්සේ අගනුවර ළඟාවීම පිණිස අතුරු මඟක් ලෙස යොදා ගන්නා මුතුරාජවෙල තෙත්බිම හරහා වැටී ඇති නෑදුරුපිටිය සහ නුගපෙ හන්දිය යා කෙරෙන ජයසූරිය වේල්ල මාර්ගය මේ වන විට බොහෝ දෙනකු”ඇට බිඳෙන වේල්ල “නමින් හඳුන්වන බව ප්‍රදේශවාසීහු කියති.ඊට හේතුව කුඩා වැස්සක දී වුව ඒ මාර්ගයේ තැන් ගණනාවක වැසි ජලය පිරී පැවතීම මත යතුරු පැදි කරුවන් එම ස්ථාන පසු කිරීමේ දී ජලයෙන් යට වූ මාර්ගයේ වල ගොඩැලි වලට වැටී අනතුරු වලට ලක් වීමය.සෑම වැසි කාලයකම මෙය සුලබ ලෙස සිදුවීම මත මේ වන විට එම ජයසූරිය වේල්ල ඇට බිඳෙන වේල්ල නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති බව ප්‍රදේශ වාසීහු කියති.මෙහි ආසන්නතම සිද්ධිය වශයෙන් ප්‍රදේශ වාසීන් දක්වා සිටිනුයේ කොළඹ පැවැත්වෙන විදේශ රැකියා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යතුරු පැදියකින් මෙම මාර්ගය ඔස්සේ යමින් සිටි තරුණයකු තම යතුරු පැදිය පිටින් ම මෙම මාර්ගයේ ජලයෙන් වැඩී තිබූ වළ ගොඩැල්ලකට වැටී සිදු වූ අනතුරයි.එහි දී ඔහුගේ උරහිස් ඇටයක් බිඳී ගිය ළකුණු පෙන්නුම් කළ අතර තමන් සතුව තිබූ සහතික ඇතුළු වෙනත් වටිනා ලියවිලි මඩ වතුරට වැටීමෙන් විනාශ වූ බව ද ප්‍රදේශ වාසීන් කියා සිටියේ ඒ අවස්ථාවේ ඒ තරුණයා කුඩා දරුවකු මෙන් හඬා වැලපුණු බව ද සිහිපත් කරමිනි.තමන් කාගෙන් හෝ ණය මුදලක් ගෙන විදේශ ගත වීමට සිටිය දී මෙම අනතුරට මුහුණ දුන් බවත් මින් පසු තමන්ට සිඟමන් යැදීම හැර  විකල්පයක් නොමැති බවත් පවසමින් ඒ තරුණයා හඬා වැටුණු බව ප්‍රදේශ වාසීහු කීහ.

මුතුරාජවෙල තෙත් බිම දෙපස ඇති ගම්මාන ගණනාවක් යා කෙරෙන මාර්ගයක් ද වන මෙහි ඇති මෙබඳු අනතුරු දායක ඉසව් රතු කොඩි මඟින් පෙන්වා දිය හැකි වුවද මෙම මාර්ගයේ එය සිදු කළ හොත් එසේ දැක්විය යුතු ‍‍රතු කොඩි ප්‍රමාණය අනුව එය විකල්ප දේශපාලන රැස්වීම් පලකැයි දකින්නවුන් හට හැඟී යන බව ද ජයසූරිය වේල්ල අවට ප්‍රදේශවාසීහු කියති. 1931 ඇරඹුණු රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ගම්පහ ආසනය නියෝජනය කළ පන්තිනියස් ජයසූරිය හෙවත් පන්ති මහත්තයා හුදෙක් ජනතාවගේ ඉල්ලීම මත කිසිදු මාර්ග ඉංජිනේරු සැලසුමකින් තොරව කිලෝ මීටර් දෙකක දුරක් පස් කියුබ් ලක්ෂයක් පුරවා ඉදි කළ මෙම මාර්ගය වේල්ලක් සේ දිස්වීම මත ප්‍රදේශවාසීන් එය ජයසූරිය වේල්ල ලෙස හඳුන්වන ලදී.පසුව 1947 වසරේ එවක කර්මාන්ත සහ ප්‍රසිද්ධ වැඩ ඇමති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා එම ඉදි කිරීමේ විස්මය ජනක බව සහ ජයසූරිය මහතාගේ ශරීර ප්‍රමාණය සලකා ඔහු අඩි හතරේ යෝදයා ලෙස හැඳින් වූ බවත් පසුව පන්තිනියස් ජයසූරිය මහතා එනමින් වඩාත් ජනප්‍රිය වූ බවත් පැවසෙයි.

අද වන විට පුබුදුගම නමින් හැඳින්වෙන ජයසූරිය වේල්ල අවට සිංහල ,දෙමළ,මුස්ලිම් යන ජන කොටස් වලට අයත් දහස් ගණනක ජනතාවක් පදිංචි ව සිටිති.දිනපතා විශාල පිරිසක් ගමනාගමන කටයුතු සඳහා යොදා ගන්නා මේ ඇට බිඳෙන වේල්ලේ අන්තරායකාරී බව පිටු දැකිය නොහැකි නම් මෙහි ගමන් කරන්නවුන් ගේ පහසුව තකා අඩුම තරමින් කැඩුම් බිඳුම් වෙද මහතකු වත් ඇට බිඳෙන වේල්ල අවට පදිංචි කරවන මෙන් පුබුදුගම වැසියෝ බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.ඒ මේ වන විට එහි සිදුවන අනතුරු ප්‍රමාණය එතරම් ම බහුල බැවිනි.

දසුන් කරුණාතිලක

හරිත දනව්ව