ඉන්දුනීසියාව විවාහයට පෙර ලිංගික සබඳතා තහනම් කරයි

indunisiyasex

විවාහයට පිටතින් ලිංගික සබඳතා පැවැත්වීම තහනම් කරමින් අපරාධ නීතියක් සම්මත කිරීමට ඉන්දුනීසියාව පියවර ගෙන තිබේ. මේ අනුව විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම ද තහනම් වනු ඇත. මෙවැනි නව නීති ඇතුළත් අපරාධ නීති පද්ධතියක් සම්මත කිරීමට ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව පසුගිය දා පියවර ගත්තේය. මෙම නීතිවලට අනුව විවාහයට පිටතින් ලිංගික සබඳතා පැවැත්වීම අපරාධ ගණයේ ලා සැලකෙනු ඇත. එවැනි චෝදනාවලට වැරදිකරුවන් වන අයට වසරක කාලයක් දක්වා සිර දඬුවම් ලබා දීමට මෙම නීති අනුව හැකියාව ලැබේ.

විවාහක පුද්ගලයකු මෙවැනි වරදක් කරන්නේ නම් ඒ පිලිබඳ පැමිණිලි කිරීමට අදාළ පුද්ගලයාගේ සැමියාට හෝ බිරිඳට හැකියාව තිබේ. විවාහකයන් නොවන අය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ඇත්තේ ඒ අයගේ මව්පියන්ට ය. විවාහ නොවී එකට ජීවත් වීම  ද මේ යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් වේ.

ඉන්දුනීසියාව 2019 වසරේ ද මෙවැනි නීති පද්ධතියක් සම්මත කර ගැනීමට සූදානම් වුවත් රට පුරා පැන නැගුණු විරෝධතා නිසා එවර එම උත්සාහය හකුලා ගන්නට සිදු විය. කෙසේ නමුත් මෙවර මෙම නීති පද්ධතිය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව සමත් වී තිබේ. මෙම නීති ඉන්දුනීසියානුවන්ට පමණක් නොව එරට ජීවත්වන විදේශිකයන්ට ද එකසේ බලපානු ඇත.

මානව හිමිකම් පිලිබඳ උනන්දුව දක්වන්නන් මෙය දකින්නේ ජනතාවගේ මානව අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කරන්නක් ලෙසිනි. එමෙන්ම ආර්ථික විශේෂඥයන් සහ ව්‍යාපාරික ප්‍රජාව ද මෙම නව නීති ගැන විවේචන ඉදිරිපත් කර තිබේ. ඔවුන් පවසන්නේ මෙම නීති නිසා විදේශිකයන් ඉන්දුනීසියාවට පැමිණීම සහ ඉන්දුනීසියාව තුළ ආයෝජනය කිරීම අඩු වනු ඇති බවයි. මෙය රටේ සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂේත්‍රවලට බලපෑමක් එල්ල කරනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. ජනතාව ද සමහර තැන්වල විරෝධතා දක්වා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. විශේෂයෙන් තරුණ කණ්ඩායම් ජකර්තා නුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා දක්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සමහර විට ඇතැම් පාර්ශ්ව මෙම නව නීතිවලට එරෙහිව අධිකරණය හමුවට යාමට ද ඉඩ ඇති බව නිරීක්‍ෂකයන් සඳහන් කර තිබේ.

මෙම අලුත් නීති සම්බන්ධයෙන් ජනතාව දැක් වූ ප්‍රතිචාර ද මාධ්‍ය තුළ පළ වී තිබිණි. 28 හැවිරිදි තරුණියක පවසා තිබුණේ තමා පසුගිය වසර 5 ක කාලය තිස්සේ සහකරුවකු සමග ‘එකට ජීවත්වන’ බවයි. නමුත් මේ නිසා දැන් තමා දඬුවම් ලැබීමේ අවදානමක් මතුව ඇති බව ඇය පවසා තිබේ.

‘එකට ජීවත් වීම, විවාහයට පිටින් ලිංගික සබඳතා පැවැත්වීම අපරාධ හැටියට සැලකිය යුතු යයි මා සිතන්නේ නැහැ. නමුත් මගේ ආගම එය පාපයක් හැටියට සලකනවා. මම සිතන්නේ රටක අපරාධ නීති පද්ධතියක් ආගමක් මත පදනම් නොවිය යුතු බවයි’ ඇය පවසා තිබුණාය. ඉන්දුනීසියාව මුස්ලිම් බහුතරයක් ජීවත් වන රටකි. තමා 2019 වසරේ ද මෙම නීතිවලට එරෙහිව විරෝධතා දැක්වූ බව ඉහත තරුණිය පවසා තිබුණාය.

ඉන්දුනීසියාවේ ආදී වාසී ජන කණ්ඩායම්වල සහ ග්‍රාමීය ප්‍රදේශවල අවිවාහකව එකට ජීවත් වන අඹු සැමියන් විශාල වශයෙන් සිටින බව සඳහන් වේ. මේ අය ද දැන් නීති කඩ කරන්නන් ලෙස සැලකෙනු ඇති බව එක් විද්වතකු පෙන්වා දී තිබිණි.

සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි නීතිවලින් පිරිමින්ට වඩා කාන්තාවන් බැට කන බවයි. එමෙන්ම සමරිසි පුද්ගලයන් වැනි අය ද, සුළු ජාතිකයන් ද විශාල අසාධාරණයකට ලක්වනු ඇති බව ඔවුහු සඳහන් කරති.

ලිංගික සබඳතාවලට අදාළ නීති පමණක් නොව තවත් නීති රැසක් ද මෙවර සම්මත කරගෙන ඇත. සමහර නීතිවලට අනුව ජනාධිපතිවරයා සහ රජයේ ආයතන අපහාසයට ලක් කිරීම, රාජ්‍ය මතවාදයට එරෙහිව අදහස් දැක්වීම වැනි කටයුතු ද තහනම් වනු ඇත.

කෙසේ වෙතත් මෙම නව නීතිවලට රටේ සම්ප්‍රදායික මතවාදීන් ගේ සහය හිමි වී තිබේ. ඉන්දුනීසියාව තුළ මේ වනවිට මෙවැනි කන්සර්වේටිව් කණ්ඩායම් වඩාත් බලවත් වී සිටින බව නිරීක්‍ෂකයන්ගේ අදහසයි. ඕලන්ද යටත් විජිත යුගයෙන් උරුම වූ නීති පද්ධතිය මේ ආකාරයෙන් වෙනස් කිරීමට ලැබීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මහත් සතුටට පත්ව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මෙම නීති ක්‍ෂණිකව ක්‍රියාවට නොනැගෙන බවත්, ඒවා ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ වසර තුනකින් බවත් වාර්තා වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර