කොළඹ මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට අත්හිටුවයි

අද ( 26) කොළඹ මහ නගර සභාවේ පැවැත්වෙන මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට කල්තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට සිදු වී තිබේ.ඒ මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පෙන්වාදීම හේතුවෙනි.මහ නගර සභා අඥා පනතට අනුව, මහා සභා රැස්වීමේ න්‍යායා පත්‍රය සභිකයින් වෙත දින හතරකට පෙර යොමු කළ යුතු වුව ද මෙම අවස්ථාවේ එම න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සභිකයින් වෙත ලැබුණු බවට සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා සභාවේදී පෙන්වා දී ඊට සිය විරෝධය පළ කොට තිබේ.
එය වැරැද්දක් නොවේද? යන්න පිළිබඳව බෝගහවත්ත මහතා නගරාධිපතිවරියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාරගෙන් විවෘත සභාවේදී විමසා සිටි අතර නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ, එය වැරැද්දක් බවත්, මින් ඉදිරියට එවැනි වැරැද්දක් නොවීමට වගබලා ගන්නා බවයි.ඒ අනුව සභාව කල් තබා වෙනත් දිනයක සභාව කැඳවන ලෙස සමඟි ජන බලවේග මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා යෝජනා කොට තිබේ.එහිදී නැගී සිටි උප නගරාධිපති හේමන්ත කුමාර මහතා පැවසුවේ සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බවයි. එම යෝජනාව අනුව ක්‍රියාත්මක වූ නගරාධිපතිනිය සභාව විනාඩි දහයක් කල් තබන බව පවසා සභාවෙන් පිටව ගොස් යළි පැමිණි බව වාර්තා වේ.

කාලීන පුවත්