ඇමරිකාවේ ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

ඇමරිකාවේ ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ (National Counterterrorism Center) අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජෝසප් කෙන්ට්, එම ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු පවසා ඇත්තේ, වත්මන් ඉරාන යුද වාතාවරණය පිටුපස බරපතළ කුමන්ත්‍රණකාරී ස්වභාවයක් පවතින බවයි.ඔහු පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ “නිමාවක් නොමැති යුද්ධවලට” ඇමරිකාව පටලවා නොගෙන මිලිටරි බලය නිවැරදිව කළමනාකරණය කිරීමට ජනාධිපතිවරයා සතුව තිබූ අවබෝධය, දෙවන ධුර කාලය ආරම්භයේදීම බිඳ දමා ඇති බවයි. ඔහුගේ ලිපියට අනුව, ඉරානය සමඟ යුද්ධයක් ඇති කිරීම සඳහා සූක්ෂ්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.ඉරානයෙන් ඇමරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවට ව්‍යාජ තොරතුරු සැපයීම,වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් යුද්ධයකට අවශ්‍ය ජනමතය සහ වටපිටාව සකස් කිරීමයන කරුණු ඊට නිදසුන් සේ ඔහු දක්වා තිබේ. “ඉරානයට දැන්ම ප්‍රහාර එල්ල කළහොත් ඉතා ඉක්මන් ජයග්‍රහණයක් කරා යා හැකි බවට ජනාධිපතිවරයාව මුළා කර තිබෙනවා. මෙය අතීතයේදී ඉරාක යුද්ධයට ඇමරිකාව පටලවා ගැනීම සඳහා ඊශ්‍රායලය භාවිතා කළ උපක්‍රමයටම සමානයි,” යනුවෙන් කෙන්ට් සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත.
45 හැවිරිදි ජෝසප් කෙන්ට්, ඇමරිකානු විශේෂ බලකායේ සහ CIA ආයතනයේ සේවය කළ ප්‍රවීණයෙකි. 2019 වසරේදී සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ බිරිඳ වන හමුදා සාමාජිකා ෂැනන් කෙන්ට් මියගියාය. යුද්ධයේ කටුක අත්දැකීම් සහිත නිලධාරියෙකු ලෙස ඔහු දිගින් දිගටම පෙනී සිටියේ ඇමරිකාව අනවශ්‍ය විදෙස් යුද්ධවලින් ඉවත් විය යුතු බවට වූ “ඇමරිකාව පළමුව” (America First) ප්‍රතිපත්තිය වෙනුවෙනි.මෙම ඉල්ලා අස්වීමත් සමඟ වත්මන් පරිපාලනය ඉරානය සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳව දැඩි දේශපාලන කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ, මේ වන විටත් ඇමරිකාව යුදමය වශයෙන් පසුබෑමක පෙරනිමිති පළ කර ඇති පසුබිමක ය.

කාලීන පුවත්