එකම යානයකින් අභ්‍යවකාශයට යන පළමු මව සහ දියණිය

අභ්‍යවකාශ චාරිකා ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීමට සූදානම් වන මවක සහ දියණියක පිලිබඳ කතාවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. ඔවුන් මෙම වාර්තාව පිහිටුවීමට යන්නේ එකම යානයකින් අභ්‍යවකාශයට ගිය පළමු මව සහ දියණිය ලෙසිනි. ඔවුන්ගේ නම් පිලිවෙලින් කීෂා සහ අනස්ටේටියා ය. අනස්ටේටියා 18 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියකි. මේ දෙදෙනා සිය අභ්‍යවකාශ චාරිකාවේ නිරත වීමට නියමිතව ඇත්තේ බ්‍රහස්පතින්දා (10) යි.

මෙම ඉතිහාසගත වන චාරිකාවට එක් වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට උදා වූයේ ලොතරැයියක් හරහා වීම විශේෂත්වයකි. ඔවුන් ගමන් කරන යානය වර්ජින් ගැලැක්ටික් Virgin Galactic -නැමැති පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් විසින් අභ්‍යවකාශගත කෙරෙන්නකි. මෙම සමාගම වාණිජ පදනමක් මත මිනිසුන් අභ්‍යවකාශයට රැගෙන යාමට සැලසුම් කරන සමාගමකි. එහි නිර්මාතෘවරයා බි්‍රතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරිකයකු වන රිචඩ් බ්‍රැන්සන් ය. මුදල් ගෙවා මෙම යානාවලින් අභ්‍යවකාශයේ චාරිකා කිරීමට හැකියාව ලැබේ.

ලබන බ්‍රහස්පතින්දා අභ්‍යවකාශයට යන යානය හඳුන්වා ඇත්තේ ගැලැක්ටික්-2 Galactic-2 යනුවෙනි. මෙය වර්ජින් ගැලැක්ටික් සමාගම මිනිසුන් අභ්‍යවකාශයට රැගෙන යන දෙවැනි අවස්ථාවයි. පළමු චාරිකාව, ගැලැක්ටික්-1 සිදු වූයේ පසුගිය ජුනි මාසයේ ය. ගැලැක්ටික්-2 යානයේ ගමන් කිරීම සඳහා ලොතරැයියක් හරහා දෙදෙනකුට අවස්ථාව හිමි කර දීමට වර්ජින් ගැලැක්ටික් සමාගම පියවර ගත්තේය. ඒ සඳහා ඉල්ලුම් කරන අය ගෙවිය යුතු වූයේ ඇමරිකානු ඩොලර් 10 ක මුදලක් පමණි. ජයග්‍රාහකයාට යානයේ ආසන දෙකක් හිමි වන බව ප්‍රකාශ කෙරිණි. සම්පූර්ණ මුදල ගෙවා මෙම චාරිකාවට සහභාගි වන අය ඇමරිකානු ඩොලර් 450,000 ක විශාල මුදලක් ගෙවිය යුතුය. එය ලංකා රුපියල් කෝටි 14 කට ආසන්න මුදලකි.

ඉහත කී ලොතරැයිය සඳහා රටවල් 200 කට අයත් ලක්‍ෂ ගණනක් දෙනා අයදුම් කර තිබූ බව සඳහන් ය.
එහි ජයග්‍රාහිකාව වූ කීෂා ඇන්ටිගුවා හි වැසියෙකි. ඇන්ටිගුවා යනු කැරිබියානු කලාපයේ දූපතකි.

කීෂා ඉහත කී ලොතරැයිය සඳහා අයදුම් කර තිබුණේ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමට සූදානමින් සිටි සිය දියණියගේ වීසා සම්බන්ධ කටයුත්තක් සඳහා ඇන්ටිගුවාහි සිට එක්සත් රාජධානිය බලා ගමන් කරමින් සිටිය දී ගුවන් යානයක් තුළදී යි. මෙම ගුවන් යානය ද රිචඩ් බ්‍රැන්සන්ටම අයත් සමාගමක යානයකි. එහි ගමන් කරමින් සිටිය දී ලොතරැයිය ගැන දැන්වීමක් ප්‍රදර්ශණය කෙරුණු බවත් තමා එම අවස්ථාවේම මාර්ගගත ක්‍රමයට ඊට ඉල්ලුම් කළ බවත් කීෂා පවසා තිබිණි. කීෂාගේ දියණිය මේ වනවිට එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියි. කැරිබියානු කලාපයෙන් අභ්‍යවකාශයට යන පළමු පුද්ගලයන් ලෙස ද මේ දෙදෙනා ඉතිහාසයට එක් වෙති.

‘මා අධ්‍යාපනය සඳහා ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය තෝරා නොගත්තා නම් සහ වීසා කටයුතු සඳහා අපි ලන්ඩනයට නොපැමිණියා නම් අපට කවදාවත් අභ්‍යවකාශයට යන්න හැකි වන්නේ නැහැ’ යයි අනස්ටේටියා පවසා තිබුණාය. ඇය ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නේ දර්ශණය සහ භෞතික විද්‍යාව යි.

ගැලැක්ටික්-2 චාරිකාව හරහා කි.මී. 85 ක් තරම් ඉහළ අභ්‍යවකාශයට යාමට මේ දෙදෙනාට වාසනාව හිමිවනු ඇත. එහි සිට පෘථිවියේ ඉතා අපූරු අලංකාර දසුනක් දැක ගැනීමට හැකියාව ලැබේ. අභ්‍යවකාශ චාරිකාව පිලිබඳව මේ මව සහ දියණිය සිටින්නේ ඉහවහා ගිය සතුටිනි.

‘මටත් මගේ දියණියටත් මෙය සිහිනයක් ඉටුවනවාටත් වඩා එහා ගිය දෙයක්. මේ මගේ දියණියයි. මම ඇයට මගේ මුළු හදවතින්ම ආදරය කරනවා. අප දෙදෙනාටම පොදු වූ අරමුණත්, පොදු වූ සිහිනයක් ඉටු වන්නට යාම සැබැවින්ම අපූරුයි’ කීෂා පවසා තිබිණි.

කීෂා මෙම ලොතරැයියේ ජයග්‍රාහකයා බව දැනුම් දීම සඳහා ඇයගේ නිවසට පැමිණ තිබුණේ වර්ජින් ගැලැක්ටික් සමාගමේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන්ම වීම ද විශේෂත්වයකි. ‘මම අයදුම් කරලා ටික කාලයකට පස්සේ මට දැනුම් දුන්නා මම අවසන් 20 දෙනාට තේරිලා කියලා. ඊට පස්සෙ දැනුම් දුන්නා අවසන් පස් දෙනාට තේරුණා කියලා. ඊට පස්සේ මම ජයග්‍රහණය කළ බව දැනුම් දෙන්න කව්ද අපේ ගෙදරට ආවෙ කියලා දන්නවද? රිචඩ් බ්‍රැන්සන්. ඔහු සහ මුළු කණ්ඩායමක්ම අපේ ගෙදරට ඇවිල්ලා කිව්වා ‘ඔයා තමයි ජයග්‍රාහකයා. ඔබ අභ්‍යවකාශයට යනවා’ කියල.

කීෂා සහ අනස්ටේටියා දෙදෙනා සමග ගැලැක්ටික් -2 චාරිකාවට එක්වන තවත් විශේෂ පුද්ගලයකු වන්නේ ජොන් ගුඩ්වින් ය. ඔහු අභ්‍යවකාශයට යන දෙවැනි පාර්කින්සන් රෝගියා යි. ගුඩ්වින් බි්‍රතාන්‍යය වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියකට පවා සහභාගි වී තිබේ. ඔලිම්පික් තරගාවලියකට සහභාගි වූවකු අභ්‍යවකාශයට යන පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

නිහාල් පීරිස්

 

news sinhala 24

අරුමැසි පුවත්