ඉන්දුනීසියාවේ රූ රැජින තරගයක දී ලිංගික හිරිහැර කරලා

ඉන්දුනීසියාවේ පසුගිය දා පැවැති ඉහළම පෙලේ රූ රැජින තරගයකට සහභාගි වූ තරගකාරියන් පිරිසකට මෙම තරගය අතරතුර ලිංගික හිරිහැර සිදුවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම තරගකාරියන් මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර තිබේ. මේ බව අනාවරණය කර තිබුණේ පැමිණිලිකාර තරගකාරියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියකි. ඉහත කී සිද්ධිය සිදු වී ඇත්තේ මේ වසරේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජින (Miss Universe) තරගයේ දී ඉන්දුනීසියාව නියෝජනය කරන තරගකාරිය තෝරා ගැනීම සඳහා පැවැති ඉන්දුනීසියානු විශ්ව රූ රැජින තරගය අතරතුර ය. එයට සහභාගි වූ තරගකාරියන් සය දෙනෙකු මේ ආකාරයෙන් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඔවුන් පැමිණිලි කර ඇති ආකාරයට එක් අවස්ථාවක සංවිධායකයන් ඔවුන්ගේ උඩුකය ඇඳුම් ඉවත් කරන ලෙස දැනුම් දී තිබිණි. ඒ ‘සිරුරු පරීක්‍ෂාවක්’ (Body Check) සඳහා ය. තරගකාරියන්ගේ සිරුරුවල පච්ච ලකුණු, චර්ම රෝග, තුවාල කැළැල් ආදිය තිබේදැයි පරීක්‍ෂා කිරීම එහි අරමුණ බව සංවිධායකයන් පවසා තිබූ බැව් මෙලිසා අන්ග්‍රේනි නැමැති ඉහත කී නීතිඥවරියක මාධ්‍ය සමග පවසා තිබුණාය. නමුත් පැමිණිලිකාරියන් පවසන්නේ මේ ආකාරයෙන් ඇඳුම් ඉවත් කර කරන සිරුරු පරීක්‍ෂාවක් ගැන ඔවුන් කලින් දැනුම්වත් කර නොතිබුණු බවයි. සිරුරු පරීක්‍ෂාවන්ට අමතරව ඔවුන් උඩුකය ඇඳුම් ඉවත් කර සිටිය දී ඡායාරූප ගැනීමක් ද සිදුව ඇති බව පැමිණිලිකාරියන් පවසා තිබේ.

මාරියා හර්ෆන්ති නැමැති, ඉන්දුනීසියාවේ හිටපු රූ රැජිනක ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණාය. ඇය පවසන්නේ රූ රැජින තරගවල දී සිරුරු පරීක්‍ෂාවන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වුවත් එහි දී ඇඳුම් ඉවත් කිරීමක් සිදු නොවන බවයි. මාරියා හර්ෆන්ති 2015 වසරේ ලෝක රූ රැජින තරගයේ දී තුන්වැනි ස්ථානය දිනාගත් රූ රැජින යි.

පැමිණිලිකාරියන් පවසන ආකාරයට මෙම පරීක්‍ෂාවන් සහ ඡායාරූප ගැනීම් සිදුව ඇත්තේ කාමරයක් තුළදී යි. එම කාමරය තුළ විසි දෙනෙකු පමණ සිටි බව ද, පිරිමින් ද ඒ අතර හුන් බව ද ඔවුන් පවසා තිබේ. කාමරයේ දොර පවා නිසි ආකාරයෙන් වසා නොතිබුණු බවත්, ඒ නිසා පිටත සිටි අයට ද කාමරය තුළ සිදු වන දේ දැකගන්නට ලැබුණු බවත් මෙම තරගාකාරියන් තවදුරටත් සඳහන් කර ඇත.

මාධ්‍ය හමුවකට සහභාගි වූ එක් තරගකාරියක පවසා තිබුණේ කිසිසේත් යෝග්‍ය නොවන ඉරියව්වලින් ද තමාට පෙනී සිටින්නට සිදු වූ බවකි. දෙපා පළල් කරගෙන සිටින ඉරියව්වකින් පවා පෙනී සිටින්නට තමාට සිදු වූ බව ඇය පවසා තිබේ. ‘මම දැඩි ව්‍යාකූලත්වයකට පත්වුණා. දැඩි අපහසුතාවකට පත් වුණා’ යයි ද ඇය සදහන් කර තිබිණි. ‘කාන්තාවක ලෙස මගේ අයිතීන් උල්ලංඝනය කර ඇති බවක් දැනෙනවා. ඒ වගේම මෙය මට මානසිකවත් විශාල වශයෙන් බලපා තිබෙනවා. කොටින්ම මට නින්ද යන්නේ පවා නැහැ’ තවත් තරගකාරියක ඉහත මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබිණි.

ඉන්දුනීසියාව යනු බහුතරයක් මුස්ලිම් ජනතාව ජීවත් වන, දැඩි ආගමික පරිසරයක් සහිත රටක් බව රහසක් නොවේ. තම රටෙහි රූ රැජින තරග පවත්වනවාට ඉන්දුනීසියාවේ ඇතැම් පාර්ශ්ව විරුද්ධත්වය දක්වති. 2013 වසරේ ලෝක රූ රැජින තරගය ඉන්දුනීසියාවේ පැවැත් වූ අවස්ථාවේ තරගකාරියන් බිකිනියෙන් සැරසී පෙනී සිටින අංගය ඉවත් කරන්නට පවා සිදු විය. ඉහත කී ලිංගික හිරිහැර පිලිබඳ සිද්ධිය වැනි සිදුවීම් නිසා මෙම පාර්ශ්වවල විරෝධය තවරටත් සාධාරණීකරණය වනු ඇත.

කෙසේ හෝ වේවා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් පවත්වන බව ඉන්දුනීසියානු පොලිසිය මෙන්ම ඵසි ඹබසඩැරිැ ෂබාදබැිස් ධරට්බසි්එසදබ නැමැති සංවිධානය ද පවසා තිබේ. ඉන්දුනීසියාව තුළ මෙම තරගාවලි සංවිධානය කරන්නේ එම සංවිධානය යි. විශ්ව රූ රැජින තරග පවත්වන ලෝක සංවිධානය ද මේ පිලිබඳ විමර්ශණයක් පැවැත්වීමට සූදානම් වෙයි. මෙවැනි ලිංගික හිරිහැර පිලිබඳව තමුන් දැඩි අවධානයෙන් පසුවන බවත්, එවැනි වැරදි සම්බන්ධයෙන් කිසිදු බුරුලක් නොදක්වන බවත් එම සංවිධානය පවසා ඇත.

ඉහත කී ලිංගික හිරිහැර සිදු වූ බැව් පැවසෙන ඉන්දුනීසියානු විශ්ව රූ රැජින තරගයේ අවසන් වටය පැවැත්වුණේ අගෝස්තු 3 වැනි දින ය. එයින් ජයග්‍රහණය කළේ ෆේබියන් නිකෝල් ග්‍රොනෙවෙල්ඩ් නැමැති තරගකාරියකි. 24 හැවිරිදි ෆේබියන් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන විශ්ව රූ රැජින තරගයේ දී ඉන්දුනීසියාව නියෝජනය කරනු ඇත.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්